තාරුණ්‍යයේ විවිධ වූ විස්මිත හැකියාවන් සපිරි දක්ෂයන්ට වේදිකාවක් වූ 'youth with talent – generation next' රියැලටි තරගය වැඩි ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත් වැඩසටහනක් බවට පත්විය. දෙවැනි වරටත් පවත්වන ලද මෙම රියැලටි වැඩසටහනේ අවසන් මහා තරගය හෙට (10දා) මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. මේ සටහන ඒ පිළිබඳවය.
‘youth with talent –generation next’ තරගය ආරම්භ වන්නේ 2016 වසරේදී ජාතික තරුණ සේවා සභාව හා ස්වාධීන රූපවාහිනිය ඒකාබද්ධවය. පළමු රියැලටි වැඩසටහනේදී ලබාගත් ප්‍රේක්ෂක ආකර්ෂණයත් සමග ඇරඹි දෙවැනි අදියර මෙම වසරේදී ආරම්භ කෙරිණි. ‘අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විස්මිත විය යුතුය’ යන තේමාවෙන් ආරම්භ කරන ලද මෙහි වැඩසටහන් සංකල්පය හා නිර්මාණ අධ්‍යක්ෂණය සිදු කරනුයේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සඳරුවන් ජයවික්‍රම විසින්ය. ස්වාධීන රූපවාහිනී සේවයේ වත්මන් සභාපති කලාවේදී සමන් අතාවුද හෙට්ටි මහතාගේ සහ ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ නිබඳ මගපෙන්වීම යටතේ සිදු කෙරෙන්නා වූ මෙම වැඩසටහන ගායනය, නර්තනය, රංගනය, ජිම්නාස්ටික්, කරාටේ, විවිධ කරණම් සහ තවත් අසාමාන්‍ය හැකියාවන් ප්‍රකට කරන්නා වූ ඉදිරිපත් කිරීමෙන් යුක්ත විය. මෙලෙස පැවැති රියැලටි වැඩසටහන පිළිබඳ ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්යක්ෂ විමල් කැටපේ ආරච්චි මහතා සඳහන් කළේ මෙවැන්නකි.
’යූත් විත් ටැලන්ට්’ වැඩසටහන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා ජාතික තරුණ සේවා සභාව ඒකාබද්ධව සිදු කළ වැඩසටහනක්. මේ වැඩසටහන ලංකාවේ ටෙලිවිෂන් රියැලටි ඉතිහාසයේ වෙනස්කමක් ඇතිකළ වැඩසටහනක් කියලා කියන්න පුළුවන්. ලංකාවේ පැළ කරන්න උත්සාහ කළ රියැලටි වැඩසටහන් ලෝකයේ කොහේ හෝ තිබූ වැඩසටහනක මූලයක් එක්ක ගැටගැහුණා මිසක් ලංකාවේ නිසි ලෙස එය පැළ කර ගන්න බැරි වුණා. අනුකරණයම නැවත සිදුකිරීම පමණයි සිදු වුණේ. නමුත් මේ රියැලටි වැඩසටහන ලංකාවේ පොළොවේ ඉන්න සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සියලු තරුණ තරුණියන්ගේ විශ්මිත හැකියාවන් ඔප්නංවන එකම වැඩසටහන බවට පත්වෙන්න හැකි වුණා. අඩුම තරමෙන් ආබාධ සහිත හා රහිත කියන භේදයකින් තොරව මේ තරගයට ඉදිරිපත් කරන්න හැකි වුණා. රෝගී ආබාධ සහිතයි කියලා සාමාන්‍ය සමාජයේ හඳුන්වන තරුණ තරුණියන් පවා විශ්මිත හැකියාවන් පෙන්වූ වැඩසටහනක් තමයි යූත් විත් ටැලන්ට් කියන්නේ.
තරගකරුවන් 61,527 දෙනෙකු අතරින් පළමු වටය සඳහා තරගකරුවන් 105 දෙනෙකු තේරී පත්වූ අතර, දෙවැනි වටය සඳහා තරගකරුවෝ 64 දෙනෙක් තේරී පත් වූහ. අවසන් පූර්ව තරගය සඳහා තේරී පත්වුණේ තරගකරුවන් 37 දෙනෙකි. හෙට දින පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ තරගකරුවන් දස දෙනෙකි. ඒ grand buzzer ලාභීන් සිවුදෙනෙකු, අර්ධ අවසන් පූර්ව වටයෙන් 05 දෙනෙකු සහ wild card වටයෙන් එක් අයෙකු වශයෙනි.
අවසන් තරගය සඳහා තේරී පත්ව ඇති තරගකරුවන් මෙසේයි.
Grand Buzzer ලාභීන් සිවුදෙනා
උපුල් රංජිත්
උපුල් විශේෂ අවශ්‍යතා ඇති අයෙකු වන අතර, ජිම්නාස්ටික් ඉදිරිපත් කරන්නෙකි. මේ වන විට 26 වැනි වියේ පසුවන උපුල් රංජිත් මැදවච්චිය ප්‍රදේශයේ සිට තරගයට පැමිණි අයෙකි.
ජනක කාංචන
හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජනක සැන්ඩෝ ක්‍රීඩාවේ නියලෙන්නෙකි. මේ වන විට තිස්දෙවැනි වියේ පසුවන ඔහුද මෙම තරගයට ඉදිරිපත් වෙයි. (දත්වල ශක්තිය ප්‍රදර්ශනය කරමින් යකඩ නැමීම සහ කිලෝ 50 පිටි මුට්ට කටින් එසවීම සිදු කරයි.තරගයට සමගාමීව ඔහුගේ අරමුණ වුයේ ලෝක වාර්තා පිහිටු වීමයි.පසුගිය දිනක ලෝක වාර්තාවක් පිහිටු වීමට තරග වැදුණි. ඒ කිලෝ 50 පිටි මුට්ට 17ක් මීටර් 50ක් දුර කටින් ඔසවා ගෙන යෑමයි. ජනක මෙම අවසන් මහා තරගයේදීද ලෝක වාර්තාවක්ද තැබීමට සූදානම් වන්නේ මී.මී. 12 ඝනකම කම්බි 50ක් මිනිත්තු තුනහමාරක කාලයක් තුළදී දත්වලින් නැමීම මගිනි)
මේනක කෞෂල්‍ය
මේ වන විටවිසිපස්වැනි වියේ පසුවන මේනක කෞෂල්‍ය සර්කස් ඉදිරිපත් කරන්නෙකි. පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මේනකද හොඳ සූදානමකින් අවසන් වටයට පිවිසෙයි.
දිලංක ප්‍රියත්ම සහ චමෝද් මධුක
සහෝදරයන් දෙදෙනෙකු වන දිලංක හා චමෝද් පිළිවෙළින් අවුරුදු දහතුන සහ පහළොස් වන වියේ පසුවන්නන්ය. ඔවුන්ද මෙම තරගයට ඉදිරිපත්ව සිටින්නේ සැන්ඩෝ ක්‍රීඩා කරන්නන් ලෙසිනි.
අර්ධ අවසන් පූර්ව වටයෙන් අවසන් තරගයට සුදුසුකම් ලැබූ තරගකරුවන්
මොහොමඩ් නිශ්ෆහාන්
නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මේ වන විට 23 වැනි වියේ පසුවන්නෙකි. ඉතා සංකීර්ණ ගණිත ගැටලු මනෝමයෙන් විසඳීම ඔහු විසින් සිදුකරනු ලබයි.
එමිල් එරංග
මේ වන විට 29 වැනි වියේ පසුවන එමිල් මැජික් ඉදිරිපත් කරන්නෙකි. කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එමිල්ද තරගයට හොඳ සූදානමකින් පසුවෙයි.
සුභා හංසනී
මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක වන සුභා මෙම තරගයට ඉදිරිපත් වන්නේ ගිනි සිසිල නර්තනය ඉදිරිපත් කරන්නියක ලෙසය. තරගයේ සිටින එකම කාන්තා නියෝජනය වන ඇය මේ වන විට දහනව වැනි වියේ පසුවෙයි.
ජනිත් දිමුතු
රාජාංගණයේ පදිංචි ජනිත්, සැන්ඩෝ ක්‍රීඩා කරන්නෙකු ලෙස මෙම තරගයට ඉදිරිපත් වෙයි. මේ වන විට විසිතුන් වැනි වියේ පසුවන ඔහුද අවසන් තරගයට හොඳ සූදානමක සිටියි.
ජී.ඩී. ජනකජීව
මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජනකජීව මේ වන විට 35 වැනි වියේ පසුවන්නෙකි. සැන්ඩෝ ක්‍රීඩකයෙකු ලෙස ඔහුද තරගයට යොමු වෙයි.
Wild card වටයෙන් සුදුසුකම් ලැබූ තරගකරුවා
නිමේෂ් මධුවන්ත
රත්මලාන ප්‍රදේශයේ සිට තරගයට යොමු වූ නිමේෂ් මේ වන විට 17 වැනි වියේ පසුවෙයි. නර්තනයක් ඉදිරිපත් කරමින් තරගයට යොමුවෙයි. (ශරීරයේ සහ අස්ථිවල නම්‍යතාව දක්වන 'born breaking' නර්තනයක්)