මෙරට සමාජය සහ සංස්කෘතිය කෙරෙහි සුවිශාල පරිවර්තනයක් සිදුවූ අවස්ථාවක් ලෙස අපට 'මහින්දාගමනය' හැඳින්විය හැකිය.
මෙලෙස සංස්කෘතිය තුළ සිදුවූ පරිවර්තනය ලාංකේය ජන සමාජයේ බොහෝ අංශයන් වෙනසකට භාජනය කිරීමටද සමත් විය. ඒ අතරින් මෙරට කලා සම්ප්‍රදායන් ඇති කිරීමට සම්පූර්ණයෙන්ම බලපෑවේ මහින්දාගමනය යැයි ඍජුවම පැවසීමට අපට නොහැකි වුවද, මෙරට කලා සම්ප්‍රදායන් නව මානයක් කරා ගෙන එමින් එය තවදුරටත් පෝෂණය කිරීමට මහින්දාගමනය තුළින් හැකියාව ලැබුණු බව නම් සත්‍යයකි.
මෙලෙස ලාංකේය කලාව කෙරෙහි මහින්දාගමනය තුළින් සිදුවූ දේ විවරණය කර ගැනීමට වැලිමඩ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ ශ්රාස්ත්රපති පූජ්‍ය ගලගොඩගම සෝභිත හිමියන් 'අද'ට සම්බන්ධ කර ගතිමු.
මහින්දාගමනයට පෙර මෙරට කලා සම්ප්‍රදායන් නොතිබුණු බවට අපට කියන්න හැකියාවක් නැහැ. මහින්දාගමනයට පෙර මේ රටේ රජවරු කිහිපදෙනෙක්ම රජකම් කළා. පඬුවස්දෙව් රජතුමාගේ දියණියක වූ උන්මාද චිත්‍රාව රඳවා තබන්න එක්ටැම් ගෙයක් නිර්මාණය කළා කියලා සඳහන් වෙනවා.
ඒ වගේම පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර නගරය මනාවූ සැලැස්මකට නිර්මාණය කළා වගේම, අභය වැවත් කෙරෙව්වා. විජය රජු යක්ෂ ගෝත්‍රිකයන් ඝාතනය කරන අවස්ථාවේදී යක්ෂ ගෝත්‍රිකයන් සිටියේ විවාහ උත්සවයක තූර්ය වාදනයන්, නැටුම් රසවිඳිමින් බව කියැවෙනවා. නමුත් මහින්දාගමනයත් සමග සිදුවෙන්නේ මේ කලාවන් තවත් පෝෂණය වෙමින් වැඩිදියුණු වෙමින් නව මාවතකට යොමුවීමයි.
ඇත්තටම එතැනදී සිදුවුණේ බෞද්ධ කලාවක් නිර්මාණය වීම නෙමෙයි. බෞද්ධ ඉගැන්වීම් අවශෝෂණය කරගනිමින් කලාව බෞද්ධ මුහුණුවරකින් ගොඩනැගීමක්.
මහින්දාගමනයෙන් පසුව කලාව දියුණු වුණා කියන කාරණයේදී අපි හොඳින්ම අත්විඳින අංශයක් තමයි ගෘහ නිර්මාණ ශිල්පය කියන දේ. අදටත් අනුරාධපුර පූජා භූමියේ මහා විහාරය පුරා විහිදී තිබෙන නටඹුන් අධ්‍යයනය කරද්දී කෙතරම් දියුණු තාක්ෂණයක් සහ කලාවක් මේ නිර්මාණයන් පසුපස තිබෙනවාද කියන කාරණය අපට වටහා ගැනීමට හැකියි. ඒ සෑම නිර්මාණයක්ම අද්විතීය නිර්මාණයක් වෙන්නේ මහින්දාගමනයක් සමග කලා ශිල්පවල වූ දියුණුව නිසාවෙන්.
ආගමික ඉදිකිරීම් ගත්තාම බුද්ධ ප්‍රතිමා, ස්ථූප නිර්මාණය වුණෙත්, සඳකඩපහණට යෙදූ කැටයම්වලින් ගැඹුරු ධර්ම කාරණයක් ඉස්මතු කරන්න සමත් වෙලා තිබෙන්නෙත් කලාව ලැබූ ප්‍රගතිය නිසා. අද වෙනකොට ලෝකය පුරාම ලංකාවේ කලා ශිල්ප ප්‍රචලිත වෙන්න හේතු වී තිබෙන ප්‍රධානතම කාරණයක් තමයි බෞද්ධ දර්ශනය පදනම් කරගත් විශිෂ්ට කලා ශිල්පයක් අප සතුව තිබීම.
මීළඟට අපි චිත්‍ර කලාව ගැන කතා කළොත් මේ චිත්‍ර කලාව පොදු ජන මනසට ධර්මය ඉතා හොඳින් කාවද්දන්න හොඳ සාර්ථක මාධ්‍යයක් බවට පත්වුණා. ජාතක කතාවක් පණිවුඩය වාචිකව ජනතාවට ඉදිරිපත් කරනවාට වඩා මෙය සාර්ථක ක්‍රමයක්. ඒ අනුව අපට කියන්න පුළුවන් මහින්දාගමනයත් සමග දියුණුවට පත් කලාව සමාජයේ යහපත ඇතිකරන්න සමත්වුණු බව.
කවිය සහ ගීතය කියන කලා අංගයන් සැලකීමට ගත්තාම අපට පෙනෙන දෙයක් තමයි කවිය සහ ගීතය නිර්මාණය වෙලා තිබෙන්නෙ බෞද්ධ දර්ශනයත් විහාරයත් කේන්ද්‍ර කරගෙන වීම. නාට්‍ය පවා බිහිවුණේ ජාතක කතාවන්ගේ තේමා ඔස්සේයි. බුදු දහම නොවෙන්නට අපට අද සිංහල සාහිත්‍යයක් නැහැ. මේ සාහිත්‍ය කලාව තුළින් ජනතා මනස්වල රෝපණය කිරීමට සමත් වුණේ සාරධර්මයන්, ඒ හැකියාවත් අපට ලැබුණේ මහින්දාගමනයත් සමග.
අක්ෂර භාවිතය, ලිඛිත ව්‍යවහාරය බිහිවීම නිසාවෙන් අපේ කලාවේ උන්නතියට මේවා විශාල රුකුලක් වුණා. සූවිසි විවරණ නැටුම්, ස්තෝත්ර වැනිදේ නිර්මාණය වන්නෙ මීට සමගාමීවයි.
මහින්දාගමනයත් සමග මේ රටේ ආරාමික සංස්කෘතියක් බිහිවුණා. ජනතාව ඒ සමග පන්සල් හා බැඳෙද්දී ඔවුන්ගේ ධර්ම ඥානය දියුණු කිරීමටත්, යම් රසවින්දනයක් ලබාදීමටත් තමයි මේ අමාවතුර, බුත්සරණ, සන්දේශ කාව්‍ය ආදිය නිර්මාණය වූයේ. සීගිරි කුරුටු ගී අධ්‍යයනය කරන ඕනෑම අයෙකුට වටහා ගන්න පුළුවන් වැදගත් දෙයක් තමයි අතීතයේ මේ රටේ ජනතාවගේ කලා හැකියාව කෙතරම් ඉහළ මට්ටමක තිබුණාද කියන කාරණය.
ඒ අනුව බැලුවම ගීතය නිර්මාණය වෙන්නත් මහින්දාගමනයෙන් සාහිත්‍ය කලාවට ලැබුණු පුනර්ජීවය හේතු වී තිබෙන බව කිව හැකියි.
බුදු දහමට අනුව කලාවක නියම සුන්දරත්වය දකින්න පුළුවන් රාගී පුද්ගලයෙකුට නෙමෙයි, නිවුණු මනසක් ඇති පුද්ගලයෙකුට. කලාව සැබෑවටම අත්විදීමේ ශික්ෂණය පවා අපට ලැබුණේ මහින්දාගමනයත් සමගයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මහින්දාගමනය නොවන්නට අපට මේසා විශිෂ්ට කලාවක් ලැබෙන්නෙ නැති බවයි.