Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
දශක තුනහමාරකටකට අධික කාලයක් මෙරට සුභාවිත ගීත කලාව සිය නිර්මාණශීලී ගේය පදවලින් සුපෝෂණය කරන්නට වෙර දරන ගේය පද රචකයෙකු ලෙස බන්දුල නානායක්කාරවසම් මහතා හැඳින්විය හැක.
මීට මාස කිහිපයකට ඉහත සිය නිර්මාණ දිවියේ සුවිශේෂී ගීත රචනා එක්කොට 'මට මා හමුවුණා' නමින් ගීත සංගීත තැටි අටක එකතුවක් මෙරට පළමුවරට එළිදැක්වූ නිර්මාණකරුවා බවටද ඔහු පත්විය. ඊට සමගාමීව 'මට මා හමුවුණා' ගීපද රචනා කෘතිය හා 'එනු කොහි සිට' චරිතාපදාන කෘතියද එළිදක්වනු ලැබීය.
එසේම ඔහු සෑම සිකුරාදා දිනකම රාත්‍රි 7.00ට ජාතික රූපවාහිනය ඔස්සේ විකාශය කෙරන 'මහෝඝය' සෞන්දර්යවාදී සංගීත වැඩසටහන ඔස්සේද ඔබට සමීප වනු ලබයි. මෙවන් පසුබිමක ඔහුගේ නිර්මාණ දිවිය හා බැදුණු ගෙවුණු යටගියාව පිළිබඳව කතාබහකට අපි ඔහුව සම්බන්ධ කරගත්තෙමු.
''මගේ අත්දැකීම් ගත්තොත් බාල කාලේ හරි සුන්දරයි. මා පසුගියදා එළිදැක්වූ 'එනු කොහි සිට' පොතේ මගේ එවැනි අත්දැකීම් රැසක් ඇතුළත්ව තියෙනවා. මට මේ අත්දැකීම් ලබාගන්න ගාල්ලේ - බෝපේ ගම්වැසියන් හා ගම සහ පවුලේ සංහිඳියාව බෙහෙවින් බලපෑවා. ඊට පස්සේ මගේ බැංකු ජීවිතේ ගත්තොත් ඒකෙත් හරි සුන්දර අත්දැකීම් තිබුණා.'' යනුවෙන් ඔහු සිය කතාබහ අප සමග ඇරඹීය.
දශක තුනහමාරකට අධික නිර්මාණ දිවිය
''මේ වෙද්දි කොමර්ෂල් බැංකුවට ගිහින් අවුරුදු 37යි. මං පළමුවෙනි ගීතය ලිවුවේ 1979දි. එතන ඉඳන් බැලුවොත් මේ ක්ෂේත්රයේ අවුරුදු 38යි. හැබැයි මගේ පළමුවෙනි තැටිගත ගීතය එන්නේ 81දි. එතකොට නම් මේ වෙද්දි 36යි. ඒ සේරම බැලුවොත් දශක තුනහමාරක් කියල කියන්න පුළුවන්.''
මගේ පළමුවෙනි තැටිගත ගීතය ගායනා කළේ විශාරද නන්දා මාලනී. මම හිතනවා මම වගේ ප්‍රත්‍යන්ත දේශයකින් බිහිවුණු රසිකයෙකුට ලැබිච්ච ලොකු අවස්ථාවක් තමයි ඒක. මාගේ සුහුඹුල්, නෑඹුල් භද්‍ර යෞවනයේදී ජාතියේ යශෝරාවය කියල හඳුන්වපු කෙනෙක් කිසිම සම්බන්ධයක් නැතිව මගේ යම් දක්ෂකමකට මගේ ගීතයක් ගායනා කරනවා. මගේ ප්‍රථම කවිපොතට පෙරවදනක් ලියාගන්න සුනිල් ආරියරත්නයන් ළඟට ගියාම ඔහු මගේ කවි, සිංදු වගේ කියල කිවුවා.
''අපි සාමාන්‍යයෙන් දකින්නේ ගීත කියල හිතාගෙන ලිවුව කවි. නන්දාට එන සේරම කවි සිංදු නෙවෙයි. ඔයා කවි විදියට ලියලා තියෙන්නේ සිංදු. ඒ නිසා අදම නන්දාව හම්බවෙන්න'' කියලා සුනිල් ආරියරත්නයන් කිවුව නිසා 79 අගභාගයේදී නන්දා අක්කව හම්බවෙන්න ගියේ. 79 අගෝස්තු තමයි මම විභාගේ කළේ. 1981 සරල ගී වලට තමයි මේ ගීතය ගායනා කෙරෙන්නෙ. එතැනින් පිබිදුණු රසිකත්වය මං හිතන්නේ මං වාසනාවන්තයෙක් කළා. ඒ ගීතය තමයි 'ඉර ලස්සනයි ඉරගල රැස් වැටෙන විට' ඒ කාලෙ ඒකට කිවුවේ 'ලොව ලස්සනයි නුඹ මා ළඟ හිඳින විට' කියලයි.
