වත්මනෙහි කතිකාවට බඳුන් නොකෙරෙන කාරණා හෝ තහනම් කරනු ලැබූ මාතෘකා සම්බන්ධයෙන් කතිකාවන් ප්‍රසිද්ධියේ පැවැත්වෙන තත්ත්වයන් දුලබය. එවන් දුලබ අවස්ථාවක් පසුගියදා (01දා) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.
ඒ තුන් ලෝකයට අග්‍රයැයි සැලකෙන දේශීය ඖෂධයක් සහ ශාඛයක් සම්බන්ධ පර්යේෂණ කෘතියක් එළිදැක්වීමටය. ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන් විසින් රචනා කරන ලද 'ත්‍රෛලෝක්‍යවිජයා' කෘතිය ජනගත කෙරෙන සභාව මෙහෙයවනු ලැබුවේ වසන්ත දුක්ගන්නාරාල විසිනි.
සභාවේ මූලික දේශනය අතිපූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් සිදුකරනු ලැබූ අතර, එය දේශීය වටිනාකම් වියැකීමට උත්සාහ දරන්නා වූ නොයෙක් වූ බලවේගයන් පිළිබඳ උළුප්පා දැක්වීම්වලින් සමන්විත විය.
ඒ තුළින් උන්වහන්සේ මෙවන් වූ ඖෂධීයමය ගුණැති පැළෑටීන් පහත් මට්ටමට පත්කර, තහනමට ලක්කිරීම දක්වා වූ ත්‍රෛලෝක්‍යවිජයා කංසා බවට පත්කිරීමේත්, කංසා, ගංජා බවට පත්කිරීමේත් යාන්ත්‍රණය හෙළි කළහ.
එතෙකින් සභාවට සංගීතවේදී නදීක ගුරුගේ ගැයුම් මන්ත්‍රයක් (එය ඔබට www.ada.lk හරහා ශ්‍රවණය කළ හැකිය) ශ්‍රවණයට ලැබුණු අතර 'ත්‍රෛලෝක්‍යවිජයා මන්ත්‍රය' නම් වූ එම ශ්ලෝකය චක්රාකාර වූ සංගීතමය රටාවක් තුළින් ඉදිරිපත් කෙරෙණි. පළමු වරට මහවැලි කේන්ද්‍රයට අමතර ප්ලාස්ටික් අසුන් ගෙනෙන්නට තරම් සෙනගක් එක්වනු දකින්නට මෙවන් තහනම් මාතෘකාවක් කතිකාවට ලක්වන තුරු සිටින්නට සිදුවිය.
ප්‍රධාන දේශනයන් තුළින් දිනෙන් දින සමාජය දියුණු වනවිට දේශීය වටිනාකම් අවප්‍රමාණ වීම හා එය සිදුවන යාන්ත්‍රණය සහ සමාජීය වශයෙන් මෙවන් කතිකාවත් සිදුවීමේ වැදගත්කම මෙන්ම සමාජය මෙයට ප්‍රතික්‍රියා දක්වන යාන්ත්‍රණය පිළිබඳ සාකච්ඡා කෙරිණි.
ඒ අනුව යමක් සමාජයේ තහනමකට ලක්කිරීමට හෝ සමාජයෙන් බැහැර කිරීමට ගන්නා වූ මූලික පියවරයන් ලෙසින් එය බාල්දු කිරීමේ සරල ප්රයත්නය දිගින් දිගටම සිදුවීමේ පටිපාටිය පෙන්වා දෙන ලදී. එයට උදාහරණ ලෙස පෙර කළ ගෞරවාන්විත නාමයන් වූ බණ්ඩාර සහ මැණිකේ වැනි වූ දේශීය නම් ඉහළ පැලැන්තියේ කළු සුද්දන් විසින් 'බණ්ඩා' සහ 'මැණිකා' ලෙසින් බාල්දු කර තම සේවක සේවිකාවන්ට යෙදීමේ තත්ත්වය පැහැදිලි කෙරිණි.
ඒ අයුරින් ගත් කළ සුද්දන් ලද විශාලතම යුද පරාජයක් වූ මුල්ලේරියා සටනේ අමිහිරි බව මකා ගැනීමට මානසික රෝහල මුල්ලේරියාවේ ඉදිකිරීමේ ව්‍යාපෘතියද පැහැදිලි වෙයි. කෙසේ හෝ දේශීය වටිනාකම් සහිත ගම්මිරිස් සහ බුලත් වැනි පැළෑටිවලට අවම අගයන් ලැබීම වැනි තත්ත්වයන් ඔස්සේ කංසා පැළෑටියට මුහුණ දෙන්නට සිදුව ඇති තත්ත්වය පැහැදිලි කෙරිණි.
එසේම මත්කුඩු විශාල වශයෙන් භාවිත වෙද්දී සහ නීති විරෝධීව තිබියදී පවා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන විට කංසා සම්බන්ධයෙන් වෙනස් ක්‍රමවේදයන් ක්‍රියාත්මක වීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.
එසේම ප්‍රධාන දේශනාවන් අතර මෙම ඖෂධීය පැළෑටියේ ඓතිහාසික වටිනාකම සේම සමාජ විද්‍යාත්මක හැසිරීම්ද සාකච්ඡාවට බඳුන් කෙරිණි. ඒ අනුව පොදු සමාජය තුළ කතිකාවට බඳුන් කිරීමට තහනම් කරන ලද මාතෘකා සම්බන්ධයෙන් දක්වන හැසිරීම් සහ එකී ක්‍රියාවන්ට යොමුවීමේ දක්වන ආකල්ප මෙන්ම ප්‍රතිචාර පිළිබඳවද විද්‍යාත්මක පැහැදිලි කිරීම් සිදුකෙරිණි.
ඉන් පසු මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා සහ මහාචාර්ය රාජ් සෝමදේවට අදහස් එක්කිරීම් පැවැරී තිබූ අතර, උත්සවයේ දෙවැනි කොටස සංවාද ජවනිකාවට විවර විය. එයට ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා, ආයුර්වේද වෛද්‍ය කවිරාජ සරණදාස දේවරාජ, ආයුර්වේද වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම, ලේඛක සහ විචාරක කේ.කේ. සමන් කුමාර, ලේඛක සුජිත් අක්කරවත්ත, චින්තන ධර්මදාස, නීතිඥ තරංග වීරසිංහ එක්වූහ. අවසන කෘතියේ රචක ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන් විසින් ස්තුති කතාව සිදුකරනු ලැබීය.
වසර මිලියන 35කට පමණ ඉහත දී මධ්‍යම ආසියාවේ චීනයට නුදුරු අල්තායී කඳුවැටිය ආශ්‍රිතව ගලාබසින ගං මිටියාවතක කංසා ශාකය බිහිවිය. දැනට වසර ලක්ෂ දෙකකට පමණ ඉහත අප්‍රිකාවේ බිහිවූ මිනිසා චීනයට සංක්‍රමණය කළ පසු වසර 12000 පමණ පෙර කංසා ශාකය ගෘහස්ථකරණය කෙරිණි.
ඉන් ඇරඹී මිනිසා සහ කංසා අතර සම්බන්ධතාව මේ දක්වා දිවයයි. මෙය කංසා පානය පිළිබඳ හෝ කංසා පානය සාධාරණීකරණය කරන සටහනක් නොවන අතර, මෙය වියැකී යන දේශීයත්වය එක් මූලික වස්තු විෂයයක් හරහා සාකච්ඡාවට බඳුන් කළ අවස්ථාවකි. ත්‍රෛලෝක්‍යවිජයා සම්බන්ධයෙන් ඔබ දත යුතු සියලු දෑ ආචාර්ය වැලිඅංගයන්ගේ කෘතියෙහි වෙයි.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