ප්‍රවීණ නාට්‍යවේදියෙකු වන විජිත ගුණරත්නගේ දෙවැනි සිනමාපටය අමාවක චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය දිනෙක ජාතික චිත්‍රපට සංස්ථාවේදී තිරගත විණ. ස්වීඩනයේ රාජ්‍ය නාට්‍ය ආයතනයෙන් නාට්‍යකරණය පිළිබඳ වැඩිදුර හැදෑරූ ස්වීඩන පුරවැසියෙකු වන විජිත ගුණරත්න, දැනට එහි සංස්කෘතික ආයතනයක නාට්‍ය ඉගැන්වීම් කටයුතුවල නියැළෙමින් සිටී. ඔහු ශ්‍රී ලංකාවට දායාද කළ නාට්‍ය නිර්මාණ අතර බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය නිර්මාණයක් වන දැති කියත, පැන්ස තුනේ කතාව, සෙට්සුවානයේ සත්යාංගනාවී මෙන්ම දාරියෝ ෆෝගේ The Pope the Witch ඇසුරින් කළ දෘෂ්ටි කැපී පෙනේ. මීට පෙර ඔහු වලාපටල නමින් චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ. මේ විජිත ගුණරත්න සමගින් අප කළ සංවාද සටහනකි.
?ඇයි නැවතත් සිනමාවට එන්න හිතුවේ
නාට්‍යකරණයට යොමුව සිටි මුල් වකවානුව තුළත් චිත්‍රපට නිර්මාණකරණය සම්බන්ධයෙන් මට රුචියක් සහ හැදෑරීමක් තිබුණා. ඒත් ඒ කාලෙදි ලංකාවේ තිබුණු ආර්ථික, දේශපාලනික, සමාජ තත්ත්වයට අනුකූලව මම රූපණ කලාවටයි මුල් තැනක් දුන්නේ. ඒ අනුවයි මම නාට්‍යකරණයට තල්ලු වුණේ. අනික එදා පැවති සමාජය නව පරිවර්තනයකට භාජනය කිරීම කළ යුත්තක් යන අරමුණින් එදා තරුණ පෙළ ඒ වටා පෙළගැසෙමින් හිටියා. ඒ නිසා මමත් ඒ මතයම නියෝජනය කළා. ඒ හින්දයි උඩුගං බලා පිහිනා යන්න නාට්‍යකරණය තෝරා ගත්තේ. අනික චිත්‍රපටයකට අවශ්‍ය මූල්‍යමය ගැටලුත් ඒ කාලේ බලපෑවා. නාට්‍යයක් කිරීම සඳහා දීර්ඝ කාලයක් ලංකාවේ රැඳී ඉන්න මට අවස්ථාවක් නැති වීමත් බලපෑවා. මේ හින්දා තමයි නැවතත් සිනමාවට පිවිසෙන්නේ. 2007දී තමයි මගේ %වලාපටල^ සිනමා කෘතිය බිහිවෙන්නේ. ඉන්පස්සේ 2017දී තමයි %අමාවක^ නිර්මාණය බිහිවෙන්නේ.
?චිත්‍රපටයට කොහොමද අමාවක යන නම යෙදෙන්නේ
අමාවක කියන්නේ සඳ නැතුවාම නෙමෙයි යන අදහසින්. ඒත් සඳ වැහිලා. ඒ නිසා දිදුළන සඳේ එළිය පිටතට විහිදුවන්න ඉඩක් නැහැ. හැබැයි එතන දිදුළන සඳක් නැතුවාම නෙමෙයි. ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙත් අමුතු තැනක. මොකද ලංකාව තුළ අධ්‍යාපනය තිබුණට මානවයාගේ යහපැවැත්ම සඳහා එය දිදුළන්නේ නැහැ. ඒ නිසා ඒ අඩුපාඩුව අපි අවංකව, විවෘතව කතා කළ යුතුයි. ඒ අනුවයි අමාවක^බිහිවෙන්නේ.
?මෙවැනි කතා තේමාවක්ම තෝරාගන්න හිතුවේ ඇයි
මම වසර තිහකට අධික කාලයක් තිස්සෙම ජීවත් වෙන්නේ ස්වීඩනයේ. ඒ නිසා ස්කැන්ඩිනේවියානු අධ්‍යාපන රටාව හොඳට දැකල තියෙනවා. දරුවන්ගේ නිර්මාණ කුසලතා හඳුනාගෙන සහ ඒවාට ස්වාධීනව හැඩගැහෙන්න ඉඩදෙන මේ අධ්‍යාපන රටාව ඉතාම සරලයි. ළමුන්ගේ ළමා කාලය ළමුන්ට ලබාදීලා ඔවුන් කුහකයන් බවට පත්නොකර රටට වැඩදායක යහපත් පුරවැසියන් බවට පත්කරන විදිහ මම දැකලා තියෙනවා. මොකද ඒකම තමයි ස්වීඩන අධ්‍යාපන ක්රමයේ අරමුණත්. ඒත් ලංකාව ඒ අතින් හුඟක් පසුගාමියි. ඒකට හැබැයි සමස්ත සමාජයම වගකිව යුතුයි. මොකද ලංකාවේ දරුවන් කොයිතරම් බුද්ධිමත්ද යන්න මැනෙන්නේ මානවයාගේ යහපැවැත්මට නිගරු වෙන අන්දමට. එහෙම නැතුව යහඵලදාවක් ඇතිවෙන අන්දමට නෙමෙයි. දරුවෙක් පන්තියක පළවෙනියා වීම හෝ අන්තිමයා වීම ඔවුන්ගේ මුළු ජීවිත කාලේ පුරාම ගෙවිය යුතු වන්දියක් විදිහටයි ලංකාව සලකන්නේ. තරග විභාග සහ ජනප්‍රිය යැයි පාසල් වර්ග කරගෙන කරන මේ කාලකන්නි උත්සාහය දරුවන්ව පරිසරයට ගැළපෙන අධ්‍යාපනයෙනුත් ඉවත්කර තියෙනවා. දෙමවුපියන් මත දූෂිත මානසිකත්වයක් සමග අනවශ්‍ය බරක් පටවා තිබීමත් ලංකාවේ පවතින කැපී පෙනෙන ඛේදවාචකයක්.
?ඒත් ලාංකේය සිනමාව ඉතා බරපතළ අර්බුදයක පවතින මොහොතකයි ඔබත් මෙවැන්නක් ජනගත කරන්නේ
ඔව්. ලිබරල් ආර්ථික ක්‍රමයත් එක්ක සමස්ත සමාජයම පවතින්නේ අර්බුදයක. මිනිස්සු තමන් වහල්ලු විදිහට නිහඬව පිළිගන්නවා. එහෙමයි ලාංකේය සමාජ රටාව තුළ සකස්වෙලා තියෙන්නේ. එවැනි රටකින් කිසිම ප්‍රගතියක් අපේක්ෂා කරන්න බැහැ. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. එවැනි ස්ථාවරයක ඉන්න කෙනෙකුට මේ අර්බුදය අදාළ නැහැ. අනික දූෂණය සහ අක්‍රමිතාවලින් වල්වැදුණු මේ සමාජය තුළ මිනිස්සු හැසිරෙන්නේ වහල්ලු විදිහට. තමන් වහලෙක් නොවන බව සිතීමට ඔවුන්ට බාධා කරන්නේ කවුද කියලවත් හඳුනාගන්න තරම් විවේකයක් මේ මිනිස්සුන්ට නැහැ. මොකද සමස්ත රටවැසියන්ම මජර දේශපාලන ක්‍රමය විසින් නන්නත්තාර කරලයි තියෙන්නේ. ඒ නිසා තමන් වෙතින් පරාරෝපණය වුණු ශක්තිය මොකක්ද, එය කොහේද තියෙන්නේ කියලවත් කාටවත් කියාගන්න බැහැ. ඒකයි මේ ක්‍රමය වෙනස්විය යුත්තේ. එහෙම නැතුව ගොඩඒමක් නැහැ. ඒක තමයි තිත්ත ඇත්ත.
? ඔබ කොහොමද ස්වීඩනයේ සිට ශ්‍රී ලාංකේය සිනමාව දකින්නේ
ලංකාවේ සිනමාව කර්මාන්තයක් හැටියට නිවැරදිව ගොඩනැගිලා නැහැ. ඉතා දක්ෂ, නිවැරදි දෘෂ්ටීන් ඇති සිනමාකරුවන් ලංකාවේ ඉන්න බව ඇත්ත. ඒත් සුදුස්සන්ට සුදුසු තැන නැහැ. මානව සම්පත් බහුලව යොදා ගැනෙන මේ ක්ෂේත්රය ගැන එදා සිටම රජයේ අවධානයක් නිසියාකාරව තිබුණේ නැහැ. වමේ දේශපාලන පක්ෂ පවා නිසි පරිදි අවධානයක් දක්වලා නැහැ. අඩුම තරමින් නිවැරදි කතිකාවතක් හෝ සිදුවෙන්නේ නැතිකම ඛේදවාචකයක්. ඒක සිනමාකරුවන්ගේ විතරක් නෙමෙයි රටේ ජනතාවගෙත් අවාසනාවක්. ස්වීඩන සිනමාව ඉන්ග්මාර් බර්ග්මාන් වැනි විශිෂ්ට සිනමාවේදීන්ගේ අනුදැනුම ඇතිව ස්ථාවර කර්මාන්තයක් හැටියට ගොඩනගා තියෙනවා. එහි සිනමාකරණය පිළිබඳව, ඊට අදාළ හැම අංශයක්ම ඇතුළත් වෙන ආකාරයට, සරසවිය දක්වා අනාගත පැවැත්ම කෙරෙහිද නිසි අන්දමට ගැළපෙන පරිදි අධ්‍යාපනය සැකසී ඇති ආකාරයත් අපූරුයි. ඒ සංවිධානාත්මක සැලසුම් අනුව සිනමාවට අයාලේ යන්න ඉඩක් නැහැ. ඒ වගේම මේවට රාජ්‍ය මැදිහත් වීම සිද්ධවෙන්නේ කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව. නිර්මාණකරුවාට ස්වකීය දෘෂ්ටියට අනුව වාරණයකින් තොරව සිය ප්‍රකාශන කරන්නත් මෙහි නිදහස උපරිමව ලැබී තියෙනවා. මොකද නාමික සංස්ථාවක් විදිහට නැතුව, රට වෙනුවෙන් හිතන සිනමා සංස්ථාවක් හැටියට නිර්මාණකරුවා රැක ගැනීමේ සැලසුම් එහි නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. ඒ පරිපාලනය කිසිම ආකාරයකින් නිර්මාණකරුවන් හෝ නිෂ්පාදකවරුන් අනාථ වෙන්න ඉඩ තියන්නේ නැහැ. අවාසනාවට අපට ජනතාව ගැන හිතන එවැනි රාජ්‍යමය ප්‍රතිපත්තියක් නැහැ. කන්තෝරුවක් මිසක් සංස්ථාවක් නැහැ. පවතින මේ ජරාජීර්ණ රටාව තුළ එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. මට හිතෙන්නේ තාමත් අපි අඳුරේ අතපත ගාමින් ඉන්නේ.
?ළඟදී වේදිකා නාට්‍යයක් හරහා ශ්‍රී ලාංකේය වේදිකාවට එන්න අදහසක් නැද්ද
ආසාව තිබුණට ලංකාවේ පවතින වාතාවරණය තුළ එය ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. මම හිතන්නේ අද ලංකාවේ නාට්‍ය නිර්මාණයක් සඳහා නළු නිළියන් ගොනු කර ගැනීමේ සිට එය වේදිකාවට ගෙන ඒම දක්වාම තියෙන්නේ යමර යුද්ධයක්. පවතින ආර්ථික, දේශපාලන රටාව නාට්‍ය නිර්මාණ සඳහා බලපා ඇති අන්දම කොහෙත්ම ධනාත්මක නැහැ. සියලුම දේ මුදල මත යැපෙන සමාජයක නිර්මාණයක් සඳහා අවංකව කැපවෙන පිරිස අල්පයි.
?ලාංකේය වේදිකාව ගැන මොකද හිතෙන්නේ
ලංකාවේ වේදිකාවක් තියෙනවා තමයි. ඒ වේදිකාව මත හැප්පෙන කොටසක් නැතුවා නොවෙයි. නමුත් නාට්‍ය ක්ෂේත්රයේ දිනාගත යුතු බොහෝ දේ අපි දිනාගෙන නැහැ. නාට්‍ය මත හැප්පෙන මේ පිරිස ගැන ජාතික ප්රතිපත්තියක පිහිටා නිවැරදිව අතහිත දෙන්න රජය උනන්දු වෙන්නේ නැත්නම් අසරණ නාට්‍යකරුවන් විසින් තනි තනිව කරන අරගලයෙන් නිසි ඵලක් ලබාගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ වර්තමාන පාලකයන්ට මේ ගැන කියා සිටීම බීරි අලින්ට වීණා වැයීමක් පමණයි. සමාජය පරිවර්තනයකට භාජනය කිරීම අරමුණු කර ගනිමින් නාට්‍ය කලාව භාවිතයට ගත යුත්තේ කෙසේද යන්න ගැන අපි දැන් වඩ වඩාත් ගැඹුරින් හිතන්න ඕන. මෙතැනදි නාට්‍යකරුවන් ඒ ගැන වඩා සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසා ඒක ජනතා අවශ්‍යතාවක් විදිහට සලකලා, දේශපාලන පක්ෂ තුළට කොටු නොවී, සාමූහික එකඟතාවක් ඇතුව ජනතාව සමග ඉදිරි පියවරක් ගැනීමට කාලය ඇවිත් කියලයි මට නම් හිතෙන්නේ.