ඒක ගීතයේ හතරවෙනි පද පේළිය. ඒ ජනකවි ආර. කළණි පෙරේරා තමයි ඒකට සංගීතය කළේ. නන්දා මාලනී විසින් මගේ ගීතයක් ගායනා කිරීමෙන් මට ලොකු උත්තේජනයක් ලැබුණා. 83 වගේ කාලෙ වෙනකොට ආපහු යම් යම් පසුබෑම් වගේම මේ ක්ෂේත්රයේ අපි වගේ නැගී එන අයට අපේම යුගයෙන් එන කැපිලි කෙටිලි, අප්‍රසන්නතා ඇති වුණා. ඒ වෙලාවේ මම උකටලීව ඉන්නකොට තමයි මට කුලේ අයියත්, රෝහණ අයියත් කියන සුසංයෝගය හමුවෙන්නේ. පෙර කී සුනිල් ආරියරත්නයන්ගේ, නන්දක්කලාගේ ආශිර්වාදයෙන් තමයි මම ගොඩනැගෙන්නේ. ඒක සෑහෙන්න බලවත් වුණා.
මොකද රෝහණ අයියම පවසන පරිදි එයාගේ 'ගමන් මගක්' එකේ, මහාචාර්ය සුනිල් ආරියරත්න, කරුණාදාස සපුතන්ත්‍රි, කුලරත්න ආරියවංශ සහ මම තමයි එයාගේ ගීත රචකයෝ විදියට බහුලව තෝරාගෙන තියෙන්නේ. ඒකෙනුත් මම තමයිලු එයා කිවුව ගමන් නැහැයි බැහැයි නොකියා ඔහුට ඕන විදිහට හෝ වේවා තනුවකට වේවා ඒවා අඳුනන්නවත් බැරි විදිහට හදලා දෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ මගේ ගීත රචනා සහ මා ලියන පැදිමය දේවල් ඉල්ලම් පස් ගොඩක් නම්, ඒ පස් ගොඩෙන් මැණික් මේවයි කියල තෝරලා මැණික් මල්ලක් මා අතට පත් කළේ රෝහණ අයියා. මට කවදාවත් ඒවා අමතක කරන්න බෑ.
ඊළඟ එක තමයි 'අඹ යාළුවෝ' ගීත ලිවීම. 87 දී ආනන්ද ගමගේ සහ සුගත් දේවප්‍රිය මට බොහොම සමීප වෙනවා. ආනන්දත් එක්ක තව තව නිර්මාණ කරල තියෙනවා. නමුත් වෙන මොනවත් ඕන නෑ, මං හිතන්නේ අඹ යහළුවෝ ගීත තුන විශාල විදියට මගේ මාධ්‍යයට හෙවත් ගීත රචකයෙකුගේ ජීවිතයට තදින් බලපෑවා. 87දී 'මල් පිපෙයි දෙනෙත් ඇරෙයි' වගේ ගීත ලියනකොට මගේ වැඩිමල් දරුවාවත් ඉපදිලා නෑ. නමුත් 99-2000ට මුහුණපාලා ඉපදෙන මගේ දෙවෙනි දරුවගේ පාසලේ පාඩම් පොත් වලත් 'මල් පිපෙයි දෙනෙත් ඇරෙයි' ගීතය තියෙනවා. ඒක එක පැත්තකින් මගේ ලොකු ප්‍රවණතාවක්.
ඔය කාලේ බිහිවෙන 'කඩදාසි ගොඩක ගීතය' කියන්නේ මගේ ප්‍රථම කාව්‍ය නිර්මාණය. දෙවැනි කාව්‍ය නිර්මාණය තමයි 1986 එළිදුටු 'දුමාරය'. 'දුමාරය' කියන එකෙන් පස්සෙ හරි අසාධාරණ විචාරක විවේචනයන්ට මාව ලක්වුණා. මම වාසනාවන්තයෙක්, ප්‍රවීණයන්ගෙන් ආදරය ලබන්නත්, අනුග්‍රහය ලබන්නත්. නමුත් අනිත් පැත්තෙන් විචාරකයන් අතින් මට හරිම අසාධාරණ වුණා. ඒවා ගැන කතා නොකර ඉමු.
