ශ්‍රී ලංකාවේ නවතම ගීත ශෛලියක් තුළින් රසික හදවත් දිනාගත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් හි නිත්‍ය ගායකයෙකු ලෙස කටයුතු කරන ශිවන්ත ප්‍රනාන්දු ඒකපුද්ගල ගායකයෙකු ලෙස කළඑළි බසිමින් සංගීත ක්ෂේත්රයට අවතීර්ණ වී සිටිනවා. ඔහුගේ සංගීත කලාවේ ආවේණිකත්වය සමගින් සිය නවතම වැඩකටයුතු පිළිබඳව අප හා බෙදාගැනීමට 'අද' සමග යෙදුණු කතා බහකි මේ.
-
මේ දිනවල නවතම වැඩකටයුතු මොනවාද?
මගේම ගීත කිහිපයක වැඩකටයුතු කරගෙන යනවා. එකක් තමයි 'බඹරුන්' කියලා නම් කරලා තියෙන්නේ. එම ගීතයේ වැඩකටයුතු සම්පූර්ණ වශයෙන් නිම කරල ඉවරයි. වීඩියෝවත් සමග මෙම මාසයේ අවසානයේ වගේ එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව මගේ ඉංග්‍රීසි ගීතයක් වන 'I want to See you tonight' කියලා ගීතයක් තියෙනවා. ගීතයේ ඕඩියෝ එකේ වැඩකටයුතු නම් අවසන් කරලා තිබෙන්නේ. වීඩියෝවේ වැඩකටයුතු අවසාන කර නෑ.
-
සංගීත කණ්ඩායම් ගායකයෙකු ලෙස බොහෝදෙනෙකු හඳුනන ඔබ, ඒකපුද්ගල ගායකයෙකු ලෙස අලුත් මුහුණුවරක් ලබාදෙන්න සිතුවේ ඇයි?
මම සංගීත කණ්ඩායමට ඇවිල්ලා අවුරුදු 10ක් වෙනවා. සංගීත කණ්ඩායමක් තුළ දිගු කාලයක් සිටීමේදී ස්වාභාවිකවම මට වෙනමම රසික පිරිසක් ගොඩනැගෙනවා. ඒ රසික පිරිස මගෙන් ඉල්ලීම් කරලා තියෙනවා, මගේම කියලා ගීත දෙක තුනක් එළියට දාලා තනි ගායකයෙකු ලෙස කලඑළි බසින්න ආසාවක් නැද්ද කියලා. ඕනෑම ගායකයෙකු කැමති දෙයක් තමයි තමුන්ගේම කියලා ගීතයක් ජනප්‍රිය වෙලා එම ගීත හරහා තමන්ට වෙනමම රසික පිරිසක් හැදෙනවට. ඉතිං ඒ දේ උරගා බලන්න තමයි මම ගායකයෙකු ලෙස ඉදිරියට එන්න හිතුවේ.
-
ඔබ 'මෑෂප්' කියන ගීත ශෛලිය තුළින් ගීත එළිදක්වන හේතුව?
මාව ලංකාවේ ගොඩක් පිරිසක් දන්නෙ 'මේරියන්ස්' සංගීත කණ්ඩායමේ ගායකයෙකු හැටියටයි. ඇත්තටම මම සංගීත කණ්ඩායමේදී ගායනා කළේ 'Cover' ගීත. එකපාරටම මගේ 'Original' ගීත ආව ගමන් රසිකයින් අතරට කොහොම යයිද කියල මම දන්නෙ නෑ. ඒ නිසා රසික පිරිසකගේ ප්‍රතිචාර දැනගැනීමට තමා මම 'මෑෂප්' ගීත කීපයක් කරලා බැලුවේ. ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර ඉතාමත් හොඳයි.
-
'මෑෂප්' ගීත ශෛලීය කියන්නේ මොකක්ද?
'මෑෂප්' කියන ශෛලිය තව විදිහකට හඳුන්වන්න පුළුවන් 'සින්ක්‍රොනයිසේෂන්' කියලා. 'මෑෂ්' කියන්නේ එකතුවක් කියන එකයි. 'මෑෂප්' කියන්නේ ගීත 2ක් හෝ 3ක් කලවම් කරලා එක ගීතයක් ලෙස ඇහීමට සලස්වන එකයි. නමුත් මෙම ගීත 'Nonstop' එකක් විදිහට නොවෙයි, එක තාලයකට තමා ගායනා කරන්නේ. භාෂා කිහිපයක හෝ දෙකක ගීත මේ සඳහා යොදාගැනීම මෙහි විශේෂත්වයක්.
-
'මෑෂප්' කියන්නේ ලංකාවට ආවේණික නොවූ සංගීත කලාවක්. ඇයි එහෙමනම් ඔබ මේ දෙය ලංකාව තුළට ගෙන ඒමට උත්සාහයක් දැරුවේ?
දැන් ලංකාවේ ප්‍රචලිත සියලුම කලාවන් පිටරටින් ආපු ඒවා තමයි. සිනමා කර්මාන්තය, ටෙලිනාට්‍ය කලාව සහ සංගීත භාණ්ඩ ගත්තත් මේ කියන දේවල් එකක්වත් ලංකාවේ දේවල් නොවෙයි. 'මෑෂප්' කියන දේ පිටරටින් ආවා වෙන්න පුළුවන්. නමුත් ඒක අපේ විදිහට යොදාගන්නවා නම් අපේ දෙයක් කරගන්න පුළුවන්.
-
ඔබ සංගීතය තුළ වෙනස් දේවල් කරන නිසාද ඒකපුද්ගල ගායකයෙකු වීමට හිතුවේ?
මා තුළ මම දකිනවා යම්කිසි නිර්මාණ හැකියාවක්. මා විසින්ම තනු නිර්මාණය කරපු, පද රචනය කරපු ගීතත් තිබෙනවා. අපේ සංගීත කණ්ඩායමේ ගීතවල 'Arrangements' සඳහාත් මම දායක වෙලා තිබෙනවා. මෙතනදී ඒ හැකියාවන් තමයි මම උරගා බැලුවේ. ඉතිං ඒ දේ සාර්ථක වුණා.
-
'මේරියන්ස්' සංගීත කණ්ඩායමට එකතු වුණේ කොහොමද?
මගේ පළමු වැනි සංගීත කණ්ඩායම මේරියන්ස් නොවෙයි. සංගීත කණ්ඩායම් කිහිපයකම වැඩකටයුතු කරනු ලැබුවා. 2004 වර්ෂයේ පෙබරවාරි මාසයේ තමයි මේරියන්ස් සංගීත කණ්ඩායමට මම සම්බන්ධ වුණේ. නලීන් අයියා එයාගේ ඇල්ම්බමයක් කරා 'බඹරිඳු' කියලා. ඒ අතරතුර මගේ මිතුරන් දෙදෙනෙකු සමග මමත් සී.ඩී. එකක් කරන්න අදහස් කරගෙන හිටියා.
'බඹරිඳු' කියන ඇල්බමයේ 'සඳලු තලේ' කියන ගීතයට මම තමයි 'Guide Track' එකක් හදලා දුන්නේ. මගේ යාළුවෝ දෙන්නෙක් තමයි පදරචනය සහ තනු නිර්මාණය කළේ. ඉතිං ඒ වකවානුවේ 'මේරියන්ස්' සංගීත කණ්ඩායමට අලුත් ගායකයෙක් හොයන කාලේ. ඒ කාලයේදී නලින් අයියා කරපු ආරාධනයත් සමග තමයි කණ්ඩායමට සම්බන්ධ වුණේ. සංගීතය පැත්තෙන් ලැබුණු දැනුම සහ ජීවිතයේ නොලබපු අත්දැකීම් ගොඩක් මේ හරහා ලැබුණා.
-
ඒකපුද්ගල ගායකයෙකු ලෙස ඉදිරියට යන ගමනේ 'නලීන් පෙරේරා' කියන පුද්ගලයාගෙන් ලැබෙන සහයෝගය?
නලීන් අයියා ගොඩක් හොඳ සහයෝගයක් ලබාදෙනවා. මොකද නලීන් අයියා අද වෙන කොට ලංකාවේ චරිතයක් වෙලා ඉන්නේ. ඒක කාටවත් වට්ටන්න බෑ. නලීන් පෙරේරා කියන නම සහ රූපය ලංකාවේ වයස් භේදයකින් තොරව, ඕනෑම අස්සක් මුල්ලක් නෑරම දන්නවා. ඒ ජනප්‍රියත්වයට ළං වෙන්න අපිට බැහැ. ඉතිං ඒ නිසා ඔහුට මාව කපන්න, මාව හංගන්න අවශ්‍යතාව නෑ. ඔහුගේ සම්පූර්ණ ආශීර්වාදය, අවස්ථාව මට ලබා දීලා තියෙනවා.
-
සංගීත කණ්ඩායම තුළ ඔබ ගායනා කරන්නේ හින්දි සහ බටහිර ගීතයි. ඒකපුද්ගල ගායකයෙකු ලෙස පැමිණීමේදී මේ දෙය බලපාන්නේ නැද්ද?
ඒක ඇත්ත. මම කණ්ඩායමේ ගායනා කරන්නේ හින්දි සහ බටහිර ගීත. ඒ නිසා මට ලේබලයක් වැදිලා තියෙනවා මට ගායනා කරන්න පුළුවන් මේ ගීත තමයි කියලා. ඒ හේතුව නිසා තමයි මෑෂප් හරහා මේ කියන කාරණා වෙනස් කරලා මගේම ගීත එළියට ගේන්න උත්සාහ දරන්නේ.
-
ලංකාව තුළ ජනප්‍රිය ගායකයෙක් වූවොත් මේරියන්ස් සංගීත කණ්ඩායමෙන් ඔබ ඉවත් වෙනවාද?
මම හිතන්නේ ඒක තීරණය කළ යුත්තේ නලින් අයියා. කොහොම වුණත් මගේ සහයෝගය සංගීත කණ්ඩායමට 100%ක්ම දෙන්න ලැහැස්තියි. නලීන් අයියා තීරණය කරනවා නම් මම තවදුරටත් කණ්ඩායමේ ඉන්න එක හොඳයි කියලා මම දිගටම කණ්ඩායමේ රැඳෙනවා.
-
ඔබගේ සාර්ථකත්වය සඳහා දායක වූ අය ගැන කතා කළොත්?
මම පොඩි කාලේ ඉඳන්ම පවුලේ අයට වඩා යාළුවොත් එක්ක තමා හැදුණෙ වැඩුණේ. ඉතිං මගේ පාසලේ මිතුරෝ, මගේ ගමේ මිතුරෝ, විශේෂයෙන් සංගීත කණ්ඩායමේ මිතුරෝ සහ මගේ බිරිඳ මට පුදුමාකාර සහයෝගයක් ලබාදුන්නා. ඒ වගේම ගෞරවයෙන් මතක් කරන්න ඕන සමන්ත සිරිවර්ධනව (Cinemaworks). මගේ වැඩකටයුතු සඳහා ඔහු මට ලොකු සහයක් ලබා දී තිබෙනවා.
ඡායාරූප මිහිර බණ්ඩාර දිසානායක