බෙනට් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘නෙලා’ චිත්‍රපටය මේ දිනවල තිරගත වෙයි. එහි ප්‍රධාන චරිතයකින් උදාර රත්නායකද රංගනයෙන් දායක වන අතර, මේ දිනවල තිරගත වන ‘පෝරිසාදයා’ චිත්‍රපටයටද ඔහු රංගනයෙන් දායක වෙයි. මේ පිළිබඳ කතාබහ කිරීම ‘අද’ උදාර සමග මෙලෙස සම්මුඛ විය.
Q මේ දිනවල තිරගත වන ‘නෙලා’ චිත්‍රපටය හා ඔබේ රංගන දායකත්වය ගැන අපි මුලින්ම කතා කරමු
‘නෙලා’ චිත්‍රපටය සුන්දර ආදර කතාවක් ලෙස හඳුන්වන්න මම කැමැතියි. ප්‍රේක්ෂකයන්ට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි පහසුවෙන් විඳිය හැකි චිත්‍රපටයක්. ඕනම කෙනෙකුට තමන්ගේ ආදරය මේ චිත්‍රපටය තුළින් සොයාගන්න හැකි වෙනවා. මේ චිත්‍රපටයේ විශේෂත්වය ලෙස මම දකින්නෙ එය. මෙය පහසුවෙන් ප්‍රේක්ෂකයන්ට විඳින්න පුළුවන් චිත්‍රපටයක් නිසා තමයි මේ චිත්‍රපටයට මම වඩා කැමැති. සමහර චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට විඳින්න අමාරුයි. ව්‍යාකූලභාවයක් තිබෙනවා. මෙය ඕනෑම බුද්ධි මට්ටමක කෙනෙකුට පහසුවෙන් වින්දනය කළ හැකි සිනමා නිර්මාණයක්.
‘නෙලා’ චිත්‍රපටයට මම දායක වෙන්නේ රංගනයෙන්. මම එහි ‘ජෝර්ජ්’ කියන චරිතය තමයි නිරූපණය කරන්නෙ. තේ වතු හිමියෙකුගේ පුතෙකු ලෙස තමයි මම රංගනයට දායක වෙන්නෙ. ජෝර්ජ් ආදරය කරන්නේ තමන්ට දැනෙන, හැඟෙන දේවල් එක්ක. එවැනි චරිතයක් නිරූපණය කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.
Q’ජෝර්ජ්’ කියන චරිතය ඔබට නිරූපණය කරන්න සිදුවෙන්නේ දෑස් අන්ධ පුද්ගලයෙකු ලෙස. මේ චරිතය ගොඩනගා ගැනීමට පසුබිම හදාගත්තේ කොහොමද
මේ චරිතය ගැන කතා කරද්දි මා තුළත් ඇති වුණේ චකිතයක්. නමුත් මට ඒ චරිතයට සූදානම් වෙන්න කාලය තිබුණා. ඒ නිසා මම මේ චරිතය නිරූපණය කරන්න හොඳින් පෙර සූදානම් වුණා. අන්ධ චරිත නිරූපණය තිබෙන චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් මම ඒ කාලය තුළ නැරඹුවා. එවන් පෙර සූදානමකින් පසුව තමයි මම මේ චරිතයට දායක වුණේ. ඒ නිසා මම හිතනවා ඒ චරිතයට මම සාධාරණයක් ඉටුකළා කියලා. ඒ චරිත නිරූපණයට ප්රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
Q ඔබ රංගනයෙන් දායක වන සිනමා නිර්මාණයක් දකින්න ලැබෙන්නෙ බොහෝ කාලයකට පසුව. ඒකට හේතුව තාත්තාගේ නිර්මාණවල පමණක් ඉඩක් ලැබීමද
අද ලංකාවේ චිත්‍රපට කර්මාන්තය දෙස බැලුවොත් ඉතා සීමිත චිත්‍රපට කිහිපයක් පමණයි නිර්මාණය වෙන්නෙ. අවුරුද්දකට චිත්‍රපට පහළොවක්, විස්සක් වැනි ප්‍රමාණයක් තමයි බිහිවෙන්නෙ. ඒ අතරිනුත් හොඳ නිර්මාණ තිබෙන්නේ ඉතා අල්පයයි. ඒක මට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි ලංකාවේ හැම රංගන ශිල්පියෙකුටම බලපාන ප්‍රශ්නයක්. මම තාත්තාගේ චිත්‍රපටවල රඟපානවා තමයි. නමුත් මම තාත්තාගේ නිර්මාණවලටම සීමා වීමක් නෑ. තාත්තා මට කියල චිත්‍රපට හදන්නෙත් නෑ. මට ගැළපෙන චරිතයක් තිබුණොත් තමයි මට ඒ අවස්ථාව ලබා දෙන්නේ. මම මේ වන විට චිත්‍රපට පහකට දායක වෙලා තිබෙනවා. සුළු චරිතත් නිරූපණය කර තිබෙනවා. මගේ මුල්ම චිත්‍රපට අත්දැකීම වෙන්නේ ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටය. මම එහි දර්ශන තල දෙකක හිටියා. එය උදයකාන්ත මහත්තයාගේ චිත්‍රපටයක්. ඉන් පසුව තමයි ‘ඉර හඳ යට’ චිත්‍රපටයේ මම රඟපෑවේ. පසුව ‘දළදාගමනය’ චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙන්න හැකියාව ලැබුණා. එහිත් උපප්‍රධාන චරිතයකට තමයි රංගන දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණේ.
Q මේ දිනවල තිරගත වෙන ‘පෝරිසාදයා’ චිත්‍රපටයෙන් රංගනයෙන් දායක වෙනවා නේද
මම එහි උපප්‍රධාන චරිතයකට තමයි දායක වුණේ. එය ත්‍රාසජනක චිත්‍රපටයක්. මගේ චරිතය ගැන කතා කළොත් එය ‘නෙලා’ චිත්‍රපටයට හාත්පසින්ම වෙනස් චරිතයක්. ‘නෙලා’ චිත්‍ර පටයේ ඉතාමත් අහිංසක චරිතයකට දායක වුණේ. ‘පොරිසාදයා’ චිත්‍රපටයේ තරමක් රළු සටන් ජවනිකා ඇති චරිතයක් තමයි රංගනයේ යෙදුණේ.
Q ඔබ සිනමා රංගන ශිල්පියෙක් ලෙස පමණක් කටයුතු කරන්නද බලාපොරොත්තු වෙන්නෙ
එහෙම තෝරා ගැනීමක් නෑ. මම 2009, 2010, 2011 වැනි කාලවල ටෙලිනාට්‍යය තුනකට පමණ රංගනයට දායක වුණාට ඒ කාලේ පැවැති රැල්ලත් සමග ඒ සියල්ල දීර්ඝ ටෙලිනාට්‍යය බවට පත්වුණා. එවැනි නාට්‍යවලින් තරමක් ඉවත්ව සිටියා. කොටස් සියයකට වැඩි දීර්ඝ නාට්‍යවලින් වාරණයක් දාගෙන හිටියා. සිනමාව තුළම නියැළෙනවා කියලා අදහසක් නෑ. හොඳ ටෙලිනාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණොත් දායක වෙනවා. දීර්ඝ ටෙලිනාට්‍යය රැල්ලෙන් පසු ටෙලිනාට්‍යයවලට ආරාධනා ලැබුණෙත් නැහැ. අවස්ථා දෙක තුනක් ලැබුණාම මම එය ප්‍රතික්ෂේප කළ පසු මට අවස්ථාව හිමි වුණේ නැහැ. ඒ නිසා බොහෝ අය හිතුවෙත් මම ටෙලිනාට්‍යයවල රඟපාන්නේ නැහැ කියලා. මට පෞද්ගලිකව හිතෙන දෙයක් තමයි රංගනයට ප්‍රමුඛස්ථානය දුන්නා මදි කියන එක. එහෙත් දැන් රංගනයට වැඩි ප්රමුඛස්ථානයක් ලබා දිය යුතුයි කියලා මම හිතනවා.
Q රංගනයට වගේම දේශපාලන කටයුතුවලටත් ඔබේ කාලය වෙන්වුණා. මේ මොහොතේ ඒ දේශපාලනික ගමන්මග ගැන අදහස මොකක්ද
දේශපාලන කටයුතු කලබලයකින් තොරව කරගෙන යනවා. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා. අපට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් රටේත්, පළාෙතත් සංවර්ධනයට දායකත්වය ලබාදෙමින් සිටිනවා. අපට පළාත් සභාවේ විපක්ෂයේ නවක පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස ඉතා පොඩි වපසරියක් තුළ තමයි වැඩ කරන්න අවස්ථාව තියෙන්නෙ. ඒ වපසරිය ඇතුළේ යමක් කරන්න උත්සාහ කරනවා.
Q කලාවට වගේම දේශපාලනයටත් ක්‍රියාකාරීව දායක වෙනවා. ඉදිරියේදී මොකක්ද මේ තුළින් කරන්න බලාපොරොත්තු වෙන්නේ
කලාවයි, දේශපාලනයයි කියන දෙකෙන්ම කරන්නේ මිනිසුන්ට සතුටක් ගේන එක. එහෙත් කනගාටුව කියන්නේ අද දේශපාලඥයන් සතුට නෙමෙයි මිනිසුන්ට දුක අත්කරන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. රටටම ඇතිව තිබෙන්නේ එවැනි තත්ත්වයක්. හොඳ ප්‍රතිපත්ති, සැලසුම් හරහා අවසානයේ මිනිසුන්ට සතුට තමයි ළඟා විය යුත්තේ. එහෙත් අද දේශපාලඥයන් හා ඔවුන් කටයුතු කරන ආකාරය දෙස බලද්දි ඔවුන් සමග කතා කරන එකත් දුකක් බවට පත්වෙලා.
දේශපාලනය ගැන කතා කරන එකත් දුකක් බවට පත්වෙලා. ඒ සංස්කෘතිය වෙනස් කළ හැකියි කියන අරමුණෙන් සදාචාර සම්පන්න මිනිසුන්ට පිළිගත හැකි වැදගත් දේශපාලනික ගමනක් යන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී කණ්ඩායමක් ලෙස එසේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. වෘත්තීමය වශයෙන් දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. එහෙම වුණත් හදවතින් කලාකරුවෙක් ලෙස කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.