වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන ඔහු සංගීතයට ඇති ආසක්ත බව නිසාම සංගීත කටයුතුවලටද වැඩි කාලයක් ලබාදීමට කටයුතු කරන්නේය. ඔහුගේ එම සංගීත ගමන්මගේ තවත් සුවිශේෂී මංසලකුණක් ලෙස ඉසිවර මියැසිය ප්‍රසංගය හැඳින්විය හැකිය. ඔහුගේ මූලිකත්වයෙන් මෙම මස 05 වැනිදා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම ප්‍රසංගය පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා සමග අපි කතා කළෙමු.
?ඔබ වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඒ භූමිකාව තුළ කලාවට පසුබිම නිර්මාණය වෙන්නේ කෙලෙසද
වෛද්‍යවරයෙකු ලෙස වසර විස්සක කාලයක් මම මේ ක්ෂේත්රය තුළ කටයුතු කරනවා. වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කරන කාලයේදී ෂෙල්ටන් ප්‍රේමරත්න සර්ගෙන් සංගීතය හදාරන්න මට අවස්ථාව ලැබුණා. පසුව මම මේ වෛද්‍ය වෘත්තිය කරන අතරේ ඒකපුද්ගල ගී ප්‍රසංගයක් කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම සරත් වික්‍රම සමග එක්ව කැසට් පටයක් කරන්නත් මට හැකියාව ලැබුණා. ඒ කැසට් පටය සඳහා මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි අය තමයි ගීත රචනා කළේ. වෛද්‍ය වෘත්තියත් එක්ක සම්බන්ධ වී සිටින අය සමග තමයි දිගටම කලා කටයුතු සිදුකරන්න හැකි වුණේ. මෑතකදී ලක්ෂ්මන් හිල්මි එක්ක සීතල වැස්සක කියන කැසට් පටය කරන්න හැකියාව ලැබුණා. පසුව මට හිතුණා ක්ලැසික් මියුසික් හොඳයි කියලා. නන්දා මාලනී, ලතා වල්පොල, ශෂිකා නිසංසලා, සුභානි හර්ෂණී, දීපිකා ප්‍රියදර්ශනී වැනි ගායිකාවන් සම්බන්ධ කරගෙන යුග ගීත අන්තර්ගත සීඩී පටයක් කළා.
?ඉන් නොනැවතී ප්‍රසංග කරන්න යොමුවීමේ අරමුණ මොකක්ද
වෛද්‍යවරයෙකු විදිහට කාර්යබහුල වුණා කියලා මේ කලාව අත් නොහැර, ජීවිතය සමබර කරගන්න ඕන කියන අදහස මත තමයි මම මේ අවකාශය නිර්මාණය කරගන්නේ. ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වැනි රැකියාවකට යොමුවුණාම ඔහු ඒ සීමාවටම කොටුවෙනවා. ප්‍රශ්නයක් ආවම දැඩි පීඩාවට පත්වෙනවා. මම දකින්නේ ඒකට හොඳම දේ තමයි සෞන්දර්ය විෂයයකට යොමුවීම. එය මම අන් අයටත් පණිවුඩයක් ලෙස ලබා දිය යුතුයි. ඒ පණිවුඩය සමාජගත කිරීමේ අරමුණින් තමයි මම මේ ප්‍රසංග පවත්වන්නේ. මුලින්ම අපි පසුගිය මාර්තු මස 27 වැනිදා ටවර් හෝල් රඟහලේ ප්‍රසංගයක් පැවැත්වුවා. එහිදී මේ අත්දැකීම විඳින්න නොමිලේම අවස්ථාව ලබාදීමට අපට හැකියාව ලැබුණා.
?මෙවැනි ප්‍රසංගයක් නොමිලේ පැවැත්වීමම අභියෝගාත්මක කටයුත්තක්. ඒ අභියෝගයට මුහුණදෙන්නේ කොහොමද
මම මේ වනවිට මෙයට යොදන්නේ මගේ මාසික වේතනයෙන් ගන්න මුදල්. ඒක මම ආත්ම තෘප්තියෙන් කරන දෙයක්. සංගීත භාණ්ඩ අරගෙන පුහුණුවීම් කරලා මේ ව්‍යාපෘතියේ බොහෝ වැඩ අවසන් වෙලා තියනවා. මේ වනවිට මම වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා. මගේ රියදුරන්, ලිපිකරුවන්, ඖෂධවේදීන්, කම්කරුවන්ගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් ඇති කළා. ඔවුන් හොඳින් පුහුණුවීම් කරනවා. මේ කටයුත්තට වෙනත් සංගීත කණ්ඩායමක් දායක කරගත්තොත් විශාල මුදලක් ලබාදීමට සිදුවෙනවා. නමුත් මෙහිදී එහෙම වෙන්නේ නැහැ. මේ සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙලා ඉන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වී සිටින අය. ඒ වගේම මෙයට දායක වන ගායක ගායිකාවන් පවා මූල්‍ය අපේක්ෂාවකින් තොරව තමයි මෙයට සහභාගි වෙන්නේ. අපට අවශ්‍ය මූලික සම්පත් ටික හොයාගත්තට පස්සෙ අපට මෙය දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. අපි තුළ ඉදිරි සැලසුමක් තිබෙනවා. මේ තුළින් අපි හිතන්නේ රෝගීන්ට වුණත් සංගීතය චිකිත්සාවක් ලෙස ලබාදීමට. විදේශ රටවල එවැනි දේ තිබෙනවා. නමුත් අපේ රටේ කිසි කෙනෙක් මේ දේවලට යොමුවක් දකින්න නැහැ.
?මෙවැනි ව්‍යාපෘතියක් පවත්වාගෙන යෑමේදී මේ සඳහා රාජ්‍ය අංශය හෝ වෙනත් සුභසාධන අංශයක දායකත්වයක් ලබාගන්න අපේක්ෂා කරන්නේ නැද්ද
මම විශ්වාස කරන්නේ මුලින් යමක් අපි සිදුකර පෙන්විය යුතුයි. පසුව ව්‍යාපෘතිය සාර්ථකව කරගන්න පුළුවන් කියන එක දැනුවත් කරන්න පුළුවන්. අපි ජනතාව එකතු කර ගන්න ඕන. අපි කිසිවක් නොකර කවුරුන් හෝ ඒ දේ කරනකං බලන් ඉන්න තත්වයක්නේ අද රටේ තියෙන්නේ. ඒ නිසා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි හිතුවේ මුලින්ම අපි අනෙක් අයට ආදර්ශයක් පෙන්වන්න. උදාහරණයක් මෙගා බ්ලාස්ට් කියලා ප්‍රසංගයක් නාළිකාවකින් කළාම එවැනි ප්‍රසංග කරන්න අනෙක් නාළිකා පෙළඹුණා. මට ලොකු විශ්වාසයක් තිබෙනවා මේ තුළින් ලංකාවේ මහජනතාව හා සෞඛ්‍ය ප්‍රජාව එකතු වෙයි කියලා. මම රෝහල් කිහිපයකම අධ්යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කලක් සේවය කර තිබෙනවා. එහිදී දැකපු දෙයක් තමයි මෙවැනි දේවලට ස්වේච්ජාවෙන් මිනිසුන් එකතු වෙනවා. මෙය ලාභ අපේක්ෂාවෙන් කරන කටයුත්තක් නෙමෙයි. ලාභ ලබන කටයුත්තක් බවට පත් වුණොත් මෙය ව්‍යාපාරයක් වෙනවා. ඒ අරමුණින් බැහැරව තමයි කටයුතු කරන්නේ.
?මැයි මස 05 වැනිදා මහරගම අපේක්ෂා රෝහලේදී පැවැත්වෙන ප්‍රසංගයේ අන්තර්ගතය කෙබඳුද
අපි මෙය නම් කර තිබෙන්නේ %ඉසිවර මියැසිය^ නමින්. දීර්ඝකාලීන බෙහෙත් ගන්න නේවාසික රෝගීන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රධාන ශ්රවණාගාරයට ගෙනැවිත් සවස එකේ සිට හය පමණ වනතුරු ප්‍රසංගය පවත්වනවා. එහි ගීත ගායනයට හැකියාව තියෙන අයටත් අවස්ථාව ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ වගේම රත්න ශ්‍රී විජේසිංහ, ගීතනාත් කුඩලිගම, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, නවරත්න ගමගේ, දීපිකා ප්‍රියදර්ශනීගේ ශිල්ප ශාලිකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැනි අය සම්බන්ධ වෙනවා. මෙහිදී අමරදේව මහතාගේ ගීත වැනි උසස් රසවින්දනයක් ඇති ගීත තමයි ගායනා වෙන්නේ. මෙහිදී මගේ දියණියත් තාත්ත ළඟ හුරතල් වෙන කියන ගීතය ගායනා කරනවා. එවැනි සබඳතා ගැන, දේශාභිමානය ගැන කතා කරන ගීත තමයි අපි මේ ප්‍රසංගය තුළින් ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහි නිවේදන කටයුතු සම්පත් චමින්ද විසින් සිදුකරනවා. දයාරත්න පෙරේරා, කුමාරසිරි පතිරණ, සුභානි හර්ෂණී, ජනනි අරඹේගෙදර වැනි අය සහභාගි වෙනවා. ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් දායක කර නොගන්නේ අපේ ගායනය හැකි අයට අවස්ථාව ලබාදීම සඳහා. අපි ලෙඩ ඇඳකට වැටුණට පස්සේ ඔහුගේ මානසිකත්වය ගැන හිතන්න ඕන. ඔහු ඉන්නේ අපේක්ෂා භංගත්වයෙන්. අපට එවැනි තත්ත්වයක් අත් වන්නට පෙර අපි ඒ ගැන හිතන්න ඕන. ඒ ගැන හිතලා ඔවුන් වෙනුවෙන් අපි නිහඬව මේ කටයුත්ත සිදු කරගෙන යනවා.
?එහෙම නිහඬව සිදුවෙනවා කිව්වත් මේ වෙලාවේ මෙය සමාජගත කරන්නට ඔබ උත්සාහ කරනවා එහි අරමුණ මොකක්ද
මේ තුළින් මගේ වෛද්‍ය ක්ෂේත්රයේ නිදාගෙන ඉන්න මිනිසුන් අවදි වෙන්න ඕන. මම මගේ වෛද්‍ය ක්ෂේත්රය තුළ මිනිසුන් ගැන හිතන ක්‍රමය පිළිබඳ සතුටින් නෙමෙයි ඉන්නේ. වෛද්‍යවරයෙකු ලෙස මිනිසුන්ගේ අනෙකුත් දේවල් ගැන හිතන්න ඕන කියන තැන මම ඉන්නවා. මං ඒ හිතන හැටි පෙන්වන්න ඕන. ඒක පෙන්නන්න මට මාධ්‍ය අවශ්‍යයි. මගේ සංකල්පයට මාධ්‍ය තුළින් තැනක් හැදෙනවා නම් මට ඒ ඇති. මේ දේවල් අපට අයිති දේවල් නෙමෙයි කියලා සමහර වෛද්‍යවරු කියනවා. මම එහෙම හිතන්නනේ නැහැ. අපි මේ තැනට ආවේ ගොඩක් කැපකිරීම් කරලා. දුප්පත්කමට වඩා අපි තුළ අරපිරිමැස්ම තිබුණා. අපේ ගෙදර පස් දෙනෙකුට කෑම පිඟන් පහ බෙදුවම හයවෙනියට ඉතුරු වෙන්නේ නැහැ. ඒක දුප්පත්කම නෙමෙයි අරපිරිමැස්ම තුළ හෙට දවසට ණය නොවී අපි ජීවත් වුණා. එවන් පවුල් පරිසරයක ජීවත් වුණේ. ඒ නිසා අපට එවන් දරුවන්ට ගරු සරු කරන්න, ඒ දරුවන්ගේ මානසිකත්වය දකින්න හැකි විය යුතුයි. මම ටයි එක දාගෙන රෝහලේ කානු හරි පිරිසුදු කරන්න සූදානම් කෙනෙක්. අපට අවුරුදු හැටෙන් පස්සේ දුරකථන ඇමතුම් එන්නේ නැහැ. ඒ නිසා අවුරුදු හැටට කලින් ලැබෙන දුරකථන ඇමතුම්වලට කතා කරන්න වෙලාවක් වෙන් කරගන්න අපට පුළුවන් වෙන්න ඕන.