අපේක්ෂාවේ පියාසැරිය කලා උලෙළ එළඹෙන 21 වැනිදා සිට නොවැම්බර් මස 13 වෙනි දින දක්වා කිලිනොච්චියේදී , අම්පාරේදී හා කොළඹදී පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳව මාධ්‍ය හමුවක් පසුගියදා (05දා) කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්විණ. මෙහිදී මෙම කටයුත්ත සංවිධානය කරන ආයතනවල නියෝජිතයන් කිහිප දෙනෙක් අදහස් දැක්වූ අතර, කෙයා ජාත්‍යන්තර සංවිධානයෙන් අහමඩ් රිස්ලාන් සමගින් සිදුකළ කතාබහ අපි අද පාඨක ඔබ වෙතට ගෙන එමු.
උතුරු දකුණ යා කළ පාලම
පහුගිය අවුරුදු තුනක් තිස්සේ ලංකාවේ දිස්ත්‍රික්ක නවයක තරුණ කලාකරුවන් සහ 200කට වැඩි ප්‍රවීණ කලාකරුවන් ඒකරාශී කරගෙන තමයි මේ කටයුත්ත සිදුකරන්නේ. අපි වෙන්වෙලා තැන් තැන්වල කරන වැඩ එකතැනකට ගේන්න ඕන කියලා හිතුවා. වැඩියෙන්ම අපි කළේ උතුරු නැගෙනහිර කලාකරුවන් හා දකුණේ කලාකරුවන් එකිනෙකට හුවමාරු කරගෙන ඔවුන්ගේ අත්දැකීමක් විදියට තමයි අවසාන වශයෙන් දකින කලා නිර්මාණ දකින්නේ. මේ කලා නිර්මාණ එක තැනකට අරගෙන මහා පරිමාණ වශයෙන් මෙය සැමරිය යුතුයි කියලයි පටන් ගත්තේ. අනතුරුව මේ හා සමානව වැඩකරන ආයතන කිහිපයක් අපි හඳුනාගත්තා. අපි තනිවම මෙය සමරනවාට වඩා පුළුල් වශයෙන් ජාතික මට්ටමේ වැඩක් වශයෙන් සමරන්න හිතාගෙන Care, GiZ, ONUR හා ජාතික කලා මණ්ඩලය සමග සාකච්ඡා කරලා මේ කටයුත්ත කරන්න තීරණය කළා.
මෙය මුලදී කොළඹට සීමාකරන්නයි හිතාගෙන හිටියේ. නමුත් අපි හිතුවා මෙය එතැනින් එහාට ගෙන යායුතුයි කියලා. එහිදී තමයි කිලිනොච්චියට ගෙන යායුතු යැයි තීරණය කළේ. අපි යාපනයට නොගියේ හැමදේම යන්නෙ යාපනයට නිසයි. එමෙන්ම නැගෙනහිරට යායුතු නිසා අම්පාරට අරන් යන්න කල්පනා කළා. කොළඹටත් අරන් ආවා. මේ මාසේ 21, 22 23 කිලිනොච්චියේදීත්, 27 28 29 අම්පාරේදීත් අවසාන වශයෙන් නොවැම්බර් මාසෙ 07 වැනිදා ඉඳලා 13 වැනිදා දක්වා කොළඹදීත් මෙම කලා උලෙළ පවත්වනවා. මෙහිදී විශේෂත්වයක් තමයි කොළඹ කලා උලෙළේ සංස්කෘතික අංගයන්ට අමතරව විද්වත් සමුළුවක් අපි පවත්වනවා. එය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී තමයි පවත්වන්නේ. එමෙන්ම කලා උලෙළ තැන කිහිපයක පවත්වනවා. ලයනල් වෙන්ඩ්ට්හිදී, වැල්ලවත්තේදී සහ සරස්වතී මණ්ඩපය ආදී තැන් කිහිපයක මෙම කලා උලෙළ පැවැත්වීමට නියමිතයි.
හැම වරිගෙම ආහාර
මීට සමගාමීව 11,12 ,13 යන දිනයන්හිදී ග්‍රීන් පාක්හි නෙළුම් පොකුණ මාවතේ අපි ආහාර උලෙළෙක් පවත්වනවා. එම දින තුනේදී බලාපොරොත්තු වෙන්නේ සංස්කෘතිය කියද්දි කලාව විතරක් නෙවෙයි කියන දේ ඒත්තු ගන්වන්නයි. භාෂාව, ආහාරපාන, ඇඳුම් පැලඳුම් ආදියත් සංස්කෘතියට අදාළයි. මෙහිදී හැම සංස්කෘතියටම ඇතුළත් ආහාර අපි ඇතුළත් කරනවා. සිංහල දෙමළ මුස්ලිම් විතරක් නැතුව බර්ගර් මැලේ සහ ආදිවාසී ආදී හැමෝම එකතු කරගෙන තමයි මෙම ආහාර උලෙළ පවත්වන්නේ. ආහාර උලෙළෙත් අපි වෙනම සංස්කෘතික අංගයන් එක්ක වෙනම වැඩසටහන් රාශියක් එම පරිශ්‍රයට ආහාර අනුභව කරන්න එන පිරිසට විනෝදාංශයක් විදියට අත්විඳින්න ලබාදෙනවා.
මෙය හැම අවුරුද්දකම ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල ලංකාවේ විවිධ තැන්වල පවත්වන්න අදහස් කරගෙන සිටිනවා. ලබන අවුරුද්දේ තවත් නගර දෙකක හෝ තුනක මේ ප්‍රසංගය දිගින් දිගටම පවත්වන්න හිතාගෙන ඉන්නවා. අපි ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය හා ජාතික කලා මණ්ඩලයත් එක්ක අත්වැල් බැඳගන්නේ මෙහි තිරසරභාවය තහවුරු කරගන්නයි. එමෙන්ම මේ වසරේ අපට මූල්‍යාධාර සපයන්නේ යුරෝපානු සංගමයෙනුයි. ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයෙනුත් අපට යම්කිසි මූල්‍යාධාරයක් ලබාදෙනවා. මෙය එක් ආයතනයක් විතරක් අයත් කරගන්නා උලෙළක් නොවී ආයතන කිහිපයක එකතුවක් විදිහටයි අපි දකින්නේ.
කූත්තු හා කෝලම්
කලා උලෙළේදී අපි බලාපොරොත්තු වෙනවා ග්‍රාමීය මට්ටමේ පාරම්පරික කලා අංග වන උතුරේ කූත්තු, දකුණේ කෝලම්, සොකරි ආදිය සමගත් ගනුදෙනු කරන්න. එමෙන්ම ආදිවාසීන් හා මැලේ ජාතිකයන්ගේ හා බර්ගර් මෙන්ම අප්‍රිකානු ජාතීන්වලට අදාළ සංස්කෘතිකාංග අපි එකතු කරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. වේදිකා නාට්‍ය, කෙටි චිත්‍රපට, කෙටිකතා හා චිත්‍ර ප්‍රදර්ශන ආදී සියලුම දේ ඇතුළත්ව දවස් 13 ක වැඩසටහනක් තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
සාමූහික ප්රයත්නය
මෙහිදී මෙම කටයුත්ත සංවිධානය කරන ආයතනවල නියෝජිතයන් කිහිපදෙනෙක් සිටිනවා. ස්ලිට් ආයතනයේ හෂින් සපුතන්ත්‍රි, කෙයා ජාත්‍යන්තර සංවිධානයෙන් මම (අහමඩ් රිසලාන්), යුරෝපානු සංගමයේ මාරිමුත්තු තිරුනාවකරසු ,ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ ජීවනී කාරියවසම් හා ලංකා කලා මණ්ඩලයේ චන්ද්‍රගුප්ත තේනුවරයන් මෙහි ඇතුළත්. එමෙන්ම පහුගිය අවුරුදු කිහිපයක් පුරාවට අපිත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරපු ප්‍රවීණ කලාකරුවන් කිහිපදෙනෙකුත් සිටිනවා. ඔවුන් තමයි සුනිල් විජේසිරිවර්ධන, පරාක්‍රම නිරිඇල්ල, අනෝමා රාජකරුණා, රාජිත දිසානායක, කෞශල්‍යා ප්‍රනාන්දු, රම්සිඩීන්, සෝමසේකරම් ප්‍රදීපන් යන පිරිස්.
ඔවුන් විවිධ කලා මාධ්‍යයන් නියෝජනය කරනවා. මේ අය තමයි ආධුනික කලාකරුවන් පුහුණු කරලා ඔවුන්ගේ කලා නිර්මාණවලට අවශ්‍ය දැනුම සහ උපදෙස් ලබාදෙන්නේ. විශේෂයෙන්ම 2009 න් පස්සෙ ලංකාවෙ කතිකාවතක් වූ දෙයක් තමයි ජාතික සමගිය, සංහිඳියාව කියන කාරණාව. එහිදී විවිධ වැඩසටහන් අපි දැක්කා. නමුත් කලාව හා සංස්කෘතිය සම්බන්ධ වැඩසටහන් අපි දැක්කේ අවම වශයෙනුයි. මිනිස්සු එකතු කරන්න පහසුම මාධ්‍යයක් තමයි කලාව කියන්නේ. කලාව කියනකොට කලා මාධ්‍යයට කිසිදු භේදයකින් තොරව මිනිස්සු එකතු වෙනවා. එය භාවිත කරලා ප්‍රබල පණිවුඩයක් ඉතාමත් සරල විදියට හදවත්වලට දැනෙන විදියට ලබාදෙන්න පුළුවන්.
මෙහිදී කලා මාධ්‍යය අපි භාවිත කළා කාරණා දෙකකට. එකක් තමයි විවිධ ප්‍රදේශවල මිනිසුන් එකතු කරන්න. මේ පිරිස් එකට එකතු කරලා යම්කිසි කර්තව්‍යයක් සඳහා වැඩ කරන්න අපිට පුළුවන් වුණා. එමෙන්ම තමයි ජාතික සංහිඳියාව, එකමුතු බව පිළිබඳව දකුණේ සමාජයටත්, උතුරේ සමාජයටත් ලබාදෙන්න අපි යොදාගත්තේ මේ කලා මාධ්‍යයයි. අපි හිතනවා මෙයින් ප්‍රබල පණිවුඩයක් සමාජගත වේවි කියා. එමෙන්ම මෙමගින් කිසියම් වෙනසක් මිනිසුන්ගේ හදවත්වලට දැනේවි. ඒ සඳහා තමයි අපි මේ කලා මාධ්‍යය යොදාගත්තේ.
විමසීම්
077-7755757/ 077-7350228/ 077-3448457/ 077-2181878