ඇත්තටම ප්‍රධානම පුවත්පතක කලා පිටුවක,'රෑ වැඩමුරය' ගීතය තිබුණු 'මලින් මලට' කැසට් එකේ තියෙන ඇතැම් රචකයොම කියන පරිදි බොළඳ ප්‍රේම ගීත වර්ණනා කළා, 'රෑ වැඩ මුරය' ගැන වචනයක්වත් නොකියා. ඒක තමයි මං ලබපු ලොකුම සරදම. මට තේරෙන්නෙ නෑ ඇයි එහෙම වුණේ කියලා. අවුරුදු 35ක් ගිහිල්ලා හරි මං ඒක කියන්නෙත් පත්තරේකටමයි''
දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට යන්න ලැබුණු වෙස් වළාගත් ආශිර්වාදය
''මේ ගමනේ ඉස්සෙල්ලාම රිච්මන්ඩ් විද්‍යාලයේ පහේ පන්තියේ ඉන්නකොට තමයි මිහිර පත්තරේට මම කවියක් ලිවුවේ. ඊට පස්සෙ 8 පන්තියේ වෙනකොට ගොඩාක් කවි ලියන්න ගත්තා. එතකොට 'පෝදා ඇත්ත' කියලා පත්තරයක් තිබුණා. ඒකෙ ළමා පිටුවට ලිවුවා. ජන වේගය, ජන සතිය කියලා පත්තර තිබුණා. ඒ සේරම වාමාංශික පත්තර.
තාත්තා දැඩි වාමාංශිකයෙක් නිසා ගෙදරට බහුලව ගෙනාවේ ඒවා. ඒ පත්තරවලට ලියනකොට පන්තියේ යාළුවෝ බාල්ක වල නම් ලියලා තියන ඒවා පෙන්නලා ජනනාත් ගුණවර්ධන කියන අපේ පාසලේ ශිෂ්‍ය නායකයා දැකලා කිවුවා බන්දුල වගේ පත්තරේට ලිවුවා නම් ලංකාවම දකී, මේක මේ පන්තියේ පනහ විතරයි දකින්නේ කියලා. එතකොට තමයි මේ කවි ගීත ලිවුවම රටේ මිනිස්සුන්ගේ විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා කියන එක මට තේරුණේ.
ඊට පස්සේ මට බණ්ඩාර කියන ගුරුතුමා මුණ ගැහුණා. ඒ ගුරුතුමා නොවෙන්න මට මේ ගමන එන්න ලැබෙන්නෙ නෑ. බණ්ඩාර සර් තමයි ගොඩක් විශ්ව සම්භාව්‍ය සාහිත්‍ය කෘති මට හඳුන්වලා දුන්නේ.
මට මතකයි තාත්තා මාව ගාල්ලේ මහජන පොළට එක්ක යනවා. එතැන හරිම සුන්දර තැනක්. ලයනල් අයියගේ පොත් කඩේ කියලා කඩයක් තිබුණා. කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනමයි එතැන තියෙන්නේ. තාත්තා රුපියල් 100ක් මට දීලා ''මේකෙන් උඹ පොත් ගනින්'' කියලා තාත්තා මහජන පොළේ ඇවිදලා එනවා.
ඒ එද්දි රුපියල් 80ක් වගේ තමයි මට පොත්වලට වියදම් වෙලා තියෙන්නේ. ඒ අතරේ 'බල්ලා කැටුව යන කාන්තාව', 'රතු රෝස මල', 'හයේ වාට්ටුව', 'ලිපිකරුවාගේ මරණය', 'බෝදිලිමා' වගේ චෙකොෆ්ලාගේ, දොස්තොව්ස්කිලාගේ පොත් තිබුණා. හැබැයි ඒ සියල්ල සිංහලෙන්නේ මං කියෙව්වේ. මේවයේ සෘජු ඉංග්‍රීසි පරිවර්තන මට කියවන්න හුරු කළේ බණ්ඩාර සර්. ඒකෙන් තමයි මං ගොඩක් වෙනස් වුණේ. පොතක් සිංහලයට පරිවර්තනය වෙද්දි පුදුම විදිහට විකෘති වෙලා තමයි එන්නේ.
අපේ භාෂාව තමයි ලෝකයේ මගේ ආසම භාෂාව. නමුත් පරිවර්තන පිළිබඳව අපේ යුගයේ ප්‍රශ්න තිබුණා. දැන් ඒ තත්ත්වය සෑහෙන්න අඩුයි. කේ.ජී කරුණාතිලකගේ ' බිම්ගෙයි සිරකරුවා' වැනි පොත් අපේ අක්කලාගේ විෂය නිර්දේශවලට තිබුණා. අපිට ඒ මොනවත් නෑ. අන්තිම අවාසනාවන්ත, කාලකන්නිම පරම්පරාවක් තමයි අපේ පරම්පරාව. අපිට සිංහලත් නෑ. ඉංග්‍රීසිත් නෑ.
මෙන්න මේ හෙයියම්මාරුව අතරේ සර් එක්ක අපි ගොඩක් සමාජ සේවා වැඩ කළා. සාහිත්‍ය විතරක් නෙවෙයි, සර් ක්‍රිකට් ඇරෙන්න අනිත් හැමදේම පිළිබඳ දැනුවත්. ක්‍රිකට් වලට සර් කිවුවේ මන්ද බුද්ධිකයෝ 11 දෙනෙක් ක්‍රීඩා කරන මිලියන ගාණක් මන්ද බුද්ධිකයෝ නරඹන මෝඩයන්ගේ වැඩක් කියලා. අවාසනාවකට වගේ මගේ කැමතිම ක්‍රීඩාවත් ඒක.
අද මං විවාහ වෙලා ඉන්නේ සර්ගේ මාමගෙ දුවත් එක්ක. මං මැච් එක දාගත්තම සර් ඒ කිට්ටුවකවත් ඉන්නෙ නෑ. ක්‍රිකට් ඇරෙන්න සර් කියන අනිත් හැමදේම මම ඇහුවා. අනිත් එක මම පාසලේ හුඟක් ප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙක් විදිහට. මීටර 80 කඩුළු පැනීම, දුර පැනීම, මීටර 100. ඒ වගේම 19න් පහළ තුන් පිම්මත් කළා. ඒවයින් මට පාසලේදී වර්ණ ලැබුණා.
උසස් පෙළ දෙවැනි අවුරුද්දෙදි මට දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට යන්න ලැබුණා. මම බොහොම දුකෙන් තමයි රිච්මන්ඩ් මවුන්ගෙන් වෙන් වුණේ. ඒත් ඒක මම දැන් දකින්නේ වෙස්වළාගත් ආශිර්වාදයක් විදිහටයි. මිශ්‍ර පාසලකට ශිෂ්‍ය මානවකයෙක් ගියාම පිරිමි පාසලකින් ඔහුට ලැබෙන ආහ්ලාදය ගැහැනු ඇසුර පමණක්ම නෙවෙයි. ඊට වැඩිය විශාල දෙයක් මට විජිතෙන් ලැබුණා. ඒ කාලේ අද වගේ පහසුකම් මොනවත් තිබුණෙ නෑ.
විජිතෙන් මට ලැබුණේ ඒ මම බලාගෙන ගිය ජීවිතේ නෙවෙයි. ජීවිතය පිළිබඳ අධ්‍යාපනයක් මට එහෙදි ලැබුණා. ඒ පන්ති වල හිටියා සෙරෙප්පු නැතිව ඉස්කෝලෙ ආව දරුවොත්. සමහර වෙලාවට සමහරු උදේට කාල නෑ. ඒවා පුදුම විදිහට මට දැනුණා. මම වොලිබෝල් ගහන්න ගියා. ඒකත් මට අමතක නොවන අත්දැකීමක්.
පන්දුව අතින් නවත්තගන්න බැරි උනහම මම පයින් ගහද්දි එක දඩබ්බර සිසුවෙක් මට කිව්වා අයියෙ, ආයිත් එහෙම පයින් ගහන්නෙපා කියලා. රිච්මන්ඩ් එකේ පාට් මෙහෙ දාන්නෙපා, රිච්මන්ඩ් හින්දද පයින් ගහන්නේ කියලත් ඇහුවා. තුන්වෙනි පාරත් මං පයින් ගැහුවම කොලර් එකෙන් අල්ලන් සැරෙන්ම කිවුවම මටත් ටිකක් දුක හිතුණා. මංකිවුවා මට බැරි නිසයි එහෙම කළේ. ඔයා කියනව නම් මං අයින් වෙන්නම් කියලා. ඉන් පස්සෙ මං අයින් වුණා.
මේ සිද්ධියට සම්බන්ධ සිසුවා හිටියෙ 07 වසරේ. 07 පන්තියේ අමරසිංහ කියන ගණිත ගුරුවරිය දරු ප්‍රසූතියට නිවාඩු ගත්තම ප්‍රින්සිපල් මාව ගණිතය උගන්වන්න දැම්මා, ඒ පන්තියට. දරු ප්‍රසූතියෙන් පස්සෙ ටීච ආවා. ඇවිත් දින කිහිපයකින් එතුමිය මාව මුණගැහෙන්න ඉල්ලුවා. ඇය මගෙන් ළමයින්ට ඉගැන්නුව විදිහ ඇහුවා.
මේ ළමයි කියනවලු ටීච එපා මාව ඕනේ කියලා. මං එයාලට ඉගැන්නුවේ කොහොමද කියලා ටීච මගෙන් අහනවා. මං ඉතිං කිව්වා එදිනෙදා අත්දැකීම් ගණිතය සමග බද්ධ කරගෙන මම ඔවුන්ට ඉගැන්වූ ආකාරය. ඇත්තෙන්ම විජිතෙන් මට ලොකු ආදරයක් ලැබුණා. ඒ වගේම මේ ගණිත ඉගැන්වීම හරහා මාත් සමග ගැටලුවක් ඇතිකර ගත් ඉහත කී සිසුවාත් ඉන් පස්සේ මා සමග බෙහෙවින් හිතවත් වුණා. ඔහු මේ වනවිට ප්‍රකට දේශපාලඥයෙක්.
තව හිටියා දිසානායක කියලා සර් කෙනෙක්. ඔහුත් මට පුදුම විදියට ආදරෙයි. රචනා තරග එහෙම දිනද්දි ලොකු නිරාවරණයක් මට ලැබුණා විජිතෙදි. ඒ තෑගි, සහතික ප්‍රින්සිපල් උදේ ප්‍රධාන රැස්වීමේදී ආපහු අපි අතට දුන්නා. රිච්මන්ඩ් එකේදි මට කවදාවත් එහෙම අත්දැකීමක් ලැබිලා නෑ. ඒවයින් ළමයෙක් දිරිමත් වෙනවා.
ජීවිතය, ආදරය මම විජිතෙදි ඉගෙන ගත්තා. මම විජිතෙට ගිය පළමු දවසෙම අජන්තා කියලා ගෑනු ළමයෙක් මගේ අතින් අල්ලා මගේ අකුරු ලස්සනයි කිව්වා. ඒ අත්දැකීම හරි සුන්දරයි. ඒ වගේම එයා මාව එක්කගෙන ගිහින් පාසලේ සිංහල දින රචනා තරගෙට වාඩි කෙරෙව්වා. මා කියවූ හොඳම නවකතාව කියලයි මාතෘකාව තිබුණේ. මම ඒකෙන් පළමු වැනියා වුණා. ඒකෙන් තමයි දිසානායක සර් මාව හඳුනගත්තේ.
මගේ පළමු කවි පොත ලියැවෙන්නේත් විජිතෙදි. ඒ තමයි මුලින් කිව්ව සුනිල් ආරියරත්නයන්ගේ අවධානයට ලක්වූ කෘතිය.''
කවියා විසින් ඉටු කළ යුතු කවියාගේ කාර්යභාරය
''චින්තන විපර්යාසයක් සමාජය තුළ ඇතිවිය යුතුයි. එය මිනිසුන් තුළින් ආ යුතුයි. එය ඇතිකිරීමයි කවියාගේ ප්‍රධාන පරමාර්ථය. ඒ වුණාට ඇත්තටම අපි දන්නවා සාහිත්‍ය උත්සවයක් කිට්ටු වෙනකොට 'ස්වර්ණ පුස්තක' කිට්ටු වෙනකොට මරාගන්න එකමයි තියෙන්නෙ. ඉතින් අපි කොහොමද කවි, සිංදු ගැන සමාජ මෙහෙවර කරන්නේ. සමහරු විනිශ්චය මණ්ඩලවලට බලපෑම් කරනවා. නැත්තම් චෝදනා කරනවා. මේවා සමාජ පිළිලයන්නේ. මමංකාරයෙන් අපි අයින් විය යුතුයි.
පෘථග්ජන මිනිස්සු විදිහට අපට ඒකෙන් අයින් වෙන්න බෑ. නමුත් අපට ඒක තුනීකර ගන්න ක්‍රම තියෙනවා. එතෙන්ටවත් අපි එන්න ඕනේ. මාර්ටින් වික්‍රමසිංහ කියනවා 'කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහ වන මා විසින් හුදී ජන පහන් සංවේගය පිණිස රචනා කරන ලදී' කියලා. නමුත් අපේ ආත්ම වර්ණනය සඳහා තමයි අපි ලියන්නේ.
මාර්ටින් වික්‍රමසිංහට එහා යනවානම් මම ගියේ රුසියන් සාහිත්‍යයෙන් විතරයි. එතැනදී ඇන්ටන් චෙකොෆ් කියනවා යම්කිසි කතාවක 'මානව භක්තියක් නැත්නම් ඒක නිසරු කෘතියක්' කියලා. ඒක චෙකොෆ් ඔප්පු කරන්නේ ඔහු අනුන්ගේ ඒවායෙන් නොවෙයි, තමන්ගේම හයේ වාට්ටුවෙන්, බල්ලා කැටුව යන කාන්තාවගෙන්. මේ ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගෙන් අපි ගත්ත දේවල් බොහොමයි. මම නිර්මාණ කරන්නේ පහන් සංවේගය හා මානව භක්තිය පෙරදැරිවයි.
මට බොහෝ විට ලියන්න වෙන්නේ තනුවලට. ඒවායෙන් මම ඔප්පු කරන්නම් මගේ පරමාර්ථය. මෝහන් රාජ්ගේ තනුවක් මට හම්බවෙනවා අද රෑ. හෙට වෙද්දි නිහාල් වික්‍රම එදිරිසූරිය හරහා මේක සිංදුවක් කරන්ක ඕනේ නිරෝෂා විරාජිණීට. මට එන්නේ ඕගන් වාදනයක් විතරයි. මං ඒ වෙලාවේ ඒ නාදය හඳුනගන්න සංගීතඥයෙක් හමුවෙන්නත් ඕනෙ.
එහෙම දෙන තනුවට මම ලියනවා 'සියොතුනේ උතුරෙන්' කියන ගීතය. ඒ යුද්ධය දැඩිව තිබුණු කාලයක්. මේකේ වෙනම සංකලනයක් තිබුණේ. මේ ගීතය තමයි තනුවකට ලිව්වත් හරවත් යමක් ලියන්න පුළුවන් යන්නට හොඳම උදාහරණය.
මට කියන්න ඕනේ මගේ ආධ්‍යාශයයි. අපට පුළුවන්නම් යමෙකුගේ ප්‍රඥාව දල්වන්න, ඒක තමයි මං හිතන්නේ වැදගත්ම දේ. ඒ ප්‍රඥා සම්පන්න බව මට ලැබුණා විරාගය කියෙව්වාම, කළුවර ගෙදර කියෙව්වාම. ගම්පෙරළිය කියෙව්වාම. ඒවා හරි ප්‍රේම කතාවගෙයි පේන්නේ. ඒ වුණාට ජීවිතේ හරි පරිණතව හිතන්න ඉගැන්නුවා.
නිර්මාණයක් විඳින එකයි විමසන එකයි හරි ලේසියි. නිර්මාණයක් කරන එක හිතාගන්න බෑ, ඇයි එහෙම දැම්මේ කියලා. ඒ නිසයි මම කියන්නේ නිර්මාණයක ප්රස්තුතය ප්‍රේමයද කියන එක වැඩක් නෑ. සමහර අය හිතනවා මහා සටන් පාඨයක් ලිව්වාම සේරම ප්‍රශ්න ඉවරයි කියලා. එහෙම වෙන්නේ නෑ. මොනිකා රුවන් පතිරණගේ 'කන්තෝරු කාමරේ' කියන කවිපන්තියෙන් පන්ති පරතරේ ගැන බොහොම අපූරුවට කතා කරනවා.
කවුරු හරි නිර්මාණකරණයේ යෙදෙනවානම්, සාහිත්‍යයට ඇලුම් කරනවා නම්, ප්‍රසිද්ධ වීමේ මහා බලාපොරොත්තුවක් ඇතිකර නොගත යුතුයි. කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් එහෙම අයට මම කියන්නේ මුලින්ම අනිත් අයගේ කෘති කියවන්න. භේදයක් නැතිව අතට අහුවෙන හැම එකක්ම කියවන්න. එහෙම කියෙව්වාම තමයි රුවන් බන්ධුජීව වගේ අලුත් කවීන්ගේ කවි කියවන්න ලැබෙන්නේ.
සමහරු කියනවා තවත් අය සේකරව අතික්‍රමණය කරලා කියලා. කවදාවත් කාටවත් සේකරව අතික්‍රමණය කරන්න බෑ. ඒවගේම කිසිකෙනෙකුට තවත් කෙනෙක් අතික්‍රමණය කරන්න බෑ. මොකද සීමාවක් හෝ කෙළවරක් කාටවත් පෙන්වන්න බැහැ, මෙතනින් එහාටයි එයාව පසුකරයන්නේ කියලා.
පැරණි සාහිත්‍ය, විශ්ව සාහිත්‍ය, සම්භාව්‍ය සාහිත්‍ය, ජාතක කතාවල දේවල් ආදී සියලු දෙයින් ඔළුව කුරුවල් කරගත යුතුයි. ඒකෙන් තමයි බීජය බිහිවෙන්නේ. එහෙම නැතිව හුඟක් අයට ඕනේ එක දවසෙන් සිංදු ලියලා ප්‍රසිද්ධ වෙන්න. එහෙම අය ඉන්නවා. නමුත් ඔවුන් අසාර්ථකයි. හැබැයි කලින් කලට සුවිශේෂී නිර්මාණකරුවන් බිහිවෙනවා.
'මේ තරම් සියුමැලිද කළුගල්' ලියූ රජී වසන්ත වෙල්ගම, 'බොරළු ඇනෙන පය රිදවන' ලියූ රුචිර පරණවිතාන වැනි නිර්මාණකරුවො බිහිවෙනවා. විශ්වවිද්‍යාලවල කලා අංශයට ගිහින් බැලුවොත් හුඟක් අයට කලාව කියලා මොනවත්ම නෑ. ඊට වඩා විද්‍යා අංශයේ ඉන්නවා සේකරලා ගැන දන්න, පොත් කියවලා තියෙන රසවිඳින අය.
අපේ අධ්‍යාපනයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපනය හුදු දැනුම බෙදා හැරීමක් නොවී රුචිකත්වය මතයි රැඳිය යුත්තේ. අද ළමයි උදේට පාසලට ගිහින් හවසට ටියුෂන් පංති යනවා. සති අන්තෙත් ටියුෂන්. මේ තත්ත්වය පිටු දැකිය යුතුයි. මේක දේශපාලන ප්‍රශ්නයක්. ඒකට ඇත්තටම හොඳ නිර්මාණ බිහිවුණාට මදි, ඒවා පිළිබඳ සංවාද ඇතිවිය යුතුයි.''
සංගත තැටියේ තියෙන සින්දු තුළ මගේ ජීවන ප්‍රවෘත්තියම තියෙනවා
''මම මෑතකදී එළිදැක්වූ 'මට මා හමුවුණා' නම් සී.ඩී 08ක් සහිත ගීත එකතුව සඳහා මම පුදුම විදියට මහන්සි වුණා. ඒ මහන්සිය මෙතෙකැයි කියන්න බෑ. ඒකෙදි නන්දක්කා 1981 කියපු සිංදුව වසර 36කට පස්සේ ආපහු රෙකෝඩ් කළා. සුනිල් එදිරිසිංහ 'දැන් ඉතින් සමුගන්න වෙලාවයි' 1987 කරපු සිංදුව අවුරුදු 30කට පස්සේ කරනවා.
එඩ්වඩ් ජයකොඩි 88 කියපු 'උදා ඉරක්' කියන සිංදුව අවුරුදු 29කට පස්සේ කියනවා. ක්ලැරන්ස් මෙලඩියක් දාපු සිංදුවක් ලිව්වේ මම 1977 විතර. ඒක ඩග්ලස් පතිරණ කියන සහෘදයා ක්ලැරන්ස්ට ගිහින් දෙන්නේ 1984 විතර. ඒ ගීතය 2017 දී අමල් පෙරේරා කියනවා ඒක. ඒක හරි අසිරිමත්. මේ ගීත එකතුව සඳහා සින්දු 140ක් විතර මට අලුතෙන් පටිගත කරන්න සිදුවෙනවා. ඒ සංගත තැටියේ තියෙන සින්දු තුළ මගේ ජීවන ප්‍රවෘත්තියම තියෙනවා.
ඒකෙ එක සින්දුවක් තියෙනවා භීෂණ යුගයේ ලියපු එකක්. 'සිපිරිගෙදර තුළ ඔබ හෙළනා කඳුළැල්' කියලා. මේ ගීතය එක දිනක් තුළ ගුවන්විදුලියෙන් තහනම් වෙනවා සහ මා පිළිබඳ බලධාරීන් සොයන්න ගන්නවා. කෙසේ නමුත් උපාලි ද සිල්වා කියන වැඩසටහන් නිෂ්පාදකයා හා සන්තූර් වාදකයා විසින් තමයි ඔහුගේ පෞද්ගලික ලිපිගොනු අතරේ මේ ගීතැටිය තබාගෙන සිට ගැටලුකාරී වාතාවරණය නිම වූ පසුව එළියට දැම්මෙ.
ඒ ගීතය මුලින් කිව්වෙ එඩ්වඩ් සහ මාලනී අක්කා. නව සංයුක්ත තැටිය සඳහා එඩ්වඩ් එක්ක නෙලූ මේ ගීතය ගායනා කළා. මේ ගීත එකතුව සහිත ගීත ඇල්බමය එළිදැක්වීමේ උත්සවයේදී මාගේ ජීවන අත්දැකීම් කැටි කොටගත් 'එනු කොහිසිට' සහ මගේ දෙවැනි ගීත පොත වන 'මට මා හමුවුණා' එළිදැක්වූවා.
මිනිහෙක් උපතින් ගේනවා තමන්ගේ කියන යම්කිසි ප්‍රතිභා ශක්තියක්. ඒක කොහොමද කියන එක මට තේරෙන්නේ නෑ. මම හතර වසරේදී වනිතා විත්ති පත්තරේ කියවපු කතාවක් තිබුණා සම්බන්ධතාවකින් පස්සේ දරුවෙක් ලැබෙන්න ඉන්න තරුණියක්. පෙම්වතා ඇයව හැරගිහින්.
මට ඒක කොයිතරම් දැනුණද කියනවා නම් 'හංස ගීතය ගයා හමාරයි සුදු හංසිනී' කියලා වසර ගාණකට පස්සේ ලියැවෙන්නේ ඒක. ඒක මං අතින් ලියවෙන්නේ පෙර සිද්ධියට වඩා ටිකක් වැඩිදියණු වෙලා වුණත් කතාව ඒකයි. ඒකෙ කියන දේ තේරුම් ගන්න අමාරුයි කියලා හිතුවත් ඒක දැනගෙන ඒකට ආදරේ කරන අයත් ඉන්නවා.
ඇතැම් ගීත රචකයො කියනවනේ තමන්ගේ ගීත හරි ගැඹුරුයි කියලා කියන. මං නම්, එහෙම කියන්නේ නෑ. මම කියන්නෙ ගීතය බොහොම නිරවුල් විය යුතුයි. කිසිම නිර්මාණයක් ව්‍යාකූල වියයුතු නෑ.
සමහරු කියනවා තමන්ට ගුරුවරු නෑ කියලා. ඒත් බණ්ඩාර ගුරුතුමා කියන්නේ මගේ සර් කෙනෙක්. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියන්නේ මගේ නිලනොලත් ගුරුවරයෙක්. එයාගේ සිංදුවලින් සිංහල ඉගෙන ගෙන තියෙනවා. ධර්මසිරි ගමගේලා කියන්නේ ගුරුවරුන්ටත් වැඩිය මාර විදියට ආදරේ පාපු අය.
එතකොට ප්‍රේමකීර්ති ද අල්විස් වගේ අය ආශ්‍රය කරන්න ලැබුණා. හරිම දුක්ඛිතයි, වික්‍රමසිංහලා, සේකරලා දකින්නවත් නොලැබුණු එක. ඒත් බණ්ඩාර අයියලා ආශ්‍රය කරන්න ලැබුණා යම් ප්‍රමාණයකට. දයාද අල්විස්ලා, පාලිත පෙරේරාලා අදටත් ඉන්නවා. ඒවගේ මාධ්‍යවේදියො අපට ආශ්‍රය කරන්න ලැබෙන එකක් නෑ කල්පෙකටවත්. මේ දේවලුත් එක්ක තමයි මම මේ අවුරුදු 35 ගෙවුවේ.''
'මහෝඝය'
ජාතික රූපවාහිනියට මම පූර්ව නිර්මාණ අධ්‍යක්ෂණය කරලා 'මහෝඝය' නමින් වැඩසටහනක් ඉදිරිපත් කරනවා. එයින් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රය බබලවන්නට දිවි හිමියෙන් කැප කළ, වැඩ කළ නිර්මාණ සම්පත් පිදූ කලාකරුවන්ගේ නිර්මාණ වගේම දෙස් විදෙස් සංගීතාංගත් නිදර්ශනාත්මකව සාකච්ඡාවට බඳුන් කරනවා.
උදාහරණයක් විදියට ගත්තොත් කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස් වගේම එච්.ආර් ජෝතිපාල ද මහෝඝයේ දියවැල් ගණනාවක් නියෝජනය කළා. 2017 මාර්තු මාසේ මැද ඇරඹි මහෝඝය මේ වන විට වැඩසටහන් 20ක් සම්පූර්ණ කරලයි තියෙන්නේ. සෑම සිකුරාදා දවසකම රාත්‍රී 7-8 හෝරාව මහෝඝය සඳහා වෙන් කරලයි තියෙන්නේ. මහෝඝයේ මුල් වැඩසටහන් දෙකක් වෙන් කළේ පණ්ඩිත් අමරදේවයන්ගේ අසංසන්දනාත්මක මියැසි මෙහෙවර වෙනුවෙන්.
මහෝඝය අනික් වැඩසටහන් වලින් වෙනස්ව පෙනෙන්නේ එහි රචනය, ඉදිරිපත් කිරීම හා සමස්ත නිර්මාණ අධ්‍යක්ෂණයම, ක්ෂේත්‍ර‘යේ වසර 35ක අත්දැකීම් සමග මවෙතින් සිදුවන නිසා වෙන්න ඇති. මහෝඝයේ සුවිසෙස් දියවර කැපවන්නේ මිශ්‍ර සංගීත නිර්මාණ සඳහායි
බොහෝ මහෝඝය වැඩසටහන් වල සුවිශේෂී කථන හා නිදසුන් ගායනාව සිදුකළේ නදීක ගුරුගේ.ගීතයක හෝ නිර්මාණ ලෝකයේ පුරුෂාර්ථයක නොඑළිදැක්වුණු ඉසව්වක් සොයා යාම, ඇතැම් විට අපේ ගීතයක් එතෙර සම්භාව්‍ය නිර්මාණයක් හා සසඳා බලමින් කෙරෙන 'නව්යාලෝකනය' මහෝඝයේ දකින්න පුළුවන්.
'මහෝඝය' ඇරඹෙන්නේ ජාතික රූපවාහිනියේ වත්මන් සභාපති රවී ජයවර්ධන මහතාගේ දැඩි තීරණයක් අනුවයි''
077 7 302 750 (ගීත ඇල්බම් පිළිබඳ විමසීම් - 077 2 201 501)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd