Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
සමකාලීන යථාර්ථයන් සිය නිර්මාණ හරහා සමාජගත කරන නාට්‍ය නිර්මාණකරුවෙකු වන රාජිත දිසානායක විසින් දෙවසරකට වරක් පවත්වන සිය නාට්‍ය උලෙළ මෙවර අගෝස්තු 25, 26 හා 27 යන තෙදින තුළ සවස 7.00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.
'මට වෙඩි තියන්නැද්ද' නාට්‍යයේ 18 වන වර්ෂ පූර්ණය මෙන්ම‘ 'ආදර වස්තුව' නාට්‍යයේ සිවුවන වර්ෂ පූර්ණය සහ 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යයේ වර්ෂ පූර්ණය නිමිති කොටගෙන මෙම නාට්‍ය ත්‍රිත්වය රඟ දැක්වේ. මේ එම නාට්‍ය උලෙළ සම්බන්ධව රාජිත දිසානායක සමග කළ සංවාදයකි.
Q පැවැත්වීමට සූදානම් වන නාට්‍ය උලෙළ ගැන මුලින්ම කතා කළොත්?
අපි ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී අගෝස්තු 25, 26, 27 දිනවල 'මට වෙඩි තියන්නැද්ද', 'ආදර වස්තුව', 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍ය තුන රංගගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ලයනල් වෙන්ඩට් රඟහලේදී අපේ නාට්‍ය ඇතුළත් නාට්‍ය උලෙළක් කරන හත් වැනි අවස්ථාව. 2006දී තමයි අපි මුලින්ම පටන් ගත්තේ. මෙය අවුරුදු දෙකකට වරක් පවත්වාගෙන එනවා.
අපි නිර්මාණය කරපු නාට්‍ය නැවත ප්‍රේක්ෂකයාට එක පෙළට බලන්න මෙමගින් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපේ සමහර මුල් නාට්‍ය නිර්මාණ නැවත නිෂ්පාදනය කරමින් ඒ නාට්‍ය නැවත පරිපූර්ණ කරන්නත් අපිට එමගින් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් රසිකයන්ටත් ඒක වැදගත්. ශිල්පීන්ගේ පැත්තෙනුත් ඔවුන්ටත් කිසියම් වැදගත් අවස්ථාවක් එනවා මේ විදියට පෙර කරපු නිර්මාණ නැවත රඟදැක්වීම තුළින්. ඔවුන්ට ඒක නැවත විශේෂ අභ්‍යාසයක් වෙනවා.
නිර්මාණකරුවෙක් ලෙස මටත් තරමක් විශේෂ වෙනවා. මොකද අවුරුදු 18කට කලින් කරපු 'මට වෙඩි තියන්නැද්ද' නාට්‍ය නිර්මාණය මේ නාට්‍ය උලෙළේදී නව නිෂ්පාදයක් ලෙසින් නැවත රැගෙන එනවා. 'මට වෙඩි තියන්නැද්ද' නාට්‍යය මුලින්ම රංගගත කළේ 1999 වර්ෂයේදී.
ඉතින් මීට දශක දෙකකට කලින් තරුණයන් විදිහට අපි අත්විඳපු ජීවිතය ඇසුරින් ලියවුණු නාට්‍යයක්, ඊට දශක දෙකකට පස්සේ නැවත නිෂ්පාදනය වෙන එක තුළ අද දවසේ ප්‍රේක්ෂකයාට ඒක කොයි විදිහට සමීප වේවිද කියන එක ගැන මම හරි උනන්දුවකින් බලන් ඉන්නේ. මම හිතනවා ඔවුන්ට විශේෂ වින්දනාත්මක අත්දැකීමක් තවදුරටත් ඇති කරන්න ඒ නාට්‍යය සමත් වෙයි කියලා.
ඒ වගේම මෙම නාට්‍ය ත්‍රිත්වය සඳහා ධර්මප්‍රිය ඩයස්, ශ්‍යාම් ප්‍රනාන්දු, නදීෂානි පේලිආරච්චි, සජිත අනුත්තර, බිම්සරා ප්‍රේමරත්න, තුමිඳු දොඩන්තැන්න, අනුරාධ මල්ලවආරච්චි, නලින් ලුසේනා, ඉෂාර වික්‍රමසිංහ, පසන් රණවීර, චරින්ද්‍ර චන්ද්‍රසේන, කසුන් චතුරංග, කසුනි ප්‍රනාන්දු, දේවින්ද වික්‍රමසිංහ සහ සමදරා මාබුලගේ රංගනයෙන් දායක වෙනවා.
මෙම නාට්‍යයන්හි සංගීත නිර්මාණය කපිල පූගලආරච්චි, රංගාලෝක නිර්මාණය රංග සමරකෝන්, අංග රචනය ප්‍රියන්ත දිසානායක, ඇඳුම් නිර්මාණය නලීන් ලුසේනා සහ සමදරා මාබුලගේ සහ වේදිකා කළමනාකරණය නලින් ලුසේනා, විජිත් නුවන් සහ චාමර සඳරුවන් විසින් සිදුකරනවා.
Q නව නිෂ්පාදන සිදුකිරීමේදී වෙනස්කම් සිදුවන්නේ කුමන කාරණා පදනම් කරගෙනද?
'මට වෙඩි තියන්නැද්ද' නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්නේ ඒකට සහභාගි වන සියලු රංගන ශිල්පීන් අලුත්. ඒ වගේම නිර්මාණ ශිල්පීන් අලුත්. කපිල පූගලආරච්චි තවදුරටත් සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස සහභාගි වෙනවා. ඒ හැරුණු විට අනෙක් සියලු ශිල්පීන් අලුතෙනුයි එක්වන්නේ.
එතකොට පිටපතේ සියුම් සියුම් සංස්කරණයන් මිසක් මූලික කිසිදු වෙනසක් සිදුකර නැහැ. රංගනය ගොඩනගනකොට ඒ චරිතවලට දෙන සත්කාරය සහ ඇතැම් රංග භාවිතාවන් අපි නවතාවකින් ඉදිරිපත් කරන්න සැලකිල්ලට ලක් කරලා තියෙනවා සහ අපි උත්සාහ කරනවා.
Q රටේ පවතින ආර්ථික තත්ත්වය නාට්‍ය උලෙළට මොන විදියට දැනේවිද?
ඇත්තටම මිනිස්සුන්ට විශාල තේරීමක් කරන්න සිදුවෙලා තියෙනවා වින්දනාත්මක දේ සම්බන්ධව. ඒ කියන්නේ කලා රසවින්දනය වෙනුවෙන් තමන්ගේ පිරිවැය වෙන් කිරීම සම්බන්ධයෙන් සෑහෙන්න හිතලා තමයි ඒ වෙනුවෙන් මුදලක් වෙන් කරන්න වෙන්නේ.
දහයක් බලන්න තියෙනවා නම් නවයක් අතඇරලා එකක් තෝරගන්න වෙනවා. අපි හිතනවා මෙතෙක් කල් අපිට නාට්‍යයක් අඛණ්ඩව නිර්මාණය කරන්න පුළුවන්කම ලැබුණෙත් ස්ථාවර ප්‍රේක්ෂකාගාරයක් අපිට හිටපු හින්දා. ඒ ප්‍රේක්ෂකාගාරය තවදුරටත් අපිට ඉදීවි කියන විශ්වාසය තියෙනවා.
මේ වගේ උලෙළක් කරනකොට අපි ශිෂ්‍යයන් සඳහා කලින් දැනුවත් කරලා ප්‍රවේශපත්‍ර සහන මිලකට ලබාදෙන වැඩපිළිවෙළවල් හැම වෙලාවෙම කරලා තියෙනවා. මෙවර උලෙළෙත් එවැනි පහසුකම් අපි ලබා දී තිබෙනවා. දැන් ඇත්තටම අපිට පිරිවැය පියවගන්න වෙන්නේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන්.
මොකද අපිට ලැබෙන සහයෝගයන් ඉතාම අඩුයි. ආයතන, සමාගම් සිංහල නාට්‍ය වෙනුවෙන් අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වෙන අවස්ථාවන් නැතිම තරම්. කලාවට ළැදි සමහර හිතවතුන් අපිට ලබාදෙන ඇතැම් සහයෝගයන් ගෙන් පමණක් පිරිවැය සම්පූර්ණයෙන්ම පියවගන්න ඉතාම අපහසුයි. ඉතින් ප්‍රේක්ෂකයාගේ සහභාගිත්වයෙන්ම තමයි ඒ පිරිවැය පිළිබඳ ගැටලුවට විසඳුම් සොයන්න වෙන්නේ.
අවදානමක් නැතුවා නෙවෙයි. නමුත් ඒ අවදානමට මීට පෙරත් අපි මුහුණදීලා තියෙනවා. විශේෂයෙන්ම 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යයේ මේ වෙනකොට දර්ශන රැසක් පවත්වගන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ වගේ උලෙළක් පවත්වා ගන්න අපිට ඒක තරමක හයියක්. මොකද අවුරුද්දක කාලයක් ඇතුළත අපිට දර්ශන වාර 50ක් සම්පූර්ණ කරන්න හැකියාව ලැබෙනවා ලබන සැප්තැම්බර් 16 වෙද්දි. ඒක තරමක විශේෂ දෙයක්.
මොකද හාස්‍ය ලේබලය නැතිව නාට්‍යයක් වසරකදී දර්ශන වාර 50ක් පෙන්වන්න ලැබීමම විශේෂයි. දෙසැම්බර් දක්වා අපිට දර්ශන වාර මේ වෙද්දී ලැබිලත් තියෙනවා. ඒ වගේම 'වීරයා මැරිලා' නාට්‍යයෙන් තමයි අවස්ථාව ලැබෙන්නේ අපේ නාට්‍යයක් රංගගත කරන්න. 'වීරයා මැරිලා' සහ 'සිහින හොරු අරන්' නාට්‍ය දර්ශන වාර 150කට වඩා රංගගත කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
ඒ වගේම 'ආපහු හැරෙන්න බෑ', 'බකමූණා වීදි බසියි' වගේ නාට්‍ය මුල් අවස්ථාවේදීම දර්ශන වාර 50ට වඩා රංගගත කරන්න අවස්ථාව ලැබුණා. හැබැයි ඊට පස්සේ අපි නිර්මාණය කරපු 'ආදර වස්තුව' සහ 'සිරිවර්ධන පවුලට' එවැනි තත්ත්වයක් ලැබුණේ නැහැ. ඉතින් නැවත 'නැතුව බැරි මිනිහෙක්' හරහා සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසකට අමතන්න, දර්ශන වාර වැඩි ප්‍රමාණයක් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
ඒකත් විශේෂයි. මොකද නාට්‍යයක් විදියට ගත්තම 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යයට තමයි මෑත කාලෙකදි වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ. 'ආදර වස්තුව' හා 'මට වෙඩි තියන්නැද්ද' නාට්‍ය ගත්තම විචාරකයන්ගේ විශේෂ සැලකිල්ලට හා අවධානයට ලක්වූවා. නමුත් ඒවා වැඩි ප්‍රේක්ෂක පිරිසක් කරා ගෙන යන්නට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ අනුව තමයි මේ නාට්‍ය උලෙළ හරහා අපි නැවත උත්සාහ දරන්නේ එවැනි නාට්‍ය නැවත රංගගත කරලා ඉදිරියේදී යම් සීමිත දර්ශන ප්‍රමාණයක් ප්‍රධාන නගර හා විශ්වවිද්‍යාලවල හෝ රඟදක්වන්න.
Q ඔබ කියූ ලෙසට ප්‍රේක්ෂකයන් වෙත වැඩිපුර නොගිය නාට්‍ය සංකීර්ණ තේමාවන් සහිත ඒවායි. නමුත් දේශපාලන ප්‍රහසන ඉහළ අවධානයට ලක්වෙනවා නේද?
'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යයේ දේශපාලන තේමාවක් මූලික කරගෙන තමයි මිනිස් සම්බන්ධතාවල ස්වභාවයන් විමසන්නේ. ඒ වගේම එහි ඉදිරිපත් වන ඒ රංගය සහ භාවිතයන් ප්‍රේක්ෂකයාට වැඩි වින්දනාත්මක අත්දැකීමක් ඇති කරනවා. ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය වැඩියි. 'මට වෙඩි තියන්නැද්ද' නාට්‍යය හා 'ආදර වස්තුව' නාට්‍යය තුළ ඒ මිනිස් සම්බන්ධතාවන් සහ සිදුවීම් ඉදිරිපත් වෙන විදිහ මම පෙර සඳහන් කළ 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යයට වඩා තරමක් වෙනස්.
ඒ වගේ දේට කැමැත්ත දක්වන පිරිසකුත් ඉන්නවා. නමුත් ඒ පිරිස සංඛ්‍යාත්මකව අඩුයි. ඒ නිසා තමයි ඒ නාට්‍යවලට ඉහළ ඇගයීමක්, ඉහළ කැමැත්තක් සමහර ප්රේක්ෂකයන්ගෙන් තිබුණත් වැඩි වශයෙන් රංගගත නොවන්නේ. සංවිධායකවරු ගන්න තරමක් කැමැත්ත දක්වන්නේ සහ ඉදිරිපත් වෙන්නේ වින්දනාත්මක ගුණයන් වැඩි වශයෙන් තිබුණම තමයි. 'ආදර වස්තුව' නාට්‍යය වසර තුනක පමණ විරාමයකින් අනතුරුවයි මෙවර අපි නැවත ගෙන එන්නේ.
ඒ නාට්‍යය පෙරටත් වඩා පරිපූර්ණ රංගයක්වෙනවා කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ නාට්‍යයේ තේමාව වගේම ඊට ප්රස්තුත වන දේශපාලන පසුබිම පෙරට වඩා මේ වෙනකොට අපේ රසිකයාට වැඩියෙන් අදාළ වෙයි, සමීප වෙයි. 'මට වෙඩි තියන්නැද්ද' නාට්‍යය කරනකොට මුල් කාලේ නිෂ්පාදකයන් විදිහට අපිට වැඩි ඉඩකඩක් තිබුණෙ නෑ.
ඒ තිබුණ සීමිත ඉඩකඩ ඇතුළේ කරපු සීමිත දර්ශන ප්‍රමාණය නරඹපු අයගෙනුත් සැලකිය යුතු ප්‍රතිචාර තිබුණා. නැවත මේ නාට්‍ය දෙකම රැගෙන එන්නේ, ඒ නාට්‍යවල තියෙන සාධනීය ගුණාංගයන් නිසාම වැඩි ප්‍රේක්ෂක පිරිසක් වෙත ඒවා ගෙන යා යුතු නිසයි. ඒ උත්සාහය තමයි අපි මේ දරන්නේ.
Q ඔබ මෙරට සමකාලීන යථාර්ථය විවිධ ස්වරූපයෙන් නාට්‍ය හරහා ගෙන ආවා. රටේ වර්තමානය සම්බන්ධව ඔබ ගෙන එන නිර්මාණය මොන වගේ වෙයිද?
නිර්මාණකරුවන් විදිහට මේ සමාජයේ සිදුවන විගඩම, විකාරය, අසම්මතය නැවත සිතීමක් ඇතිකරවන ආකාරයෙන් කෙසේද කලා කෘතියකට රැගෙන එන්නේ කියන එක හිතාගන්න බැරි තරමට යථාර්ථය විකාරයක් වෙලා. එය සම්පූර්ණයෙන්ම හාස්‍ය රංගයක් වෙලා. සමාජයක පැවැත්මට තිබිය යුතුයි කියලා හිතන, අපි පිළිගන්න ආයතන, පුද්ගලයෝ, සම්පූර්ණයෙන්ම ඒ පිළිගැනීම්වලට ප්රතිපක්ෂ විදිහටයි හැසිරෙන්නේ.
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සිට ආගමික සංස්ථා දක්වාත්, පාර්ලිමේන්තුවේ සිට මාධ්‍ය දක්වාත්, උගතුන්ගේ, පූජකයන්ගේ සිට දේශපාලන නායකයන් දක්වාත් හැසිරීම් සියල්ල අසම්මතයි. ආයතනවල ක්‍රියාකාරීත්වය ඒ ආයතනවලින් අපේක්ෂිත ක්‍රියාකාරීත්වය නෙවෙයි. මේ සියල්ලම කණපිටට හැරුණු, අක්‍රීය වුණු, විකාර වුණු මොහොතක් මේක.
මේ මොහොත රසිකයා වුණත් විපරීත වුණු මොහොතක්. රසිකයා ඇතුළු හැමෝම මේ සියල්ලේ වින්දිතයෝ බවට පත්වෙලා. මේ සමාජය නැවත වෙනස් කරන්න, සිතීමක් ඇති කරන්න අපි හැමෝම වින්දිතයෝ වුණු මොහොතක පහසු නෑ. ඒ අපහසු අභියෝගය ඉදිරි කාලය තුළ කොයි විදියටද කලා නිර්මාණයක් හරහා කිසියම් සමාජමය සිතීමකට රැගෙන එන්නේ කියන අභියෝගය තුළ තමයි අපිත් ඉන්නේ.
Q 'ආදර වස්තුව' මුල් නිර්මාණයේදී විශ්වවිද්‍යාලයක ප්‍රධානියෙක් තමාට අදාළ කරගෙන දැඩි මතවාදයක් නාට්‍යයට එරෙහිව ගෙන ගියා නේද? නව නිර්මාණය ඔහුට කොතෙක් අදාළද?
එම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා ආණ්ඩුවේ උපදේශකයෙක් විදියට කටයුතු කළා කියලා, ඔහු හිතන් ඉඳලා තියනවනේ එය ඔහුටයි කළේ කියලා. දැන් ඔහු භූමිකාවෙන් බැස ගිහින්. නමුත් තවමත් මේ නාට්‍යයට පැවැත්මක් තියෙනවා. ඔහු මේ නාට්‍යයට එරෙහිව නොකටයුතුකම් රැසක් කළා.
ඔහු තමන්ගේ රාජ්‍ය බලය යොදාගෙන කවදාවත් විනිශ්චය මණ්ඩලයක වාඩි නොවුණු ඔහුගේම විශ්විවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්ව එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත්කර නාට්‍යයට එරෙහිව කටයුතු කළා. අපි බොහොම ප්රගතිශීලී අදහස් තියෙන පුද්ගලයෙක් ලෙස දැකපු කෙනෙක් මේ විදිහට හැසිරෙන කොට හරි පව්.
මේ නාට්‍යය බලනකොට විවිධ අයට මේ මම කියලා පෙනිලා තිබුණා. ඒක හරියට අපි සමහර පොත් කියවනකොට එහි චරිත අපිට අදාළ වෙනවා වගේ දෙයක්. හැබැයි මෙහෙම චරිතයක් තියෙන්නේ මට විතරයි කියලා කවුරුහරි හිතනවා නම් ඒක පිස්සුවක්. දැන් ඔහු මේ නාට්‍යය බැලුවොත් ඔහුට ඔහුව මින් පෙනේවිද කියලා මම දන්නෙ නැහැ.
මම මගේ පරිකල්පනයෙන් ප්‍රබන්ධ කරපු නාට්‍යයක් තුළ සමහර අය ඒ අයව ඉලක්ක කර නිර්මාණය කළැයි පැවසීම විහිළුවක්. සමකාලීන සමාජය තේමා කරගත් නිර්මාණ තුළ සිටින්නේ එයාද, මෙයාද කියලා හොයන්නේ නැතිව ඉන් කියවෙන දේ ගැනයි අවධානය යොමු කළ යුත්තේ.
077 3 502 700
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd