විජය නන්දසිරි යනු කලා ක්ෂත්රය තුළ සිටි ජ්‍යෙෂ්ඨයෙකි. පනස් වසරක කලා දිවිය තුළ ඔහු දායක වූ නිර්මාණ අදටත් ප්‍රේක්ෂක හදවත් තුළ ඇත. ඔහුගේ වියෝවෙන් අනතුරුව ඔහුගේ පුතණුවන් වන රසාංජන නන්දසිරි සිය පියා රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍යයකට රංගන දායකත්වය ලබාදෙන්නේය. ඔහු ප්‍රධාන චරිතයකින් දායක වන පළමු වේදිකා නාට්‍ය නිර්මාණය වන 'කුස පබා' මෙම මස 26 වනදා සවස 6.30ට බිෂොප් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. මේ කතාබහ ඔහු සමගය.
Q ඔබේ පියා දායක වූ 'කුස පබා' වේදිකා නාට්‍යයේ රංගන දායකත්වය ලබාදෙන්න අදහස් කළේ ඇයි?
1982 වර්ෂයේදී තාත්තගේ නිර්මාණයක් ලෙස තමයි මෙම වේදිකා නාට්‍යය වේදිකාගත වෙන්නේ. අම්මා තමයි මුලින්ම 'පබාවතී' චරිතයට රංගන දායකත්වය ලබාදුන්නේ. කුසගේ චරිතයට ශිල්පීන් කිහිපදෙනෙකුම රංගන දායකත්වයක් ලබාදුන්නා. 1990 සිට රොජර් සෙනවිරත්න මහත්මයා එයට රංගන දායකත්වය ලබාදුන්නේ. ලොකු ඉතිහාස කතාවක් තියන නාට්‍යයක් තමයි 'කුස පබා' නාට්‍යය කියන්නේ. මේ නාට්‍යය අපේ පවුලෙම නාට්‍යයක්. තාත්තගේ නිර්මාණයකින් මේ ගමන මුලින්ම පටන් ගන්න ඕන කියලා මට හිතුණා.
එහෙම තමයි මම මේ නිර්මාණයට දායක වෙන්න හිතුවේ. මම මේ චරිතය භාරගන්න කලින් මගේ පවුලේ අය එක්ක කීපසැරයක්ම කතා කළා. අක්කයි, අම්මයි එක්ක මම මේ ගැන දීර්ඝව කතා කළා. මේ නිර්මාණයට දායක වෙනවා කියන්නේ ලොකු අභියෝගයක්. මේ නාට්‍යයේ විදුලි ආලෝකකරණය මෙහෙයවන්න මට හැකියාව ලැබුණා. ඒ පන්නරයත් එක්ක තමයි මෙම වේදිකා නාට්‍යයේ ජයම්පතීගේ චරිතයට දායක වෙන්න හිතුවේ. මම ප්‍රධාන චරිතයක් ලෙස මුලින්ම කරන්නේ මේ නාට්‍යයේ ජයම්පතීගේ චරිතය. මගේ කලා ගමනේ ආරම්භය මේ නාට්‍යය තුළින් සිදුවෙයි.
Q ඔබ වෘත්තියෙන් ගුවන් නියමුවෙක්. ඒ කටයුත්තත් එක්ක මේ දායක වෙන්න හදන චරිතයට සාධාරණයක් ඉටුකරන්න හැකියාවක් ලැබෙයිද?
මේ නාට්‍යය අපේම නිෂ්පාදනයක්. ඒ නිසා අපිට අවශ්‍ය පරිදි කාලවේලාව හදාගන්න හැකියාව තියනවා. මම බොහෝවිට ඉන්නේ විදේශ රටවල. නමුත් අනෙක් දිනවල කාලය කළමනාකරණය කරමින් මේ නාට්‍ය පුහුණු වෙන්න වගේම වේදිකාගත කරන්න හැකියාව තියෙනවා.
Q තාත්තා කළ චරිතයකටම දායක වෙමින් තමන්ගේම අනන්‍යතාවයක් හදාගෙන මේ ගමන යන්න හැකි වෙයිද?
