සොයායෑම් හැදෑරීම් තුළින් සිය රංගන හැකියාව මනාව ඔප්නංවා ගත් ඔහු ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාය. පසුගියදා පැවැති දෙරණ සිනමා සම්මාන උලෙළේ හොඳම විකට නළුවා බවට පත්වූයේද ඔහුය. ඔහු දායක වන නව සිනමා නිර්මාණය වන 'හොරා පොලිස්' සිනමා නිර්මාණය ඉදිරියේදී තිරගත වීමට නියමිතය.
Q මුලින්ම ලැබුන සම්මානය ගැන පැවසුවොත්?
ඕනෑම සම්මානයකින් කියවෙන්නෙ කිසියම් ගරුත්වයක් ලබාදුන්නා කියන එක තමයි. ඒ පිළිබඳ සතුටක් තිබෙනවා. හාස්‍යෝත්පාදක චිත්‍රපට කලාවේ 'විකට නළුවා' වගේ සම්මානයකට මාව නොමිනේට් වෙයි කියලා මම හිතුවේ නැහැ. ඒගැන මම සන්තෝෂ වෙනවා.
Q මහේන්ද්‍ර පෙරේරා කියන චරිතාංග නළුවා ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ විකට නළුවෙක් ලෙසද?
සිනමා කර්මාන්තය ගැන හා කලාවේ පැවැත්ම ගැන හිතාගන්න බැරුව ඉන්නේ. මෙය කලාවක් වගේම කර්මාන්තයක්. ඒ තුළ වෘත්තීමය නළුවෙකු වශයෙන් මම කටයුතු කරන්නේ. ඔය කියන්නාවූ ප්රබුද්ධ සහ කලාත්මක චිත්‍රපට වගේම වාණිජ චිත්‍රපටත් මට ලැබෙනවා. ඒ හැම නිර්මාණයක් එක්කම වැඩ කරන්න සූදානම්. මට මේ යන ක්‍රමවේදය එක්ක අන්තවාදී ලෙස ප්රතික්ෂ්ප කරන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. ජීවිතේ හැලහැප්පීම්වලට අනෙක් අය වගේම, අපිටත් මුහුණ දෙන්න සිදුවෙනවා. ඒනිසා සිනමා නළුවෙකු ලෙස කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවකුත් තියෙනවා. එහෙත් එකම වර්ගීකරණයකට හසුනොවී නිර්මාණවලට දායක වෙන්න මම උත්සාහ කරනවා.
පසුගිය කාලෙ ප්‍රසන්න ජයකොඩිගේ '28' කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒක ඔස්ට්‍රේලියාවේ බිස්බේන් සිනමා උලෙළට ඉදිරිපත් කළා. එහිදී එහි හොඳම නළුවා ලෙස මාව නිර්දේශ වුණා. ඒ වගේම පසුගිය කාලෙ එවැනි චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. හැකිතරම් උත්සාහ කරන්නෙ විවිධත්වයෙන් යුතුව රංගනය සිදුකිරීමටයි. මම විවිධත්වය තුළ තිබෙන අපූර්වය විඳින්න තමයි උපරිම උත්සාහ කරනවා වගේම කෘතියට සර්ව සම්පූර්ණ සාධාරණයක් ඉෂ්ට කරන්නත් උත්සාහ කරනවා.
Q '28' වගේ චිත්‍රපට ප්‍රදර්ශනය වෙන්න කලින් 'හොරා පොලිස්' වගේ චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා. 'කොස්තාපල් පුඤ්ඤසෝම' ලෙසම මෙය ප්‍රේක්ෂකයන් භාරගනීද?
'කොස්තාපල් පුඤ්ඤසෝම' චිත්‍රපටයට වඩා හාත්පසින්ම වෙනස්වූ චිත්‍රපටයක්. මම 'හොරා පොලිස්' එකෙත් පොලිස් චරිතයක් රඟපානවා. එහි ද්විත්ව චරිතයක් නිරූපණය කරනවා. එනිසා සමහර අය මෙය පුඤ්ඤසෝමගේ දිගුවක් ලෙසින් සිතන්න පුළුවන්. නමුත් එය එහෙම නෙමෙයි. සම්පූර්ණ වෙනස්ම කතාවක්. ඔබ අහපු '28' ගැන කතාකළාම එම චිත්‍රපටය නිර්මාණය කරලා අවුරුදු තුනහමාරක් වෙනවා. එහෙත් තවම ප්‍රදර්ශනය කරගැනීමේ හැකියාවක් ලැබුණේ නැහැ. එය ප්‍රසන්න ජයකොඩි හා ඊට දායක වූ අයගේ කරුමයද එසේ නොමැති නම් සිනමාවේ කරුමයක්ද කියලා හිතාගන්න බැහැ. අපි වගකිවයුතු තැන් එක්ක කතා කරලා තිබෙනවා. නමුත් අද වනතුරු එය ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් එය අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වෙලා අවුරුදු තුනහමාරක් වෙනවා.
Q එ ම ගැටලුවට අදාළ පාර්ශ්වයන් දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?
අදාළ පාර්ශ්වය සමග ප්‍රසන්න ජයකොඩිත්, මමත් ඒ ගැන කතා කරනකොට එක එක වකවානු ගැන කතා කළා. මේ කාලේ ප්‍රදර්ශනය කරන්න මේ කාලේ ප්‍රදර්ශනය කරන්න කියමින්, එයට හේතුව මොකක්ද කියලා මට නම් තේරෙන්නෙ නැහැ. මට හිතෙන්නෙ මේ ආයතනවල පිළිවෙළක් නෑ. විදේශ රටක සම්මානයට පාත්‍රවුණ චිත්‍රපටයකට මේ රටේ ඇගයීමක් ලැබෙන් නැත්තේ ඒකයි. ඒ චිත්‍රපටයේ නිෂ්පාදනයට මමත් සම්බන්ධ වුණා. මේ ප්‍රතිපත්ති මුල සිටම සකස් විය යුතුයි කියලා තමයි මට හිතන්නේ.
Q සිනමාවේ පසුබෑමට එය හදාරන්නට තැනක් නොමැතිවීමත් බලපෑමක් නේද?
හැදෑරීමක් කරන්න ඊළඟ පරම්පරාව සොයාගෙන යන්න ඇකඩමියක් ලෙවල් එකක් නැහැ. ඒක එදා ඉඳන් තියෙනවා. ඒක ඉටුවන එකක් නෙමෙයි. විෂයයන් තුළ හැදෑරීමක් සොයායාම නැති වුණොත් ඒ විෂය වර්ධනය වෙන්නේ කොහොමද? වෛද්‍ය වෘත්තිය ගත්තත් ඉංජිනේරු වෘත්තිය ගත්තත් එලෙස සිදුවෙන්නේ. එදා ඉඳන් මෙහි ඇකඩමික් ලෙවල් එකක් ගැන ඔවුන් පණ්ඩිත වාක්‍ය දාලා කතා කරනවා.
ඒ සම්බන්ධව කවුරුත් කටයුතු කරලා නැහැ. විදේශ ආධාරත් ලබාගත හැකියි. මම සුදර්ශියේ වැඩමුළුවක් කරනවා. එතනත් එහෙම ඉගැන්විය හැකි පරිසරයක් නැහැ. මම ඉගෙන ගත්තෙ බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය වැනි අය අතර රඟපෑම් ගැන හැදෑරීම් කළ ආචාර්ය සලමන් ෆොන්සේකාගෙන්. සලමන් ෆොන්සේකා චෙකොස්ලෝවැකියාවේ වසර දහයක් ඉගෙනගෙන ලංකාවට ආපු කෙනෙක්. ඔහුව හඳුනාගත්තේ නැහැ. ඒක අත්‍යවශ්‍යම කාරණයක්.
Q ක්ෂේත්රය ගැන කලකිරීමකින්ද ඉන්නේ?
කලකිරීමක් ඇති වෙනවා. තවම DCP සිස්ටම් එකට සිනමා ශාලා හදාගන්න බැරිවුණා. ඒ පිළිබඳ කිසිම විදිහක වැඩපිළිවෙළක් හරියට සකස් වෙලා නැහැ. මේ වසරේ අගෝස්තු මාසයෙන් පසු සිනමා දළ සේයාපට නිර්මාණය කිරීම ලෝකයේ නවත්වනවා. එවිට ඩිජිටල් සිනමාවට අපිටත් යන්න සිද්ධවෙනවා. එසේ නොමැති වුණොත් ඊ සිනමාවටවත් යොමුවීමට අවශ්‍යයයි. මේ ගැන දන්න අයත් දේශපාලනය ගැන කතා කරමින් ඉන්නවා මිසක්, මේ පිළිබඳ වැඩපිළිවෙළක් ගැන කතා කරගෙන ක්‍රියාවට නංවන උත්සාහයක නැහැ. දැන් චිත්‍රපටයක් චිප් එකකින් කළහැකි මට්ටමට තාක්ෂණය දියුණු වෙලා.
Q ඉදිරියේදීත් වැලයන පැත්තට මැස්ස ගහන්නද ඔබේ බලාපොරොත්තුව?
මේ යන විදියට මැස්සක්වත් ගහන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. බෙල්ලේ වැල දාගන්න වෙයි. වර්ක් ෂොප් කරන හැමවිටම මට තරුණයන් දකිද්දී හිතෙන්නේ ජීවිතේ කොහොමද ගොඩදාගන්නේ කියලා. කොතරම් දේ ජීවිතේ තිබෙනවද කරන්න. තමන් විෂයට ගරුත්වයකින් සැලකුවොත් කවදා හෝ විෂය පෙරළා තමන්ට සලකාවි කියන තැන මම ඉන්නවා.