Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහාය නිළිය ඇතුළුව ප්රමුඛ සම්මාන හයක් හිමිකර ගැනීමට සමත් වූයේ රාජිත දිසානායක විසින් නිර්මාණය කරනු ලැබූ 'නැතිව බැරි මිනිහෙක්' නාට්‍යයයි.
සමකාලීන සමාජයේ තවත් අඳුරු පැතිකඩක් නිරාවරණය කරමින් සමාජය හමුවේ තැබූ 'නැතිව බැරි මිනිහෙක්' නාට්‍යයට ලැබුණු ඇගයීම් පිළිබඳව කතාබහ කරන්නට අපි රාජිත දිසානායකව 'අද'ට සම්බන්ධ කර ගතිමු.
'නැතිව බැරි මිනිහෙක්' නාට්‍යයේ මීළඟ දර්ශනය අප්‍රේල් 2 දා සවස 7.00ට ලයනල් වෙන්ඩ්ට් හිදී වේදිකාගත කිරීමට නියමිතව තිබේ.
Q වසර කිහිපයකට පසුව ඔබේ නාට්‍ය නිර්මාණයක් මෙවර නාට්‍ය උලෙළේදී ඉහළ අගය කිරීමකට ලක්වුණා. මේ ගැන මුලින්ම කතා කරමු?
නිර්මාණකරුවෙකුට යම් ඇගයීමක් ලැබෙනකොට කිසියම් විදිහකට සතුටක් හා කලාවේ නිරත වෙන්න හයියක් ලැබෙනවා. නාට්‍යයක් කියල කියන්නේ සාමූහික කලාවක්. ඒ අනුව සමූහයකගේ ශ්‍රමය තමයි මේ ඇගයීමට ලක්වුණේ. ඒ ගැන ඇත්තටම සතුටක් තිබෙනවා.
'නැතුව බැරි මිනිහෙක්' නාට්‍ය කණ්ඩායම ඉතා හොඳින් පුහුණුවීම් ක්‍රියාවලියේ සිටම කැපවීමෙන්, මහන්සිවෙලා වැඩ කළා. මේ නාට්‍යයේ මංගල දර්ශනයේ ඉඳලා ඉතා ඉහළ ප්‍රතිචාර අපට හිමිවුණා. ඒකත් එක්ක මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී මේ නාට්‍යය ඇගයීමට ලක්වීම ගැන සතුටක් තිබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් තිබෙනවා.
එවැනි ප්‍රතිචාර සහිත නාට්‍යයකට මෙවැනි ඇගයීමක් ලැබුණම අධ්යක්ෂවරයා ලෙසත්, කණ්ඩායම ගත් මහන්සියට ලැබිච්ච දේ ගැනත් බෙහෙවින් සතුටු වෙනවා.
මගේ නාට්‍ය මීට ඉහත අවස්ථා කිහිපයකදීම ඇගයීමට ලක්වෙලා තිබෙනවා. මෙවර කාලයක් තිස්සේ මාත් එක්ක වැඩ කරපු පිරිසක් සේම එකතුවෙලා කරපු නාට්‍යයට ඇගයීමක් ලැබීම ගොඩක් විශේෂයි.
Q 'නැතිව බැරි මිනිහෙක්' මෙතරම් ඉහළ ඇගයීමකට ලක්වෙන්න බලපෑවේ කවර හේතුවක් කියලද ඔබ විශ්වාස කරන්නේ?
මේ නාට්‍යයට පාදක කරගත්තු කතා පුවත ඊට ඉවහල් වෙන්න ඇති. විශේෂයෙන් සමකාලීන සමාජයේ දේශපාලනය පිළිබඳව සිතීමක් රසිකයා තුළ ඇති කිරීමට සමත්වීම හා එය අප ඉදිරිපත් කරන්න භාවිත කළ රංග සම්ප්රදාය ඒ ඉහළ ඇගයීමට හේතු වුණා. ඇගයීම් මණ්ඩල හේතුපාඨවල මේ කරණු සඳහන් වෙලා තිබුණා.
