පාසල් ශිෂ්‍යයෙකුව සිටි කාලයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විහදුහල් ශාලාවේ වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගය නරඹමින් ප්‍රථම වතාවට ඒ මියුරු කඩහඬ මම රස වින්දෙමි. මා සමග එලෙස රසවිඳි එකල ගැටවර වියේ සිට සහෘදයන් දශක කිහිපයක් ගෙවී ගියත් අදටත් මා මෙන්ම එම කටහඬට ලොල් බඳින බව මම හොඳින් දනිමි.
සමාජයේ විවිධ තනතුරුවල, විවිධ රැකියාවන් කළත් වික්ටර් රත්නායකයන්ගේ ප්‍රසංගයකදී එම මුහුණු නැවත නැවත දකින්නට ලැබීම මට නම් අරුමයක් නොවේ. එදා අප සමග 'ස' නරඹමින් වික්ටර්ගේ කටහඬ ඇසෙන විට තම හුස්ම උඩට අල්ලමින් 'සු...උ...' හඬින් හැඟුම්බර වූ බාලිකාවන්, වර්තමානයේදී තලතුනා කාන්තාවන් ලෙස නැවත නැවත වික්ටර් රත්නායකයන් දැකීමට, ඇසීමට පැමිණෙනු මම බොහෝ විට දැක ඇත්තෙමි. එතුමා වේදිකාවේ ගී ගයද්දී ඔවුන්ගෙන් බොහෝදෙනෙකු එම ගීත හෙමින් මතුරනුද මම දැක ඇත්තෙමි.
එදාටත් අදටත් හෙටත් මේ කටහඬ අපව මෙලෙස ජීවත් කරවන්නේ කුමක් නිසාදැයි නොදනිමි. සංගීතය හා ගායනය පිළිබඳ රසවිඳීමක්, සුළු හැඟීමක් පමණක් ඇති මම එය විග්රහ කිරීමට කිසිවිටෙක උත්සාහ නොකරමි. නමුත් ටෙස්ට් පිටියක ඉනිම ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඉතා සෙමෙන්, ඉතා ඉවසිල්ලෙන් සහ බුද්ධියෙන් දිගු ඉනිමක් සඳහා ලකුණු එකතු කරන ආකාරය වික්ටර්ගේ දිගු ඉනිමට යම් සමානකමක් දක්වනු ඇතැයි මම සිතමි.
සංගීතය පිළිබඳ මා තුළ ඇත්තේ දැනීමක් නොව, හැඟීමක් යැයි කලින්ද කීවෙමි. නොදැවී දිගු ඉනිමක ගමනක් යන මේ ගායකයා සංගීතඥයෙකු ලෙස කර ඇති සුවිශාල මෙහෙය මෙතෙක් මට අමතක වී ඇත්තේ මා ඒ කටහඬට පමණක් පෙම් බැඳ, ලොල් වී ඇති නිසා බව මම, මටම දෝෂාරෝපණය කරමින් අවබෝධ කර ගත්තෙමි.
තම කටහඬින් තමන්ම සංගීතවත් කරමින් ගැයීමට තිබූ අප්‍රමාණ ගීත ප්‍රමාණයක් සංගීතය පමණක් මෙහෙයවමින්, ගායන වරම අනුන්ට ලබාදීමට තරම් ඔහු තුළ වූ පරිත්‍යාගශීලීත්වය, උපේක්ෂාව සහ නිහතමානිත්වය විස්මයජනකය.
'කොහේ සිට ඔබ පැමිණයේදෝ...', 'සසර සැරිසරන තෙක් ඔබ මගේ' වැනි පෙම් ගීතවලින් යෞවන හදවත් සැනසූ ඔහු, අමරදේවයන්ට 'කුමරියක පා සලඹ සැලුණා...' ගීතය නිර්මාණය කළේය. 'තනි තරුවේ...', 'අහිමි උනත් නුඹ ළඳේ...' වැනි විරහ ගීවලින් හදවත් කඳුලින් තෙත් කළ ඔහු, නන්දා මාලිනියට 'දෙනෝදාහක් නුවන් අතරේ' ගීතයද, මිල්ටන් මල්ලවාරච්චිට 'ඔබයි මමයි මැවූ සිහින' ගීතයද තනු නිමවා සංගීතවත් කර දුන්නේය. තරුණ සිත් තුළ ප්‍රේම කුතුහලය අවදි කරමින් 'දෛව යෝගයකින්...' වැනි ගීත සර්වකාලීන කළ ඔහු එවැනිම සදාතනික මියුරු ගීතයක් 'දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...' තුළින් මිල්ටන් පෙරේරාට තනා දුන්නේය.
'අපි ඔක්කොම රජවරු' කියූ හඬින් ඔහු 'රාජ කිරුළු පලන්දාපු රජ්ජුරුවෝ' ගයා නැත. එය සදාකාලික ජනප්‍රිය ගායක එච්.ආර්. ජෝතිපාලයන්ට ලබාදී ඇත. පියගුණ ගැයෙන අබේවර්ධන බාලසූරියගේ 'පියාණෙනි මා නැවත උපන්නොත්' ගීතය ඔහු ගැයීමට ඕනෑ තරම් අවකාශ තිබෙන්නට ඇතැයි අපට සිතෙන්නේ ඔහු ගැයූ 'ආදරයේ උල්පත වූ අම්මා...' මවු ගුණ ගීය මතක් වන විටය. නමුත් ඔහු එය ඔහුගෙන් පසු පරම්පරාවේ සදාදරණීය ගායක අබේවර්ධනයන්ට ලබාදී ඇත.
මේ මට හසු වූ සංගීත නිර්මාණ කිහිපයක් පමණි. ඔහුගේ සංගීත ඥානය, සංගීත පරාසය සුළුපටු නොවන බවට වෙනත් උදාහරණ කුමටද? ප්‍රෙඩී සිල්වා ගැයූ 'කුණ්ඩුමනී' ගීතයේ සංගීත නිර්මාණය වික්ටර් රත්නායකයන්ගේ බව මගේ මතකයට එයි.
ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානය යන සුවිශේෂ ගතිගුණ දෙකම එකම කලාකරුවෙකුට පිහිටන්නේ ඉතා කලාතුරකිනි. මොන තරම් සංගීත %රැලි^ ආවත්, නවීන යැයි කියනා විවිධ සංගීත 'උපක්‍රම' ආවත් එතුමා කලබල නොවීය. ඒවා හෙළා දුටුවේද නැත. විවේචනය කළ යුතු තැන නොබියව අදහස් ප්‍රකාශ කළේය. වැරදි දේ වැරදි යැයිද, නිවැරදි දේ සාධාරණ යැයිද කීමට ඔහු පසුබට වුයේ නැත. එමෙන්ම ඒ අමුතු 'උපක්‍රම' නිසා තමාගේ ස්වාධීනත්වය පාවා දෙමින් නාලිකාවල විනිශ්චය මණ්ඩලවල ඉඳගන්නට ගියේද නැත. (මේවා කළ අය වැරදි යැයි මම කිසිවිට නොකියමි. ඒ ඔවුන්ගේ නිදහසයි) එමේනම ජ්‍යෙෂ්ඨයන් නොකළ යුතු ප්රශස්ති ගායනා සහ අදහස් ප්‍රකාශ කිරීම් වික්ටර් රත්නායකයන්ගෙන් ලබා ගැනීමට නොහැකි වීම කලාකරුවන් වශයෙන් අපට අභිමානයකි. ඒ ඔහු අපට සුවිශේෂ වූ ආදර්ශයක් දෙන බැවිනි. ඇතැම් විට අපට මගහැරෙන, අප අතින් ගිලිහී යන අපගේ අභිමානය, අපගේ ස්වාධීනත්වය නැවත අප වෙතට කැඳවා ගැනීමට සුවිශේෂ අනුබලයක් මේ කීර්තිමත් කලාකරුවාගේ පැවැත්ම තුළින් අපට දායාද වෙයි.
'දෙවියෝ පය නොගසන තැන්වල මෝඩයෝ පිනුම් ගසති' යැයි කතාවක් ඇත. අප පිනුම් නොගැසිය යුතු තැන් අපට හඳුන්වාදීම සඳහා ඔබේ සේවාව සහ ඇසුර තව බොහෝ කලක් අප සැමට ලබාගැනීමට වාසනා වේවා යැයි ඔබට තුනුරුවන්ගේ සරණින් දීඝායු පතමි.
සනත් ගුණතිලක