නීල කඳු ගැටේ, මතකද හැන්දෑවේ, විසික්කෙරුව සිත හා තරුමිණි ඔච්චම් පානා ගීත තුළින් අතිශය ජනප්‍රිය වූ රයිනි චාරුකා ගුණතිලක මේ දිනවල නැවතත් සිය අලුත්ම ගීතය වු නොබලා මා දිහා හි මියුසික් වීඩිෙයා්ව එළිදැක්වීමට සූදානමින් සිටියි. ඉදිරි කාලයේදී රයිනි විදෙස් ගී ප්‍රසංග කිහිපයක් සඳහාද එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඒ පිළිබඳව හා සිය අලුත්ම ගී නිර්මාණ පිළිබඳ රයිනි අද අපට දැක්වූ අදහස් කිහිපයකි මේ.
Q කොහොමද රයිනි ජීවිතේ ?
මේ දවස්වල නම් ටිකක් විතර කාර්යබහුලයි. අලුත් නිර්මාණ කිහිපයකටම මේ දිනවල සූදානම් වෙනවා. ඊට අමතරව විදෙස් ගී ප්‍රසංග කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. කැනඩාව, අබුඩාබි, ඔස්ට්‍රේලියාව වැනි රටවල තමයි මේ ප්‍රසංග පැවැත්වෙන්නේ. ඒ වගේම මේ මාසේ 27 වැනිදා මහනුවරදී අපේ පවුලේ ප්‍රසංගයක් වන රූ සඳ රෑ ප්‍රසංගයේ තවත් අදියරයක් පවත්වනවා. ඉතින් මේ වැඩ කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා.
Q කොහොමද අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර?
නොබලා මා දිහා තමයි මගේ අලුත්ම ගීතය. ලිව්ෙව් සජිත් වී චතුරංග. සංගීතය කපිලාන්ගේ. මේ ගීතය මේල්, ෆී මේල් වර්ෂන් දෙකකින් නිර්මාණය වෙලා තියෙනවා. මේල් වර්ෂන් එක ගායනා කරන්නේ හර්ෂදේවා ආරියසිංහ. ඔහු තමයි ඩබ්ලිව්.ඩී. ආරියසිංහගේ පුතා. මේ ගීතය නිර්මාණය කරන්න කලින් ඉඳලාම මේල් හා ෆී මේල් කියලා වර්ෂන් දෙකකට හදන්න තමයි සැලසුම් කරලා තිබුණේ. ඒ වගේම තමයි මේ ගීත දෙකටම මියුසික් වීඩියෝ දෙකකුත් නිර්මාණය කරලා තියෙනවා. බලන කෙනෙකුට ටිකක් විතර මේ ගීත දෙක තුළ වෙනසක් දකින්න පුළුවන් වෙනවා. නමුත්, ගීතයේ පද වගේම අර්ථයත් එකම විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
Q ඇයි රයිනි කාලයක් අරගෙන නිර්මාණය කරන්නේ?
මම හොඳ නිර්මාණවලට විතරක් මුල්තැන දෙන කෙනෙක්. බොහෝ විට මගේ නිර්මාණ අඩුවෙන් රසික, රසිකාවියන්ට අහන්න ලැබෙන්නේ ඒ හේතුව නිසා කියලා කියන්න පුළුවන්. පසුගිය කාලයේ මට නිර්මාණ බොහෝමයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. නමුත්, හරවත් යමක් ඒ නිර්මාණවල තිබුණෙ නැති නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. අද නම් බොහෝ දෙනෙක් එක දිගට නිර්මාණ කරනවා. ඒ වගේම ජනප්‍රියත්වය කියන දේ හොයාගෙන යනවා. නමුත්, මට එහෙම ඉක්මන් ගමනක් යන්න අවශ්‍යතාවක් නැහැ.
Q නොබලා මා දිහා ගීතය ඔබ ඔය කියන හොඳ නිර්මාණ අතර තියෙනවාද?
තියෙනවා. නමුත්, මම නොබලා මා දිහා ගීතයට සම්බන්ධ වුණේ හර්ෂදේවාට කරන උදව්වක් විදිහට. ඔහු මා වගේම තරුණ ගායකයෙක්. ඒ වගේම ඔහුට හොඳ හැකියාවක් වගේම මේ ක්ෂේත්රය තුළ අනාගතයකුත් තියෙනවා.
Q අලුත් ගීතයට කළින් ඔබ එළිදැක්වූයේ චංචල දෑසේ ගීතය. තවමත් ඒ ගීතයට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා නේද?
චංචල දෑසේ ගීතය නිර්මාණය කරන්න ප්ලෑන් කළේ 2013 අවුරුද්දේ. නමුත්, චංචල දෑසේ ගීතය කිහිප වතාවක්ම මගේ අදහස්වලට අනුව වෙනස් කෙරුණා. ඊට පස්සෙ 2014 අවුරුද්දෙයි මේ ගීතය එළිදැක්වූයේ. මේ ගීතය දැනට එළිදක්වලා අවුරුද්දක කාලයක් වෙනවා. ඒත්, තවමත් මේ ගීතයට ලැබෙන රසික ප්‍රතිචාර ඉහළයි. මට අවශ්‍ය කරන්නෙත් අන්න ඒ දේ තමයි. චංචල දෑසේ ගීතයට විතරක් නෙවෙයි මා මුලින්ම කළ නීල කඳු ගැටේ කියන ගීතයටත් අදටත් රසික, රසිකාවියෝ ගොඩක් කැමතියි.
Q විවාහ ජීවිතයත් එක්ක කොහොමද නිර්මාණ කටයුතුවලට ඔබ ඉඩක් හදාගන්නේ?
අකිලත් මේ ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක්. අපි දෙන්නම දන්නවා මේ ක්ෂේත්රය තුළ ඇති කාර්යබහුලත්වය. ඉතින් හොඳින් තේරුම් බේරුම් කරගෙන අපි අපේ පවුල් ජීවිතය සතුටින් ගෙවා දමනවා. අපි දෙන්නා හැමදෙයක්ම කරන්නෙ අපි දෙන්නගෙ අදහස් මත නිසා අපේ සංගීත කටයුතුවලට බලපෑමක් නැහැ. ඇත්තටම, අකිල මගේ සංගීත කටයුතුවලට ඔහුගේ උපරිම සහාය ලබාදෙනවා. මමත් එහෙමයි.
Q ඔබගේ පියා ඔබට නිර්මාණ කරන්නෙ නැද්ද?
තාත්තා නම් දැන් ඇමෙරිකාවේ ජීවිතයට පුරුදු වෙලා නිසා නිර්මාණ කරන්න ටිකක් කම්මැලි වෙලා තියෙනවා. නමුත්, මම නිර්මාණයක් සැලසුම් කරනවා නම් අනිවාර්යෙන්ම ඔහු මට උදව් කරනවා. ඒ වගේම මගෙත් පුරුද්දක් වෙලා තියෙනවා හැම නිර්මාණයක්ම තාත්තාගේ උපදෙස් මත කරන්න. ඔහු මට ලැබෙන නිර්මාණවල හොඳ නරක පෙන්වලා දෙනවා. පදවල ගැටලුවක් තිබුණත් ඔහු තමයි ඒවා නිවැරදි කරලා දෙන්නෙ.