මිනිස්සු අද ජීවත් වෙන්නේ හැල්මේ දුවන සමාජයක. කොටින්ම කිව්වොත් එක මිනිත්තුවකටවත් තව කෙනෙක් ළඟ නැවතිලා පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න කාටවත් වෙලාවක් නැහැ. අද කියල කියන්නේ මම වර්තමානය කියන එක. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. හැබැයි ඒ වගේ ඇවිදිනවට වඩා දුවන සමාජයක් තමන් ඉස්සරහ ඉද්දගැහුවා වගේ නවත්තගන්න පුළුවන් වෙච්ච මිනිස්සු හිටියා. තමන් කියන දේ අහගෙන ඕනෑම වෙලාවක් ඉන්න පුළුවන් තරමට මිනිස්සුන්ව හීලෑ කරගත්ත අය හිටියා. අන්න එහෙම කෙනෙක් තමයි හේම නලීන් කරුණාරත්න කියලා කියන්නේ.
ලංකාවට රූපවාහිනිය එන්නේ 1982 රූපවාහිනියට හේම නලීන් එන්නේ 1983. ඒ නිෂ්පාදන සහකාරවරයෙක් විදිහට ටෙලිවිෂන් පුරුදු වෙන්න. උනන්දුවක් තියෙන මිනිහට කිලෝමීටරෙත් මීටරේ වෙන බව දැනගෙන හිටපු නලීන් අයියා රූපවාහිනිය මැජික් එකක් වෙච්ච සමාජයකට අපේකම එකතුකරන්න අමුතු අමුතු වැඩ කරන්න පටන් ගත්තා. දේශීය වැඩසටහන්වලට අලුත් මුහුණක් දුන්න හේම නලීන් කරුණාරත්න ඒ මුහුණට තමන්ගේ මුහුණත් එකතු කළා. 09.05 මතක හැමෝටම හේම නලීන් මතක හිටින්නෙත්, හේම නලීන් දකින හැමෝටම 09.05 මතක් වෙන්නෙත් අන්න ඒ හින්දයි.
සොබාදහමට අපමණව ආදරය කරපු නලීන් අයියා තමන්ට ගොඩක් ආදරය කරපු ප්‍රේක්ෂකයන්ට ඇස් දෙකෙන් බලාගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති ගොඩක් දේවල් 09.05න් පෙන්නන්න පුරුදු වුණා. හැමෝටම තේරෙන භාෂාවෙන් කතා කරපු මේ සොඳුරු මනුස්සයා කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස් වගේ රටක් වෙනස් කරන්න පුළුවන් කටක් තිබුණ අමුතු පරම්පරාවක අන්තිම පුරුක කියලා කිව්වොත් හරියටම හරි.
නලීන් අයියා කවදාවත් වැඩකට නැති දේවල් කතා කරපු කෙනෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත් වැඩකට නැති දේවල් කරපු කෙනෙකුත් නෙමෙයි. වැඩකට නැති අය ආශ්‍රය කරපු කෙනෙකුත් නෙමෙයි. කොටින්ම වැඩකට නැති කිසිම දෙයක් නලීන් අයියගේ ජීවිතේ තිබුණෙ නෑ. ඒ හින්දම තමයි හේම නලීන් කරුණාරත්න කියන වැඩකට ඇති සන්නිවේදකයා බිහිවෙන්නේ.
රූපවාහිනියේ එක එක වෙනස්කම් අත්හදා බලන හේම නලීන් කරුණාරත්න වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදිහට උසස් වෙලා තව තව සුන්දර දේවල් ටෙලිවිෂන් බලන අයට පෙන්නන්න පටන්ගත්තා. ආනන්ද රාත්‍රිය, මින්දද හීසර එහෙම කරපු සුන්දර වැඩසටහන් අතරින් කීපයක්. මොන විදිහක වැඩසටහනක් කළත් නලීන් අයියට ඒක මිනිස්සු අතරට අරගෙන යන්න ඒ තරම් අමාරු වුණේ නෑ. ඒ තමන්ගේ වැඩසටහන විකාශය වන ගුවන් කාලය ඇතුළත හැම විනාඩියම බලන අයගේ නාඩිය අල්ලන විදිහට හැඩ කරලා තිබුණ හින්දා.
ප්‍රේමකීර්ති ද අල්විස්, ෆ්‍රෙඩී සිල්වට ලියපු සිංදුවක මෙන්න මෙහෙම තියෙනවා අපි කවුරුත් අහල තියනවා, අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා. එහෙම පදයක් ලිව්වේ ඇයි කියලා අපි හැමෝටම තේරුණේ නව සහශ්‍රයක් පිළිගන්න රූපවාහිනිය නිර්මාණය කරපු 2000 ප්‍රසංගය ඉවර වෙනකොට. 1999 දෙසැම්බර් 31 වෙනිදා ගෙවිලා 2000 ජනවාරි පළවෙනිදා උදාවෙන්නේ හේම නලීන් කරුණාරත්න එක්ක අපි කීපදෙනෙකුට රස්සාව නැති කරගෙනමයි. කාරණය තමයි ටෙලිවිෂන් එකේ රටක් හොල්ලන විදිහේ අමුතු වැඩක් විදිහට 2000 ප්‍රසංගය සංවිධානය කිරීම. වැඩක් නොකර අනුන්ගේ ඇද හොයපු අයට ඒක එච්චර අල්ලලා නැති බව අලුත් අවුරුද්දේ අපිට ලැබුණු තෑග්ගෙන්ම තේරුණා.
ටෙලිවිෂන් අතැඹුලක් වගේ දැනගෙන හිටිය නලීන් අයියට, අස්ථිර ලෝකයේ ස්ථිර දෙයක් නැති බව දැනගෙන හිටිය නලීන් අයියට රූපවාහිනිය අහිමි වීම ඒතරම් දෙයක් වුණේ නෑ. හැබැයි ටෙලිවිෂන් දැනගෙන හිටපු අපිට ටෙලිවිෂන්ම කරනවා ඇරෙන්න වෙන කිසි දෙයක් කරන්න හිතක් තිබුණෙත් නෑ. ඔන්න ඔහොම ඉන්නකොට තමයි ටෙලිවිෂන් වගේම සිනමා දැවැන්තයෙක් වෙච්ච එච්.ඩී ප්‍රේමරත්න මහත්තයා අපිට ස්වර්ණවාහිනියට කතා කරන්නේ. එතන වැඩක් කරන්න පුළුවන් කියලා හිතුණ හින්දා නලීන් අයියව පෙරටු කරගෙන පෙරහරේම අපි ස්වර්ණවාහිනියට ගියේ අමුතුම පෙළහරක් පාන්න හිතාගෙන.
රූපවාහිනිය ඇතුළෙදිම 09.05 වගේ බ්‍රෑන්ඩ් එකක් හදපු හේම නලීන් කරුණාරත්නට, තමන් විසින් තමන්වම බ්‍රෑන්ඩ් එකක් කරගත්ත හේම නලීන් කරුණාරත්නට ස්වර්ණවාහිනිය බ්‍රෑන්ඩ් එකක් කරන්න මහ කාලයක් ගතවුණේ නෑ. නිර්මාණ අධ්යක්ෂවරයා වගේම වැඩසටහන් අධ්යක්ෂවරයා විදිහට ස්වර්ණවාහිනියට අලුත් අභිමානයක් එකතු කරපු නලීන් අයියා තමන්ගේ කටින් පිටවුණු වචන ටිකම එකතු කරලා ස්වර්ණවාහිනිය ශ්‍රී ලාංකේය අභිමානය බවට පත් කළා. ස්වර්ණවාහිනිය ඇතුළෙත් බ්‍රෑන්ඩ්ස් කිහිපයක් හදපු මේ සොඳුරු මනුස්සයා ඉතිරි කරගත්ත දෙයක් තියෙනවා නම් ඒ, ඒ ටිකම විතරයි. Live @ 8 කියන බ්‍රෑන්ඩ් එක හදන්නේ හේම නලීන් කරුණාරත්න. සුන්දර සෙනසුරාදා^, හරබර ඉරිදා නලීන් අයියගෙ අතින් බිහිවුණු තවත් සොඳුරු වැඩසටහන් කිහිපයක්. අද මොන මොන චැනල් Live @ 8 කියන කෑල්ල ඉස්සරහට දාගෙන ප්රවෘත්ති කිව්වත් ඒ නමේ සැබෑ අයිතිය තියෙන්නේ නලීන් අයියට.
ඉවසීම කියන එක කොයිතරම් ප්‍රගුණ කරපු මනුස්සයෙක්ද කිව්වොත් හේම නලීන් කරුණාරත්නට තව කෙනෙකුට යමක් පැහැදිලි කරන්න පුදුම හික්මීමක් තිබුණා. අනෙක් කෙනාගේ අදහසට ඉඩක් දෙන්න පුළුවන් තරමේ නිහතමානීකමක් තිබුණා. තව කෙනෙකුගේ විවේචන ඉවසන්න පුළුවන් තරමේ දියුණු මට්ටමේ මනසක් තිබුණා. කොටින්ම කිව්වොත් තමන් සමග හැප්පෙන්න එන කෙනාව දමනය කරගන්න පුළුවන් අමුතු බලයක් තිබුණා.
ජීවිතයම ටෙලිවිෂන් කරගත්ත නලීන් අයියගේ ජීවිතය තුළත් එයා නිර්මාණය කරපු වැඩසටහන් වගේම සොඳුරු අමුතු සුන්දර දේවල් ටිකක් තිබුණා. තමන්ගේ අම්මට ඒ වගේ ආදරයක් දක්වපු කෙනෙක් තවත් නැතුව ඇති. දවස ගානේ වාද්දුවේ මහගෙදර ඉඳලා වැඩට ආවේ ගියේ අම්මට තිබුණ ඒ ආදරය නිසාමයි.
ටෙලිවිෂන්කරුවෙක් කියන්නේ හැමදාමත් තාරුණ්‍යයේ ජීවත් වෙන කෙනෙක් කියලා කිව්වොත් හරි. මොකද තරුණ පරම්පරාවත් එක්ක ගැටෙන එක, අලුත් පරම්පරාවත් එක්ක ගැටෙන එක ටෙලිවිෂන් නිර්මාණකරුවෙකුගේ රස්සාව වෙන හින්දා. නලීන් අයියත් වයසට ගිය කෙනෙක් නෙමෙයි. හැමදාමත් තරුණකමත් එක්ක ජීවත් වුණ කෙනෙක්. අලුත් වන තාක්ෂණය, තව තව අලුත් අලුත් දේවල් හේම නලීන් අයියට අලුත් නොවුණේ එයා හැමදාමත් ටෙලිවිෂන් එක්ක ජීවත් වෙච්ච හින්දමයි. 1983 රූපවාහිනියට ආධුනික නිෂ්පාදන සහකාරවරයෙකු විදිහට එකතු වන නලීන් අයියා මිය යනකොට රූපවාහිනී නාළිකාවක හිමිකරුවෙකු වෙන්නෙත් අන්න ඒ හින්දමයි.
එක් එක්කෙනාට එක එක බලාපොරොත්තු තියෙන එක සාමාන්‍ය දෙයක්. නලීන් අයියා හිතන්න ඇත්තේ මම මැරෙනකම්ම ටෙලිවිෂන් කරනවා කියලා. එයා හිතුවේ එහෙමනං, එයා බලාපොරෙත්තු වුණේ එහෙමනං මම හිතන්නේ එයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා කියලයි. කවදාවත් විවේකීව ඉන්න විදිහක් ගැන අපිත් එක්ක කතා නොකරපු නලීන් අයියා එහෙම කළේම විශ්‍රාම සුවයක් ගැන නොහිතපු හින්දා වෙන්න ඇති. කෙනෙකුට බලය, ධනය, කීර්තිය ඉක්මනින්ම ලැබෙනවා කියන්නේ එයා ඉක්මනින්ම අප අතරින් සමුගෙන යනවා කියන එකත් ඉක්මන් වෙනවා කියන එකද කියලා නලීන් අයියගේ ජීවිත කතාව දිහා බැලුවම මට හිතෙනවා. කමක් නෑ නලීන් අයියේ හැමදාමත් තමන්ට හිතෙන හොඳ දේවල් හොඳම විදිහට කරපු ඔයාට මේ මොහොතෙත් තියෙන හොඳම දේ වෙන්වීම කියලා හිතුණද දන්නෑ. හැබැයි අපිටනම් කියන්න තියෙන්නේ හොඳම මනුස්සයෙක් අපට නැතිවුණා කියලා විතරයි.
කැළුම් පාලිත මහීරත්න