අනිවාර්යයෙන්ම පුළුවන්. තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. පළවෙනිම කාරණය තාත්තගේ දේ පුතා කරන්නෙ නැත්තම් ඒක කවුරුත් කරන්නෙ නැහැ. මට තාත්ත වෙන්න පුළුවන් නම් ඒක තමයි මට ලැබෙන ලොකුම ආදර්ශය. ඒ හැකියාව, කුසලතාවය, විනය අසමසමයි. ඒ ගෞරවය තාත්තට ලැබෙනවා. ප්‍රේක්ෂකයෝ පවා තාත්තට ආදරය කළේ තාත්තගේ අනන්‍යතාවයට. තාත්තා තමන්ගේ චරිතයේ සීමාවෙන් පිට කිසි විටක වත් ගියේ නැහැ. මට එවැනි කලාකරුවෙක් වෙන්න තිබුණා නම් ඒක තමයි ජීවිතේ ලැබෙන විශාලම ආශිර්වාදය.
Q කලාකරුවෙක්ගේ පුතෙක් වුණාම බොහෝවිට සිදුවන්නේ තාත්තත් එක්කම මේ ගමන යන්න ආරම්භයක් හදාගන්න එක. නමුත් ඔබ කලක් නිහඬව ඉඳලා තාත්තගේ වියෝවෙන් පස්සෙ තමයි මේ ගමන අරඹන්න හදන්නේ?
තාත්ත කියන්නේ වේදිකාවේ සිනමාවේ ජ්‍යෙෂ්ඨයෙක්. තාත්තගේ කලා ජීවිතය පමණක් වසර පනහක්. අනෙකුත් ක්ෂේත්රයන්හි තාත්තලගේ පුතාලා මට වඩා වයසයි. මම ළාබාලම කෙනා කියලයි හිතන්නේ. කලාවේ නිරත වුණත් මම එතරම් පෙනෙන්න හිටපු කෙනෙක් නෙමෙයි. බොහෝ අය අහනවා ඇයි තාත්ත ඉද්දි ආවෙ නැත්තේ කියලා.
තාත්තා වේදිකාවේ, සිනමාවේ, ටෙලිනාට්‍යවල දකින්න හිටියා. අම්මත් වේදිකාවේ, සිනමාවේ, ටෙලිනාට්‍යයවලට දායක වුණා. දෙන්නම කාර්යයබහුල වෙලා හිටියේ. 'කුස පබාවතී' වගේම තාත්තගේ දෙවන නිෂ්පාදනය 'වෘෂභරාජ', 'හාරත රැජින' , 'ශ්‍රී ගජබා' මේ නාට්‍ය හතරෙම අම්මයි, තාත්තයි දෙන්නම හිටියා. අක්කා සංගීත පරිපාලනය සහ අනෙකුත් චරිතවලට පණ පොවන්න යොමු වුණා. මම විදුලි ආලෝකකරණය සහ වේදිකා පරිපාලනය කියන දේටත් දායක වුණා.
2016 මම විදේශගතව පැමිණි මොහොතේ පවා ටෙලිනාට්‍යය වලට ආරාධනා ලැබුණා. මට කලා ගමන ආරම්භ කරන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. මගේ ඉලක්කය වුණේ මගේ වෘත්තිය කරගෙන යාම. මගේ දෙමව්පියෝ සජීවිව කලාව තුළ රැඳී සිටියා. ජනප්‍රිය වෙන්න නම් අවස්ථා ඕනතරම් තිබුණා. තාත්තා ඉන්න කාලේ ඒක තවත් ලේසියි. 'පුතාව ඔය නිර්මාණයට ගන්න' කියලා විතරයි කියන්න තියෙන්නේ. මම තාත්තා ඉන්නකොට ඔහුට දෙන්න පුළුවන් සහයෝගය ලබාදුන්නා.
දැන් තාත්තගේ වියෝවෙන් පසු විජය නන්දසිරිගේ පුතා ලෙස නිශ්ශබ්දව සිටියොත් තාත්තගේ කලා ගමනටම මම කළ ලොකු හානියක් වගේම ලොකු පාඩුවක් කියලයි මට හිතන්නේ. තවම මට අවුරුදු විසි දෙකයි. මම මේ ගමන පටන් ගන්න හිතුවේ මගේ දෙමව්පියන් කරන දේට උපරිම සහයෝගයක් ලබාදීමේ අරමුණින්. ඒ නිසා තමයි මම නිර්මාණවලට යොමු වුණෙත් නැත්තේ.
Q 1982 වසරේ වේදිකාගත වූ මෙම වේදිකා නාට්‍යය අද වේදිකාගත වන විට එහි සංයුතිය කෙබඳුද?
'කුස පබාවතී' ලෙස මෙය සඳහන් කළත් වර්තමානයට උචිත අයුරින් තමයි එකලත් මෙම නිෂ්පාදනය සිදුවුණේ. අපි නාට්‍යයේ කිසිම වෙනසක් සිදුකර නැහැ. ඒ පිටපතම තමයි මම සිදුකළේ. මේක දේවිකා මිහිරානි කරන නව නිෂ්පාදනයක් වුණාට මෙය විජය නන්දසිරිගේ නාට්‍යයක්. නිෂ්පපාදනය පමණයි වෙනස් වෙන්නේ. රොජර් සෙනවිරත්ත මහත්තයා මේ නිර්මාණයට ලොකු දායකත්වයක් ලබා දෙනවා. මම මේකට ආධුනිකයෙක්. රොජර් මහතා සහ අම්මා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.
Q වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කිරීමම අභියෝගාත්මක කාරණයක් වෙලා. ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද?
තාත්තගේ පිටුපසින්ම සිටි යෝධ සෙවණැල්ල තමයි අම්මා කියන්නේ. අම්මා තමයි තාත්තගේ දිනපොත පවා ලිව්වේ. තාත්තගේ දවස ගෙවුණේ අම්මට ඕන විදිහට. කලාව පෝෂණය කරමින් කිසිම අපහසුතාවයකින් තොරව තාත්තාට නිදහසේ නිර්මාණ කටයුතු කරන්න අම්මා ඉඩ හදලා තිබුණා. ඒ නිසාම තමයි තාත්තා කලාව තුළ මනා ලෙසින් හැසිරුණේ. ඒ පහසුව තාත්තට තිබුණා. නිෂ්පාදන කටයුතු කියන කාරණාව අම්මට අලුත් දෙයක් නෙමෙයි. තිබ්බ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබුණා. ඒ නිසා අපි මේ ගමන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
Q තාත්තාගේ රංගන ජීවිතයේ මතකයන් සහ ඔබේ ඉදිරි කටයුතු ගැන කතා කළොත්?
අද වේදිකාව තුළ දකින ලොකුම අඩුව තමයි තාත්තා. ඒක ගොඩක් අය කියනවා. මම අවුරුදු 8දී විදුලි ආලෝකකරණය පටන් ගත්තේ. අවුරුදු 9දී තාත්තත් එක්ක මම වේදිකාවට එනවා 'වෘෂභ රාජ' නාට්‍යයේ සේනකගේ චරිතය තුළින්. ඒක කුඩා චරිතයක්. වේදිකාවට ගොඩක් ආදරේ ඇති වුණේ තාත්තගේ කැපකිරීම් හා වේදිකාවට තිබ්බ ඒ ආදරය දැක්ක නිසා. ඒ අමාරු දේටම තමයි ආසාව ඇති වුණේ.
තාත්තගේ රියදුරු ලෙස පවා සිටියේ මම තමයි. තාත්තත් එක්ක හැම නිර්මාණයක් ගැනම කතා කරනවා. අක්කයි මම එක්ක තමයි පුහුණු වීම් සිදුකළෙත්. තාත්තා හා අම්මා කියන්නේ කලාව ගැන ඉගෙන ගන්න පුළුවන් ඇවිදින පාසල් දෙකක්. මගේ ලේවල වැඩ කරන්නේ එහෙම ඉගෙන ගත්ත දේවල්. තාත්තා තාත්තගේ ගමන ආරම්භ කළේ වේදිකාවෙන්. මට අවශ්‍ය වුණෙත් වේදිකාවෙන් මේ ගමන ආරම්භ කරන්න. වේදිකාව කියන්නේ අසීරුම කාර්යය සහ සජීවීම මාධ්‍යය. මම හිතන්නේ ශිල්පියෙක් පෝෂණය වී වැඩිදියුණු වන්නට ලොකු බලපෑමක් කරන්නේ වේදිකාවෙන්. 'කුස පබාවතී' සහ අනෙකුත් වේදිකා නාට්‍යය වගේම ටෙලිනාට්‍ය හා සිනමාවටත් දායක වෙමින් මේ වසර අග භාගයේ වෘත්තීය ජීවිතයත් ආරම්භ කරනවා.