මේ වනවිට ජාතික රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කරන ගයා රම්‍ය අල්විස් ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයෙකි. 'පඨවි' (බැලේ ඔපෙරා පෙළ) හා 'ඩෝල්ටන් අල්විස් නිර්මාණ නින්නාද' කෘතිය එළිදක්වා ඇති ඔහුගේ නවතම කෘතිය හා ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන්නේ 'අසූතුන ආකාසෙ' කාව්‍ය ග්‍රන්ථයයි. ගයා රම්‍ය අල්විස් නම් ඔහු සමග මේ කතාබහ ඒ පිළිබඳවය.
Q අසූ තුන ආකාසෙ ගැන මුලින්ම කතා කළොත්?
මේ මගේ පළමු කාව්‍ය සංග්‍රහය. ඒ වගේම තුන්වැනි ග්‍රන්ථය. මගේ පළමු ග්‍රන්ථය 'පඨවි' (බැලේ ඔපෙරා පෙළ) දෙවැනි ග්‍රන්ථය මගේ තාත්තගේ 'ඩෝල්ටන් අල්විස් නිර්මාණ නින්නාද' ග්‍රන්ථය සිදුකළා. මම මෙය නම් කරලා තියෙන්නෙ 'අසූතුන ආකාසෙ' නමින්. මගේ ජීවිත කාලය තුළම ලබපු අත්දැකීම් කවියට නගලා ඉතුරු කරගත් කවි සහ මෑත කාලයේ සමාජ, දේශපාලනික, ආර්ථික ක්ෂේත්‍ර‘ තුළ සිදු වූ පරිවර්තන සහ මිනිස් සමාජය තුළ හැසිරෙන විට අහන්න දකින්න ලැබුණු අත්දැකීම් ආදිය පිළිබඳ ලියූ මෑතකාලීන කවිත් එකතු කරලා තමයි මෙම ග්‍රන්ථය පාඨකයන්ට ලබාදෙන්නේ.
මම මීට අසූ තුන ආකාසෙ කියන නම යෙදුවෙ 1983 මේ රටේ සිදු වුණ ජූලි කලබලය මූල් කරගෙන. වාර්ගික අර්බුදය විවිධ කෝණවලින් විග්රහ වෙනවා. දෙමළ ජනතාවගේ විමුක්තිය උදෙසා කියල පෙනී සිටින කණ්ඩායම්වලින් සැබෑ ලෙසම එය ඉටු වෙනවාද? කඩතුරාව හැර එය එළිදරව් වෙනවාද? ඒවායේ අරමුණ මොනවද කියන ප්රශ්නය තිබෙනවා.
අපේ ජීවිතය තුළත් දෙමළ ජනතාව සමග සමීපව කටයුතු කර තිබෙනවා. ඔවුන්ට වාර්ගික අර්බුදය තුළ අප සමග ගනුදෙනු කරද්දි දැනුණ විදිහ හිත තුළ සටහන්ව තිබෙනවා. අසූ තුන ආකාසේ කවියත් 'මාරිමුත්තු කොළඹ එනවා' කියන කවියත් වාර්ගික අර්බුදය ගැන තැබූ සටහන් දෙකක්. සංහිඳියාව සඳහා මේ ජනවර්ග සම තලයකට ගෙන ආ යුතුයි. හැමදාම වුණේ දේශපාලන ආකර්ෂණයට සුළු ඡන්දවලට මහ ජාතිය සලකලා උපක්‍රම යෙදුවා. සියල්ල සමානාත්මතා දෘෂ්ටියකින් බැලුවොත් වාර්ගික ප්‍රශ්න විසඳීම සුන්දර වේවි.
Q ප්‍රකාශන ආයතනවලට අද කවිපොත් අලෙවිය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව සඳහන් වෙනවා. මේ ගැන ඔබේ අදහස?
මම හිතන්නෙ මේ වනවිට පැවැති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් උදාවෙලා තියෙනවා. කවි පොත්, නවකතා පොත්, කෙටිකතා පොත් හා වෙනත් සාහිත්‍ය කෘතීන් තරමටම කවිය ජනතා ආකර්ෂණයට ලක්වෙලා කියලා මම කියන්නෙ නැහැ. නමුත් සඳහන් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. මුහුණු පොත ඇතුළෙ සිදුවන සංවාද සහ තරුණ පරපුර තමන්ගේ කාව්‍යමය ප්‍රකාශන, කරන්නට ගන්නා උත්සාහයක් හරහා කවියට නව ජවයක්, නව පිබිදීමක් සමග කවිපොත් ඇසුරු කරන පර්ෂදයක් ගොඩනැගී තිබෙනවා.
ඒ වගේම නූතන පරම්පරාවේ තරුණ කවීන් බොහොම ප්‍රබල සන්නිවේදනයක යෙදෙනවා. තමන්ගේ දේශපාලනික ප්රකාශනය, සමාජ, ආර්ථික, සංස්කෘතික ප්රකාශනයන් කවිපොත් බොහොම ශක්තිමත්ව ඉදිරිපත් කරනවා. නිදර්ශන කිව්වොතේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ටිම්රාන් කීර්ති වැනි කවීන්ගේ කවි බලද්දි සතුටක් ඇති වෙනවා. නූතන කවිය කිසියම් සාධනීය ගමනක යෙදෙනවා කියා සිතෙනවා.
ඒ නිසා කවිපොතක් මුද්‍රණයට යම්කිසි පිරිවැයක් වැය වෙනවා. නමුත් හැම කවියෙක්ම උත්සාහ කළයුතුයි කවියන් සහ කවියට ආදරේ කරන පිරිස තව තවත් ප්‍රසාරණය කරගෙන මෙම පවුරෙන් එහාට කවියේ සන්නිවේදනය සිදු කරන්න. එහෙම නොවුණොත් කවියන්ට කවිය රසවිඳින හුදෙකලා සංවාදයක් බවට පත් වෙනවා. එය සමාජ සංවාදයක් බවට අරගෙන යන වගකීම තිබෙන්නේ නූතන කවීන්ගේ අතේම තමයි.
Q කවියෙකුට සාපේක්ෂව ගීත රචකයා ආර්ථිකමය ලෙස හා සමාජය හඳුනාගැනීම අතින් ඉස්මතුව තිබෙනවා. මෙහෙම තත්ත්වයක ගීත රචකයා ගීත රචකයෙකු නොවී කවියෙක් වෙන්නෙ ඇයි?
ඔව්. මම කවි ලියන්න කලින් ගීත ලිව්වෙ. මම විවිධ අවස්ථාවල ගීත රචනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. විවිධ අවස්ථාවල හොඳම ගීත රචකයාගේ සම්මානය ලබා තිබෙනවා. මගේ තාත්තත් ගීත රචකයෙක් වෙන්න පෙර කවියෙක්. කොතනින්ද පටන්ගත යුතු කියන කාරණාව ගත්තොත් මම හිතන්නෙ කවීත්වය ගීත රචකයාගේ ආරම්භය කියලා මම හිතන්නෙ. අපි කවි ලියද්දි තමයි මේ භාෂාව අතැඹුලක් ලෙස, එහෙම නැත්නම් මැටි පිඬක් ලෙස අපට අවශ්‍ය පරිදි සකස් කර, අපේ අදහසක් කියන්න උත්සාහ කරන්නේ.
කුමන උපමාවක්ද? කුමන රූපකයක්ද කුමන ආකෘතියක්ද භාවිත කරන්නේ කියන කාරණය සඳහා කිසියම් පුද්ගලයෙක් දිගින් දිගටම ලියන කවිය ඔහුට ලොකු පුහුණුවක් බවට පත්වෙනවා, ගීත රචනයට ප්‍රවිෂ්ට වෙන්න. මම කාලයක් පුවත්පත්වලට කවි ලිව්වා. පුවත්පත්වල පළ නොවුණ කවි විශාල ප්‍රමාණයක් මං ගාව තියෙනවා. ඒ හැම කවියක්ම මගේ වේදභිතයක් ප්‍රකාශ කිරීමක්. සමාජයේ පොදු කරුණු මට දැනුණ විදිහ, මම පෞද්ගලිකව ඒවා ග්‍රහණය කරගන්න විදිහ මම කවිවල ලිව්වා. නමුත් ඒවා පළ වුණේ නැහැ. නමුත් මට හිතුණා ඒ කවිවලින් තෝරාගත් සමහර කවි පළකළ යුතුයි කියලා. මං ගීත රචකයෙක් ලෙස සමාජය තුළ ස්ථාපිත වුණාට මගේ මුල් ආසක්ත දේ වෙන්නෙ කවිය.
කවිය හරහා තමයි මම ගීත රචකයෙක් බවට පත්වෙන්නෙ. කවි ලියන හැමෝම ගීත රචකයෙක් බවට පත් වෙන්නෙ නෑ. ඒකට හේතුව ඔවුන් කාව්‍යමය ආකෘතීන් තුළ සිරවුණාම ඒ ආකෘතියෙන් එළියට යන්න අපහසුයි. ගීතය වෙනත් ආකෘතියක්. නමුත් එහි සීමාව කියන්න බැහැ. කවිය සහ ගීතය අතර සීමාව කියන්න බෑ. විනාඩි තුනකින් සංගීතයට, ගායනයට මුහුවෙන සාහිත්‍යයක් බිහි කරනවා කියන දේ තමයි ගීතයේ තියෙන්නෙ. ඒක ඉතාම සංවේදී කාරණයක්.
Q අසූ තුනේ ආකාසයේ කාව්‍ය සංග්‍රහය ස්වයං වාරණයක් තුළ එළි දැක්වූවක්ද?
මම හිතාමතා ස්වයං වාරණ දමා කවි ලිව්වා කියලා හිතන්න අපහසුයි. හැම මිනිසෙක්ම 100% ක් සමාජයට නිරාවරණය වෙන්නෙ නැහැ කියලා මම හිතනවා. ඕන සාහිත්‍යකරුවෙක් තමන් විසින් සඟවාගන්නා කොටසක් ඇති. නවකතාකරුවන්, කෙටිකතාකරුවන් වගේම නළු නිළියන්, අධ්යක්ෂවරුන්, සාහිත්‍යධරයන් සියල්ලන්ම ස්වයං වාරණයක් දාගෙන ඉන්නෙ. සමාජයේ සමහර දේ ප්‍රකාශ කිරීමේදී වාරණ පනවාගන්නවා. 100%ක් නිරාවරණය කරනවා කියන්නෙ දොරවල් ඇරගෙන වැසිකිළි ගියා වගේ හැඟීමක් මට දැනෙන්නේ. සමාජ සම්මුතීන් ඇතුළෙ අපට හැසිරෙන්න සිද්ධ වෙනවා.
ඒක අවබෝධ කරගෙන නිර්මාණ කළ යුතුයි. මම හිතාමතා 'ස්වයං වාරණ' පැනව්වේ නෑ කියලා මට කියන්න බැහැ. නමුත් මගේ කවි තුළ මම බොහෝ දුරට මාව හෙළි කළා. මගේ මුල් යුගය ගෙවුණේ කොහොමද, ඒ සමාජ වටපිටාව කොහොමද කියන දේ බොහොම නිර්ව්‍යාජව ප්‍රකාශ කර තිබෙනවා. මම හිතනවා ඒක තමයි මගේ කවිය තුළ තිබෙන ධ්වනිය කියලා. ඒ ධ්වනිය තමයි ජීවිතය. ඒ නිසා ජීවිතය කොතනින් වහන්නද, කොතනින් අරින්නද කියලා මට හිතෙන්නෙ නැහැ.
Q ගයා රම්‍ය අල්විස් කියන ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයාට ස්වයං වාරණය කොතරම් අදාළද?
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයේදී එය බෙහෙවින් අදාළයි. ටෙලි නාට්‍යයක් බිහි කරනවා කියන එකට සීමා බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මා විසින් පනවාගන්නවා කියන ස්වයං වාරණය එතනදි අල්ප කාරණයක්. නමුත් රූපවාහිනිය කියන ඉතාමත් ජනප්‍රිය ජනමාධ්‍ය ඔස්සේ ටෙලි නාට්‍ය සමාජගත කරද්දි ජනමාධ්‍යවේදියෙකු වශයෙනුත්, ටෙලි නිර්මාණවේදියෙකු වශයෙනුත් අපි කල්පනා කළ යුතු සමහර කරුණු කාරණා තිබෙනවා. ඒවායේදී අපට ස්වයංවාරණයක් ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. අනෙක් කාරණය ඒවාට බලපාන අනෙකුත් පරාමිතීන්. ටෙලි නාට්‍ය වෙළෙඳාමකින් තොරව කතා කිරීම බොල් වැඩක් වෙලා.
ඒ තුළ කලාව බේරාගැනීමේ අර්බුදයක තමයි අපි දැන් සිටින්නේ. එම අරගලයේදී වෙළෙඳ ආයතන එසේත් තැත්නම් ඒවට අනුග්‍රහ දක්වන ආයතනවල අවශ්‍යතාවලට අප නම්‍යශීලී විය යුතුයි. එතනදි ප්‍රේක්ෂකයා සාධාරණීකරණය කිරීම සඳහා මෙම නිර්මාණය හසුරුවන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන් වර්තමාන අධ්යක්ෂවරයා ඉදිරිපිට අභියෝගයක් තිබෙනවා. මම එවැනි අභියෝග ගණනාවකට මුහුණපා තිබෙනවා.
Q ඔබ ඒ අභියෝග බාරගෙන නිර්මාණ සිදු කළත් ජාතික රූපවාහිනිය මගින් එදා තරම් ඒ සමාජ වගකීම ඉටුවෙන්නේ නැහැ කියලා කිව්වොත්?
මම ජාතික රූපවාහිනියේ සේවය කරන නිසා මටත් ඒක පිළිගන්න සිද්ධ වෙනවා. 1982 සිට ඉදිරියට එනකොට රූපවාහිනී නාට්‍ය ගැන කතා කළත්, සංගීත වැඩසටහන් ආදිය ගැන කතා කළත් අපි ප්‍රේක්ෂක රසවින්දනය, ගෞරවය කියන කාරණයේදී හැසිරුණු විදිහ යම් ආකාරයක පරිහානියකට ලක්වෙලා තියෙනවා කියන එක සමාජයත් පිළිගත් කාරණයක්. මෙය රූපවාහිනිය විසින් හිතාමතා කරන දෙයක් නෙමෙයි. අද සියලු නාළිකා අතර තරගකාරිත්වය ඉතාම දැඩියි. නමුත් ජාතික රූපවාහිනිය කියන්නෙ මුළුමනින්ම තමන් විසින් වෙළෙඳ දැන්වීම් සහ තිරය විකිණීමෙන් පවත්වාගෙන යන ආයතනයක්. ඒකට රජයෙන් මුදල් ගෙවන්නෙ නෑ.
අපට රූපවාහිනියේ ජාතික කියන වගකීම ආරක්ෂා කරගනිමින් අනෙකුත් නාළිකා සමග තරග වදින්නට සිදුව තිබෙනවා. අනෙකුත් රූපවාහිනී නාළිකාවලට තිබෙන්නේ තරග වැදීම පමණයි. ඔවුන්ට ජාතිකත්වයක් ආරක්ෂා කිරීමේ වගකීම නැහැ. රූපවාහිනියට 'ජාතික' කියන සන්නාමය සමග එම සන්නාමයට ගැළපෙන චර්යාවක තිරය හරහා යෙදෙන්න සිදුව තිබෙනවා. නමුත් ප්‍රේක්ෂක සමාජය රසවිදින භාවකාන්ත රේඛාවන් පහළට යනවා. අපි ඔවුන්ට රසවිඳින්න පුළුවන් සම්භාව්‍ය නිර්මාණයක් ඉදිරිපත් කළාම ඒ නිර්මාණය රසවිඳින පිරිස සාපේක්ෂව පහළ මට්ටමකයි ඉන්නේ.
හොඳ නිර්මාණ රසවිඳින අතළොස්සක් ඉන්නවා. ඒත් ඒ ප්‍රමාණය මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්න ප්‍රමාණවත් නෑ. මේ ප්‍රමාණය වැඩි කරන්න රූපවාහිනියට විතරක් බෑ. මේ රටේ අධ්‍යාපන, සංස්කෘතික ආයතන මෙයට සම්බන්ධ විය යුතුයි. අවාසනාවකට වෙන්නෙ රසඥතාව වේගයෙන් කිසියම් අවගමනයක යෙදීම. මේවා සමබර කරගන්න රූපවාහිනිය ලොකු උත්සාහයක් ගන්නවා.
Q මේ මොහොතේ තිබෙන වාතාවරණය සමග ඔබ කරන නිර්මාණවලට මේ සමාජය තුළ ලොකු වලංගුභාවයක් ලැබෙයිද?
ටෙලි නාට්‍ය ගත්තත් මෙම අර්බුදයෙයි ඉන්නේ. ජාතික රූපවාහිනියේ නාට්‍යකරුවන්ට මේ ගුණාත්මකභාවයන් රැකගනිමින් බහුජන ප්‍රේක්ෂක ප්‍රජාවක් ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියලා හිතන්න වෙනවා. හාස්‍ය වැනි උපායන් යොදාගන්න වෙනවා. ළාබාල හාස්‍ය හා කලාත්මක හාස්‍ය කියන්නේ දෙකක්. ජාතික රූපවාහිනිය යම්කිසි ප්රශස්ත උත්සාහයක් ගන්නවා ප්‍රේක්ෂක සමාජයේ රසඥතාව ඉහළට ගන්නා අතරතුර බහුජන ප්‍රේක්ෂක ආකර්ෂණය ගන්න පුළුවන් ප්රබුද්ධ උපායමාර්ග මොනවද කියන එක ගැන.
Q ඔබේ ඉදිරි ටෙලි නිර්මාණ ගැන කතා කළොත්?
මාකටින් සමාජය ඇතුළෙ නූතන ප්රවණතා තියෙනවා. සියලු දේ විකිණෙනවා. ඒ වෙනුවෙන් විකුණන යාන්ත්‍රණයක් තියෙනවා. විකුණන විද්‍යාවක් කියනවා. මේක ආපස්සට හරවන්න බෑ. මේක ඉදිරියට යනවා. මිනිස්සු දන්නෙ නෑ තමන් මාකට් වෙනවා කියලා. මිනිස්සුන්ට නිර්මාණ හරහා මාකට් වෙන ආකාරය පැහැදිලි කරගැනීමේ යථාව සොයාගත හැක්කේ කෙලෙසදැයි කිව හැකි නම් අපි හිතන්නේ මේ මොහොතේ වගකීම ඒක බවයි. ඒ දේ කියලා දෙන්න පුළුවන් විදිහෙ නිර්මාණයක් තමයි මම ඉදිරියට කරන්නෙ.
ඡායාරූප ඉසුරු පෙරේරා