Q මේ නාට්‍යයෙන් කතා කරන්නේ ජරාජීර්ණ සමාජයේ එක් පැතිකඩකුයි. ඇත්තටම අපේ සමාජය මෙලෙස ජරාජීර්ණ වෙමින් පවතින්නේ ඇයි?
සමාජයක් ලෙස අප ගමන් කරමින් සිටින දිශාව ගැන ඇතැමුන් පවසන්නේ සමාජයක් ලෙස අප මිය යමින්, කුණු වෙමින් සිටින බවයි. මේ තත්ත්වය වෙනස් වීමක් ලෙසිනුත් සමහරු සඳහන් කරනවා. ඇත්තටම මේක සම්පූර්ණ මිය යන්න හෝ කුණු වීමට ලක්විය යුතු සමාජයක්ද? යන්න වහා අවබෝධ කරගෙන පුරවැසියෙක් ලෙස අපේ ශක්ති ප්‍රමාණයෙන් යමක් කරන්න දැනුවත් වෙන්න, අවබෝධය ඇතිවෙන්න උවමනායි.
පරාජයට පත්වුණ රෙජීමය තුළ සිටි සාමාජිකයෙක් තමන් ආරක්ෂා වෙන්න ක්‍රියාකරන ආකාරය සහ බලය කියන දේ සඳහා කොයි විදිහටද ජාතිවාදය හා ආගම පාවිච්චි කරන්න හදන්නේ කියන කාරණය ඇතුළේ මානුෂීය කාරණාත් බොහෝමයක් යටපත් වන ආකාරය තමයි මේ නාට්‍ය හරහා අපි මතු කරන්නේ.
ඒ හරහා අපි උත්සාහ කරන්නේ තමන්ට තමන්ව දකින්න යම් කැඩපතක් අල්ලන්න සහ මේ සිදුවන පරිහානියට නිහඬවම අපිත් අහුවෙනවද නැත්නම් අපි ඒ ගැන අවබෝධයෙන් කළ හැකි දේ හොයනවද කියන කාරණයයි අපිට මතුකරන්න උවමනාව තියෙන්නේ. මේ ගත්තු උත්සාහය තමයි මේ නාට්‍යය ඇගයීමට හේතුවන්නේ සහ ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ඉහළ ප්‍රතිචාර ලබන්න හේතු වන්නේත්.
Q ලංකාවේ නාට්‍ය කලාව ඇගයීමට තිබෙන එකම සම්මාන උලෙළ වන මෙම සම්මාන උලෙළට රාජ්‍ය මට්ටමින් හෝ මාධ්‍ය තුළින් ලබාදෙන අනුග්‍රහය ප්‍රමාණවත් නැහැ නේද?
රටක කලා සංස්කෘතියේ වර්ධනය ඒ රටේ දියුණුව කියාපාන දෙයක්. අපේ රටේ පරිහානිය කලා සංස්කෘතික ක්‍රියාවලිය තුළ පවා දකින්න ලැබෙන දෙයක්. පසුගිය වසරට සාපේක්ෂව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළ පැවැත්වීමේදී හොඳ තත්ත්වයක් පෙන්නුම් කළා. හැබැයි මීට වඩා සාධනීය ලෙස පවත්වන්න උවමනාවක් තියෙනවා නම් අපහසු නැහැ.
මම මේ වන විට ඉල්ලීමක් කර තිබෙනවා නාට්‍ය අනුමණ්ඩල ලේකම්වරිය හරහා සංස්කෘතික අධ්යක්ෂවරියව හමුවෙන්න. මොකද දියුණු නාට්‍ය සංස්කෘතියකට උදව් වන විදිහට රාජ්‍ය නාට්‍ය උලෙළ යොදාගන්න අපේ තිබෙන යෝජනා ඉදිරිපත් කරන්න. තැන තැන විවේචනය කරනවාට වඩා හමුවෙලා කරුණු ඉදිරිපත් කරන එක හොඳයි.
කොහොම වුණත් නාට්‍ය කලාව හා සාහිත්‍ය කලාව පිළිබඳව අපේ සමාජය තුළ වැඩි අවධානයක් ඇතිකරන්න මාධ්‍යයට ඇති නොහැකියාව ගැන කණගාටු වෙනවා. රාජ්‍ය නාට්‍ය උලෙළ ගත්තාම සමහර විද්‍යුත් නාළිකාවල තත්පර 15ක් වත් මේ වෙනුවෙන් වැය කරන්න කටයුතු කළේ නැහැ. සමහර මුද්‍රිත මාධ්‍ය නිසි වටිනාකමකින් වාර්තා කළේ නැහැ. එවන් පසුබිමක'අද' පුවත්පත පමණයි නිසි වටිනාකමක් ලබාදෙමින් මේ වන තෙක් (29දා) වාර්තා කළේ.
කලාත්මක ශ්‍රමය ගැන අපේ සමාජයේ තිබෙන ඇගයීමත්, වටිනාකමත් හරි අඩුයි. මේ වන විට ඉතා දියුණු නිර්මාණ ශිල්පීන් බිහිවෙමින් ඉන්නවා. එවැනි අයව හඳුනාගෙන අගය කිරීම, සමාජයට හඳුන්වාදීම සඳහා ඉඩක් වෙන්කර ගන්න අවබෝධයක් සමහරුන්ට නැහැ.
හැබැයි හොඳම නළුවා වෙනත් වංචාවකට, දූෂණයකට සැකකරුවෙක් වුණා නම් ඊට විශාල ඉඩක් ලබාදේවි. අපේ ජනමාධ්‍ය වාර්තා කරන්න බලාගෙන ඉන්නෙම හොරකම්, මැරකම් විතරමද? සාධනීය දේ වෙත අවධානය යොමු කරන්නේ නැද්ද? මේ ගැන මාධ්‍ය ආයතන හිමිකරුවන් කතුවරුන් සිතිය යුතු වෙනවා.
මිය යමින් පවතින සමාජයක තවමත් මිය නොගිය ක්ෂේත්‍ර බොහෝමයක් තිබෙනවා. විශේෂයෙන්ම කලාව හා අධ්‍යාපනය ගැන ලබාදෙන ඉඩ තව වැඩි කළ හැකිනම් එය සමාජයට යහපත් බලපෑමක් වේවි. අපේ රටේ විද්‍යුත් නාළිකාවල ප්රවෘත්ති ගත්තොත් වැඩකට නැති දේශපාලනඥයන්ගේ ප්‍රකාශ තමයි අපි වැඩි වශයෙන් දකින්නේ.
එය දේශපාලඥයන් නිත්‍ය පුවත් සපයන්නන් වගේ හැමදාම පෙනී සිටිනවා. BBC, CNN, NDTV හෝ අල්ජසිරා පුවත් සේවාවන් ගත්තොත් ඒවායේ මේ වගේ විහිළු සපයන වැඩකට නැති දේශපාලනඥයන්ගේ කතා පෙන්වන්නේ නැහැ. ඒක නෙවෙයි ප්රවෘත්ති කියන්නේ. ඉහත කියූ සෑම විදෙස් නාළිකාවකම අලුතෙන් එන පොතක්, අලුතෙන් එන චිත්‍රපටයක්, අලුතෙන් එන නාට්‍යයක් ගැන පළවෙනවා. ඇගයීමේ උලෙළවල් ගැන කතා කරනවා. නිරෝගී සමාජයකට දියුණු කලා සංස්කෘතියක් අවශ්‍යයි.
Q පසුගිය සමයේ ඔබ නිර්මාණය කළ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වූ නාට්‍ය ඇතැමුන්ගේ දැඩි බලපෑම් මත නාට්‍ය උලෙළ වලින් නොසලකා හැරි බවක් දිස්වුණා. මේ වන විට ඒ බලපෑම් අවසන් බවද මෙවර ප්‍රතිඵලයෙන් පැහැදිලි වෙන්නේ?
මම කවදාවත් සම්මාන උලෙළක්, විශේෂයෙන් සම්මාන නොලැබුණා කියලා විවේචනය කරලා නැහැ. හැබැයි මෙවර විනිශ්චය මණ්ඩලයේ ගරු කටයුතු කිහිපදෙනෙක් සිටීම නිසා ඒ විනිශ්චය මණ්ඩලයට පිළිගැනීමක් හිමිවනවා. සමහර අවස්ථාවල ඇතැම් පුද්ගලයන් කොහොමද මේ විනිශ්චය මණ්ඩලයට ආවේ කියන ගැටලුව ඇති වෙනවා.
කලා ඇගයීම් සඳහා විවෘතව බැලිය හැකි අයව යොමුකිරීම වැදගත්.
මම 'ආදර වස්තුව' නාට්‍යය වේදිකාගත කරන සමයේ මට ඉතා අමිහිරි අත්දැකීමකට මුහුණපාන්න සිදුවුණා. එවකට ආණ්ඩුවේ උපදේශකවරයෙකු වූ විශ්වවිද්‍යාල අමාත්‍යවරුන් සම්බන්ධයෙන් තමයි මේ නාට්‍යය නිර්මාණය කර තිබෙන්නේ යනුවෙන් ඔහු මට පෞද්ගලිකව දෝෂාරෝපණය කළා.
එතැනින් නොනැවතී කෙටි නාට්‍යයක්වත් විනිශ්චය නොකළ අදාළ කථිකාචාර්යවරයා කිසිදු ශික්ෂණයකින් තොරව නිලබලය භාවිත කරලා ඒ වගේම පුද්ගලයෙක් සභාපති ලෙස පත්කරගෙන නාට්‍ය ඇගයීම සඳහා පැමිණ එම නාට්‍යයට එරෙහිව පෙනී හිඳ තිබුණා.
එතැනදී 'රාජිතට එරෙහි වුණේ' වැනි මතයක් හදාගෙන බොහෝ දෙනෙක් මෙය ප්‍රශ්න කළේ නැහැ. මමත් එය නිශ්ශබ්දව විඳ දරා ගත්තා. මෙවැනි තත්ත්වයක් සම්පූර්ණයෙන්ම තවදුරටත් නොවෙනවාම නෙවෙයි. ඉදිරියටත් වෙන්න පුළුවන්. මේ නිසා බොහොම විවෘතව ඇගයීමේ ක්‍රියාවලිය සිද්ධකරන්න පුළුවන් නම් එය වැදගත්.
කිසියම් අයෙක් ඇගයීමක් ලබනවා කියන්නේ තවත් කෙනෙක් පරාද කිරීමක් නෙවෙයි. එය ඇගයීමේ මණ්ඩලයක් විසින් කරන ඇගයීමක්. හොඳම රංගනය පිළිබඳව සම්මානයක් හිමිවනවා කියන්නේ අනිත් රංගනයන් දුර්වලයි කියන එක නෙවෙයි. එසේ ඇගයීමට ලක් කිරීම කලාව පිළිබඳව සේම කලාවේ පවතින මූලික කාරණා පිළිබඳව අදහසක් ඇතිව සිදුකරන දෙයක්. එහිදී පෞද්ගලික කෝන්තර ඇතිව සිද්ධ කරන්න ගියොත් එය සුදුසු දෙයක් නෙවෙයි.
මෙවැනි තත්ත්ව නිසාම අපේ බොහෝ ඇගයීම් මණ්ඩල පිළිබඳව තිබෙන විශ්වාසය මේ වන විට අඩුවෙලා තිබෙනවා. සමහර අවස්ථාවල සැමියාගේ නිර්මාණයක් විනිශ්චය සඳහා ඇගයීමේ මණ්ඩලයට බිරිඳ වාඩි වෙනවා. බැඳුම්කර සිද්ධිය ගත්තොත් විශාල ආචාරධර්ම කඩවීමක් සිදුවූ බවක්නේ පැවසෙන්නේ.
සැමියාගේ නාට්‍ය විනිශ්චය කරන්න බිරිඳ ඉදිරිපත් වීමත් එවැනිම ආචාරධර්ම කඩකිරීමක් තමයි. අපේ රටේ ඉතා හොඳ කලා ඇගයීමක් කළ හැකි පුද්ගලයන් සිටිනවා. එවැනි අයව කල් ඇතිව සහභාගී කරවන වැඩපිළිවෙළක් මේ අනුමණ්ඩල වලට, සංස්කෘතික දෙපාර්තමේන්තුවට නැහැ. අවසාන මොහොතේදී එවැනි අයව සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරීම ඔවුන්ට කරන නිගරුවක්. ඒ කලා නිර්මාණවලට කරන නිගරුවක්.
හොඳ ඇගයීම් මණ්ඩලයක් වෙතින් විනිශ්චයට ලක්වී සම්මාන නොලැබුණත් එය කලාකරුවෙක් ලබන ගෞරවයක්. කෙසේ හෝ මෙවර ඇගයීම් මණ්ඩලයේ සභාපතීත්වය අශෝක හඳගම විසින් දැරීම නාට්‍යකරුවන්ට ලැබුණු ගෞරවයක්. ඔහු වැනි කෙනෙකුට තමන්ගේ කාලය මිඩංගු නොකර මෙවැනි වගකීමක් භාර නොගෙන ඉන්න තිබුණා. නමුත් ඔහු මීට සහභාගී වීමම විශාල ගෞරවයක්.
මෙවැනි අයව ඇගයීම් මණ්ඩලවලට සම්බන්ධ කර ගැනීම සම්මාන වලට පිළිගැනීමක් ලැබෙන හේතුවක් වෙනවා. ඒ වගේම අවසන් වටය සඳහා මූලික වට වලින් නිර්මාණ තෝරා ගැනීම කළ යුතුයි. මේ වසරේ අවසන් වටයට තේරුණු නාට්‍ය 10න් අඩක් පමණ අවසන් වටයේ තිබිය යුතුද කියන ගැටලුව මතුවෙනවා. ඒ නිසා දෙවැනි වටයේ ඇගයීම් මණ්ඩල ඊට වග කිවයුතුයි.
Q 'නැතිව බැරි මිනිහෙක්' ඉදිරි ගමන් මග කොහොමද සැලසුම් කර තිබෙන්නේ?
අපි මේ අවුරුද්ද පුරාවටම මේ නාට්‍යය රංගගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට අගෝස්තු වන තෙක් නාට්‍ය දර්ශන සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම ගිය වසරේ සැප්තැම්බර් 2-3 තමයි මේ නාට්‍යයේ මංගල දර්ශනය පැවැත්වුණේ. ගෙවුණු කාලය තුළ මසකට දර්ශන කිහිපයක්ම රංගගත කරන්න අවස්ථාව ලැබුණා.
එය සතුටුදායක තත්ත්වයක්. මොකද මෑත කාලයේ ප්‍රචලිත වෙච්ච වාණිජ නාට්‍ය රැල්ලක් විශාල ලෙස ව්‍යාප්ත වෙලා තිබෙන පසුබිමක මෙවන් නාට්‍යයක් පවත්වාගෙන යන්න ලැබීම විශාල ජයග්‍රහණයක්. අගෝස්තු මාසය වන විට මෙහි 50 වැනි දර්ශනය සපුරන්න අපට අවස්ථාව ලැබෙනවා. මේ නාට්‍යයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිවෙනවා.
අපේ මීළඟ දර්ශනය අප්‍රේල් 2 වැනිදා සවස 7.00ට ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී රංගගත කරනවා. මේ දර්ශනය නරඹන්න එදිනට එක්වන්න කියලා මම මේ මොහොතේදී ඔබට ආරාධනා කරන්න කැමතියි.
ඒ වගේම අපි වසරකට වරක් ලයනල් වෙන්ට්ඩ් හි පවත්වන නාට්‍ය උලෙළ අගෝස්තු 25,26 හා 27 දිනවල පැවැත්වීමට සූදානමින් සිටිනවා. මෙහිදී 'නැතුව බැරි මිනිහෙක්' සේම 'ආදර වස්තුව' හා 'මට වෙඩි තියන්නෙ නැද්ද' නාට්‍ය රංගගත කිරීමට අදහස් කරගෙන සිටිනවා.
077 3 502 700
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd