මෙරට වේදිකා නාට්‍ය කලාව තුළ සිය නිර්මාණ හරහා සුවිශේෂී මුද්‍රාවක් තැබූ නාට්‍යකරුවෙකු ලෙස රාජිත දිසානායක හැඳින්විය හැකිය.විශේෂයෙන් පවතින සමාජයථාර්ථයන් වින්දනාත්මකව ප්‍රේක්ෂකයාට සමීප කර ඔවුන් සවිඥානික කිරීමේ නිර්මාණ කටයුත්තෙහි නිරත වන රාජිත වසර දෙකකට වරක් පවත්වන සිය නාට්‍ය උලෙළ මෙවරද අගෝස්තු 01, 02 හා 03 යන තෙදින ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.ඒ අනුව සිහින හොරු අරං, ආදර වස්තුව, බකමූණා වීදි බසී, යන නාට්‍ය පිළිවෙළින් වේදිකාගත කිරීමට නියමිත අතර, මේ ඒ පිළිබඳ ඔහු සමග කළ සංවාදයකි.
පවත්වන්නට සූදානම් වන නාට්‍ය උලෙළ සම්බන්ධව මුලින්ම පැවසුවොත්?
සිහින හොරු අරං නාට්‍යයට ලබන අගෝස්තු මාසෙට අවුරුදු 10ක් සම්පූර්ණ වෙනවා. ඒ වගේම අගෝස්තු පළමුවැනිදාට ආදර වස්තුව වර්ෂ පූර්ණය සම්පූර්ණ වෙනවා.ඒ වගේම අවුරුද්දකට වැඩි කාලයක් විරාමයක් අරන් තිබූ බකමූණා වීදි බසී නාට්‍ය යළි රඟ දැක්වීමත්, අගෝස්තු 01,02 හා 03 යන තෙදින තුළ සවස 7.00 ට ලයනල් වෙන්ඩ්ට් හිදී සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. සිහින හොරු අරං^ නාට්‍ය වසර 10 ක් අඛණ්ඩව පවත්වාගැනීම ගැන විශේෂ සතුටක් තියෙනවා. මොකද ස්වතන්ත්‍ර නාට්‍යයක් අවුරුදු 10කට පස්සෙ අර්ථ සම්පාදනය කරන්න සමත්වෙනවා නම්, ප්‍රේක්ෂකයාට සමීප අත්දැකීමක් බවට පත්වෙනවා නම් නාට්‍ය කණ්ඩායමට සතුටු වෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම සිහින හොරු අරං නාට්‍යයේ මුල් රඟපෑමට දායක වූ ශිල්පීන් 8 දෙනාගෙන් 7දෙනෙක් තවදුරටත් නාට්‍ය තුළ තම භූමිකාව නිරූපණය කරනවා. ඒ වගේම එම නිරූපණය පිරිහීමක් ඇති නොවී වර්ධනීය විදිහට පවත්වාගෙන යන්නට සමත් වී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් ගොඩක් වෙහෙස මහන්සි වුණා, කැප වුණා.
%සිහින හොරු අරං^ නාට්‍ය ලංකාව පුරා දර්ශනවාර 100කට අධිකව රංග ගත කළා. ඉන්දියාවේ භාරත් මහා රංගෝත්සව හිදීත්, ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය වැනි රටවලත් රංගගත කරන්න හැකිවුණා. එයත් අපට විශාල අත්දැකීමක්.
සිහින හොරු අරං නාට්‍යය වසර දහයක කාලයක් ප්‍රේක්ෂකයා විඳගන්න සූදානමින් සිටින්නේ මේ තුළ කතා කරන වස්තු විෂය වසරින් වසර ලංකාව තුළ යථාර්ථයක් වන නිසාද?
2004 මෙය රංගගත කරන විට සමාජයේ තිබූ තත්ත්වයට වඩා මේ වනවිට. විශේෂයෙන් ප්රචණ්ඩත්වය, බලය යොදාගෙන මිනිස්සු අතින් ජීවිත හසුරුවන විදිහ මුල් අවස්ථාවේ ප්‍රේක්ෂකයාට දැනුණට වඩා ගොඩක් සමීපව ප්‍රේක්ෂකයාට දැනෙන්න පටන් අරගෙන තිබෙනවා.
%බකමූණා වීදි බසී^ නාට්‍යය එක්වරම නවතා දමන්නේ ඊට එල්ල වූ තර්ජන නිසා නේද?
%බකමූණා වීදි බසී^ සමකාලීන සමාජය පිළිබඳව කිසියම් විදිහට තේරුම් ගන්න ඉඩ හදා දෙන නාට්‍යයක්. ඒ නාට්‍යය දේශපාලන ප්‍රහසනයක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නාට්‍යය කිසියම් විදිහක විරාමයකට යන්න පුළුවන් වුණා නම් හොඳයි කියල හිතුණ වෙලාවක තමයි විරාමයක් ගත්තෙ. මේ නිසා මෙවර එය නම් කළෙත් %කලකට පසු සීමිත කාලයකට පමණයි^ යනුවෙන්. මොකද අපි තේරුම් ගන්න ඕන අප කටයුතු කරන්නේ මොන වගේ සමාජයකද කියලා. ඒ වගේම සීමාවන් තේරුම් අරගෙන ඒ සීමාව ඇතුළෙ කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. ඒ නාට්‍යය තුළ කියන්න ඕන දේ නොකියඉන්නවට වඩා සීමිත ඉවක් තුළ සීමිත කාලයක් තුළ කියන්න පුළුවන් නම් නාට්‍යකරුවෙකු ලෙස එය කළ යුතුයි.
කෙසේ නමුත් මේ නාට්‍යයට කිසිදු බලපෑමක් එල්ල වෙලා නැහැ. එම නාට්‍යයට හැකිවෙලා තිබෙනවා කිසියම් සීමිත පිරිසක් තුළ කිසියම් සිතීමක්, අවධි කිරීමක්, කතාබහක් ඇතිකරන්න. එය යම් කලකට පසුව නැවත සිදුකිරීමක් තමයි මේ කරන්නේ. මොකද අපි තේරුම් ගන්න ඕන ලංකාවෙ තියෙන තත්ත්වය. කලාත්මක ප්රකාශනය හෝ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව සීමාවක්, වාරණයක් සම්බන්ධව අහන්න ලැබෙනවා. හැබැයි වේදිකා නාට්‍ය කලාව තුළ යම් ඉඩක් තිබෙනවා. ඒ ඉඩ තුළ කළ හැකි උපරිම දේ අපි කළ යුතුයි. ඒ වගේම සමහර සීමාවන් අපි තේරුම් ගත යුතුයි.
ඒ කියන්නේ ඔබ විසින් ඔබේ නිර්මාණවලට ස්වයං වාරණයක් සකසාගෙන තිබෙනවා කියන එකද?
නිර්මාණකරණයේදී විතරක් නෙවෙයි ජීවිතේ බොහෝ දේවල්වල සමහර සීමාවන් තේරුම් අරගෙන කටයුතු කරන්න අපට සිදුවෙනවා. මොකද මොන වගේ කාල පරිච්ඡේදයක, මොන වගේ පාලන තන්ත්රයක් යටතේද ජීවත් වෙන්නෙ කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒ කියන සීමාවන් හඳුනාගෙන නිර්මාණකරුවෙකු ලෙස අපට කළ හැකි නිර්මාණ බොහොම සියුම් ලෙස හසුරනවා නම් අපිට ලොකු බාධාවක් ඇති නොකරගෙන කටයුතු කරන්න පුළුවන්. නැත්නම් හරි පහසුයි වාරණයක් කැඳවා ගන්න, හරි පහසුයි බාධාවන් ඇති කර ගන්න. එය නෙවෙයි විය යුත්තේ. අප කළ යුත්තේ ප්‍රේක්ෂකයාට කිවයුතු දේ කලාත්මකව කීමයි. එසේ කීමට අවශ්‍ය ඉඩක් තාම තියෙනවා. එය නැති නොකරගෙන එය තුළ කළ හැකි උපරිම දේ කිරීම තමයි අපි මේ කරන්නෙ.
මිනිස්සු අත්දකිමින් සිටින තත්ත්ව නාට්‍ය හරහා සමාජගත කොට ඔවුන් සවිඥාන කිරීමට උත්සාහ ගත්තත්, ආසියාතික රටවල එයින් උත්තේජන ලබා සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටීමක් දක්නට නැහැ නේද?
නිර්මාණකරුවාට කළ හැකි දේ තමයි තමන් ජීවත්වන සමාජය තුළ තමන්ට සිදුවෙමින් පවතින දේ කුමක්ද කියලා රසිකයාට වටහා ගන්න ඉඩ සලස්වන එක. සමාජයේ සිදුවන වෙනස්කම් මොනවාද, සමාජය තුළ එවැනි වෙනස්වීම් සිදුවන්නේ ඇයි, ඒවා මෙහෙයවන බලවේග මොනවාද, ඒ තුළ තමන්ට අත්වෙන ඉරණම ආදිය පිළිබඳ අවබෝධයක් ඇති කිරීම තමයි කලා මාධ්‍ය හරහා කළ හැක්කේ.ඒ සීමාවන් වෙනස් කිරීමට සමාජයට අවබෝධය අවශ්‍යයි. අවබෝධයකින් තොරව සාධනීය කිසිවක් සිදුවන්නේ නැහැ. අපට කැඩපතක් නිර්මාණය කරන්න පුළුවන් තමන්ව දකින්න. එතනින් එහා සිතීමක් සහ එතනින් පස්සෙ ඇතිවිය යුතු වෙනස්කම් පිළිබඳව ක්‍රියාකාරීත්වය දේශපාලනික මෙහෙයවීම් යටතේ සිදුවිය යුත්තක්. ඊට මෙහා තමයි කලාකරුවාගේ භාවිතාව තිබෙන්නේ. කෙසේ නමුත් ඊට අවැසි අවබෝධය ඇති කිරීම ඉතා වැදගත්. ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කලාවට සිදුකළ හැකියි. මේ සිද්ධවෙන බොහෝ දේවල් සමාජයට තේරෙන්නෙ නැහැ. සම්පූර්ණ සිතීම සීමා වෙලා. තමන්ට වෙලා තිබෙන දේ සහ වෙන්න තිබෙන දේ නොදැන ඉන්න සමාජයට ඒ දේ වටහා ගන්න යම් කවුළුවක් විවර කිරීම තමයි කලාකරුවා කළ යුත්තේ.
ඔබේ නාට්‍ය උලෙළ සියල්ල ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවට ලඝු වෙන්නෙ ඇයි?
2006 සිට දෙවර්ෂයකට වරක් අපි නාට්‍ය උලෙළවල් ලයනල් වෙන්ඩ්ට් හිදී පවත්වා තිබෙනවා. මෙවර පවත්වන්නේ 5වැනි වරටයි. ලයනල් වෙන්ඩ්ට් තමයි ලංකාවේ තිබෙන දියුණුම එකම රඟහල. අපට තිබෙන දියුණු එකම රඟහලේ නාට්‍යයක් රඟදැක්වීම ලෝඩ්ස්වල ක්‍රිකට් ගහනවා වගේ වැඩක්. ගුණාත්මකව නාට්‍යයක් රඟදක්වලා ඉහළ රසවින්දනයක් ප්‍රේක්ෂකයාට ලබන්න ඉඩ සලසා ගන්න පුළුවන් තැන ලයනල් වෙන්ඩ්ට් නිසා තමයි පවත්වපු හැම නාට්‍ය උලෙළක්ම පැවැත්වුවේ සහ අපේ බොහෝ නාට්‍යවල මංගල දර්ශනය පවත්වන්න කටයුතු කළේ.
වර්ෂයක් තුළ ලංකාවේ නාට්‍ය විශාල ප්‍රමාණයක් බිහිවෙනවා. ප්‍රමාණාත්මකව වැඩි වුණාට ගුණාත්මකව වර්ධනයක් නැහැ නේද?
නිර්මාණය වන හැම නාට්‍යයක්ම ඉහළ ගුණාත්මක බවින් යුක්ත නොවුණාට හොඳ නාට්‍ය අපේ රටේ මෑතකාලීනව නිෂ්පාදනය වුණා. %දොළහක්^ වගේ නාට්‍ය ඉතා හොඳ නිෂ්පාදන. ඒ වගේම හොඳ කෙටි නාට්‍ය අපට දකින්න ලැබෙනවා. එය සංඛ්‍යාත්මකව විශාල නොවුණත් තවමත් අපේ රටේ අපූර්ව නිර්මාණ බිහිවෙනවා. ලංකා ඉතිහාසයේ තත්ත්වය ඕකම තමයි.
පසුගිය කාලේ ලංකාවේ වේදිකා නාට්‍ය රාජිතකරණය වෙලා යැයි පැවසුණානේ. ඔබ දකින විදිහට මීලඟට එන්න තියෙන්නෙ මොන %කරණයද^
රාජිතකරණය කියන්නේ මම කිව්ව දෙයක් නෙවෙයි. සමහර කෙනෙකුගේ අදහසක්. ඒ අයගෙන්ම තමයි අහන්න වෙන්නෙ ඊළඟට මොන කරණයද කියලා. මට හිතෙන දේ තමයි සමාජ, ආර්ථික, දේශපාලනික වෙනස්වීම් එක්ක නාට්‍ය කලාවේ නිර්මාණාත්මක වෙනස්වීම් සිදුවීම අනිවාර්යයි. පවත්වා ගැනීමේ ක්‍රියාවලිය, රංගගත කිරීමේ ක්‍රියාවලිය මේ වනවිටත් වෙනස්වීම් වලට භාජනය වෙමින් තිබෙනවා. එය පිරිහීම හෝ වර්ධනයක් කියලා එකවර හඳුන්වන්නේ නැහැ. නමුත් මේ තියෙන තත්ත්වය තුළ විවිධ වෙනස්කම් වලට ලක්වෙනවා. එය නියතයි.
ලෝකයේම හැමදෙයක්ම වින්දනය සපයන ස්වභාවයක් ඇතිවෙලා තියෙනවා. කලාව කොහොමත් වින්දනාත්මක වූවාට කලාව ඉක්මවන වින්දනයක් සපයන දේවල් බවට බොහෝ දේ පත්වෙලා. රූපවාහිනියේ ප්රවෘත්ති, පාර්ලිමේන්තු මැතිසබය ආදිය නාට්‍යයට වඩා අති නාටකීයයි. සාමාන්‍යයෙන් අපි වෙයි කියලා හිතන දේ නෙවෙයි වෙන්නෙ. පූජකයන් හැසිරෙයි කියල හිතන විදිහට නෙවෙයි පූජකයන් හැසිරෙන්නේ. පොලීසිය හැසිරෙයි කියල හිතන විදිහට නෙවෙයි පොලීසිය හැසිරෙන්නෙ. අධිවේගය හැසිරෙයි කියල හිතන විදිහට නෙවෙයි අධිවේගය හැසිරෙන්නේ. මේ හැමදේම වෙනස්කම් වලට ලක්වෙන සමාජයක් තුළ නාට්‍ය කලාවේ භාවිතාව සඳහා මීට වඩා වෙනස් විධි හොයන්න වෙලා තිබෙනවා. විශේෂයෙන් නාට්‍ය කියන්නේ වින්දනාත්මක අත්දැකීමක් ලබන්න පුළුවන් දෙයක් කියන විශ්වාසය තහවුරු කරන්න ඕන. මොකද ප්‍රේක්ෂකයාගෙන් තොරව නාට්‍ය කලාව පවතින්න බැහැ. ප්‍රේක්ෂකයා රඟහල අත් නොහැර රඳවා ගැනීම තමයි අපිට තිබෙන ප්‍රධානම වගකීම.
මීලඟට ඔබ වේදිකාගත කිරීමට අදහස් කරන්නේ කවර ප්‍රස්තුතයක නිර්මාණයක්ද?
මේ නාට්‍ය උලෙළ අවසන් වුණාට පස්සෙ අගෝස්තු අවසන් සතියේ පමණ අලුත් නාට්‍යයක පුහුණුවීම් ආරම්භ කරනවා. ලබන වසරේ ජනවාරි අග ඒ නාට්‍ය රඟදැක්වීමට අදහස් කරගෙන ඉන්නවා. මේ නාට්‍යයට ප්රස්තුතය වෙන්නෙ සාමාන්‍ය පවුලක් රටේ ප්‍රකට බලගතු පවුලක් වෙන්න දරන උත්සාහයයි.