අද හැදෙන මියුසික් වීඩියෝ ගැන කතාබහක්
ලාංකේය ගීත සාහිත්‍යය සහ සංගීත ක්ෂේත්රය තුළ විවිධ කාලයන් තුළදී විවිධ වෙනස්කම් සහ විවිධ පෙරළීන් සිදුව තිබේ. සංගීතය සහ තාක්ෂණය එකිනෙක සංයෝජනය වීමේ වේගය වැඩිවීමට සාපේක්ෂව පසුගිය දශක දෙක තුළ සංගීත ක්ෂේත්රයේ සිදු වූ නිරන්තර වෙනස්කම් හේතුවෙන්ම මේ වනවිට ඒ පිළිබඳ පුළුල් සංවාදයක් ගොඩනැගී තිබේ. විශේෂයෙන්ම ගීත රූප රචනා කලාවේ මෑතකදී සිදු වූ වෙනස්කම් සහ ඒ හරහා ගොඩනැගුණු නව ප්රවණතා ඒ අතර ප්‍රධාන වෙයි. එනිසාම අපි වර්තමානයේ නිර්මාණය වන ගීත රූප රචනා සම්බන්ධයෙන්, මෙරට සංගීත ක්ෂේත්රයේ නියුතු විවිධ පාර්ශ්ව කිහිපයක අදහස් විමසා සිටියෙමු.
කලාව අවතැන් වෙච්ච තැන හැමදේම විනාශ වෙනවා - අමරසිරි පීරිස්
අපේ කාලේ ගීතවල සංවරකමක් තිබුණා. ඉතිහාසයේ ඉඳන්ම එහෙමයි. තාක්ෂණේ දියුණුවත් සමග උදාවෙච්ච තත්ත්වයක්නේ මේක. ශ්‍රව්‍ය මාධ්‍ය පාවිච්චි කරපු අපිට ඔය කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ ගීත හොඳට වින්දා, ඒ ගීත අහපු අය හොඳ පරිකල්පනයක් ඇතිකර ගත්තා. ඒ
ගීත වලට තමා තුළින් කිසියම් රූපයක් මවාගෙන රසවින්දා. ඉතිං ඒවාට බොහෝ සංවරකමින් යුතු විශාල ආධ්‍යාත්මික පසුබිමක් තිබ්බා. තාක්ෂණයේ දියුණුවත් සමග නොයෙක් නොයෙක් ආකාරයේ වෙනස්කම් වෙන්න ගත්තා. මම පෞද්ගලිකව හිතනවා ලෝකයේ හැමදෙයක්ම වෙනස් වෙනවා, දියුණු වෙනවා. ඉතිං කලාවත් එහෙමයි. තමන්ගේ හිත තමයි මෙතන ප්‍රධාන දේ. මේ ක්ෂේත්රයේ ඉන්න අය කල්පනා කරන්න ඕන වර්තමානේ දෙයක් ඉදිරිපත් කරනවා නම් එය කෙසේද ඉදිරිපත් කරන්න ඕනේ කියලා.
අද ඒක සෙල්ලමක් වෙලා තියෙන්නේ. කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. ඔය මොන දේ දැම්මත් විඳින කෙනෙක් ඒක විඳියි. ඒක තුළින් විශාල අසාධාරණයක් සමාජයට වෙනවා. කෘතඥ රසික පිරිසගේ අධ්‍යාත්මය වෙනත් පැත්තකට යන්න පුළුවන්. ඒවා තුළින් ලොකු සමාජ පරිහානියක් වෙන්නත් පුළුවන්. අපි මේ අත්දකින හැමදෙයක්ම වෙන්නේ ඒ තුළින් තමයි. කලාව අවතැන් වෙච්ච තැන හැමදේම විනාශ වෙනවා. තමන්ගේ ජාතිය ගැන, රට ගැන මිනිස්සුන්ට හිතන්න පතන්න බැරිවෙනවා. උන්හිටි තැන අමතක වෙන කාලයක් උදා වෙනවා. ඔය වගේ විකාර දේවල් නිසා තමයි අද මේ දේවල් රටට වෙලා තියෙන්නේ. මම නම් දකින්නේ ඒ දේවල යම්කිසි පාලනයක් තියෙන්න ඕන කියන එකයි. ඒක වෙන්නෙ නැහැ. එහෙම වෙයි කියල හිතාගන්නත් අමාරුයි. කවුරු මොනවා කිව්වත් සමාජ පරිහානියක් විශාල වශයෙන් වෙනවා. මම කියන්නේ නැහැ පැරණි දේවල් මත්තෙම ඉන්න ඕන කියලා. කිහිපදෙනෙක් කරන මේ දේ නිසා සිදුවෙන දේ හිතාගන්න බැහැ. හොඳ සංස්කෘතියක් තිබ්බ රටක් මේක. එහෙම දේවල් විනාශ වෙන්න දෙනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන වර්තමාන පරම්පරාව.
මේ අඩනිරුවත් දර්ශන දාන එක නම් ක්ෂේත්රය විනාශ කිරීමක් - ශෂිකා නිසංසලා
ගීතයකට මියුසික් වීඩියෝවක් කරන එක එක පැත්තකින් අසාධාරණයක්. සින්දුවක් අපි රසවිඳින්නේ තම තමන්ගේ අත්දැකීම් එක්කනේ. ඉතිං ඒක නිසා පුළුවන් නම් සිංදුවේ තේරුමට ගැළපෙන්න, සිංදුවේ තේරුම අපිට තව ටිකක් තේරෙන විදිහට කරන විෂුවල්වලට තමයි මම කැමති. ඇත්තටම කියනවා නම් මේ අඩනිරුවත් දර්ශන දාන එක නම් ක්ෂේත්රය විනාශ කිරීමක්. සින්දුවේ තේරුමටවත්, සින්දුව ජනප්‍රිය කරගන්නවත් නෙමෙයිනේ අරමුණ වෙලා තියෙන්නේ. යූටියුබ් එකේ විව්ස් වැඩිකරගෙන සල්ලි හම්බ කරගන්න එක තමයි ඒ අයගේ පරමාර්ථය වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට හොඳ දෙයක් දෙන්නවත්, රසවිඳින්න පුළුවන් නිර්මාණයක් කරන්නවත් නෙමෙයි ඒ අයගේ අදහස වෙන්නේ. ඒ වගේ වෙන අරමුණක් තියෙන අය තමයි අඩනිරුවත් දර්ශන දලා වීඩියෝ නිර්මාණය කරන්නේ. ගීතයක විෂුවල් එකක් නැතිව තමන්ගේ හිතේ තියෙන දෙයත් එක්ක රසවිඳින්න පුළුවන් නම් හොඳයි. අපේ අත්දැකීම් එක්ක මැවෙන දේ තමයි හොඳම රූප රචනය වෙන්නේ. රූපවාහිනී මාධ්‍ය තුළ ගීතයක් ප්‍රචාරය කරගන්න අපටත් විෂුවල් එකක් කරන්න වෙනවා. ඒක නිසා තමයි මියුසික් වීඩියෝ කියන දෙයට මෙච්චර ඉල්ලුමක් හැදිලා තියෙන්නේ.
ගායකයා, තනු නිර්මාණකරුවා, පදරචකයා අදක්ෂ නම් තමයි නිරුවත යොදලා මියුසික් වීඩියෝ කරන්නේ - නොයෙල් රාජ්
මේ කාරණාවට නම් මම තදින්ම විරුද්ධයි. සිංදුවක් ජනප්‍රිය කරන්න නිරුවත පෙන්වන්න ඕනේ නැහැ. ඒ අධ්‍යක්ෂකවරයාගේ හරි, නිෂ්පාදකයාගේ හරි තියෙන නිරුවත වහගන්න තමයි වෙනත් කාගේ හරි නිරුවත පෙන්වන්නේ. ගායකයෙක්ගේ හෝ එම සංගීත නිර්මාණකරුවාගේ හැකියාව පෙන්වන්න මියුසික් වීඩියෝවකට නිරුවත අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ගේ දක්ෂකම තමයි එම ගීතය තුළින් එළියට එන්න ඕනේ. නැතුව නිර්මාණ කරන අඩනිරුවත් මියුසික් වීඩියෝව මගින් නෙමෙයි. ඒ ආකාරයේ මියුසික් වීඩියෝ කරන්න ඕනේ ගායකයා, තනු නිර්මාණකරුවා, පදරචකයා අදක්ෂ නම් තමයි.
මේ දේවල් කරන අයට පවුල් පසුබිමක් නැහැ, පවුලක තියෙන ගෞරවය පිළිබඳව අවබෝධයක් නැහැ - ජගත් වික්‍රමසිංහ
මියුසික් කියන්නේ විෂුවල් නෙවෙයි. මියුසික් කියන්නේ හඬ පිළිබඳව තියෙන දෙයක්. ඒකට එක එක දේවල් දවටලා දවටලා පාවිච්චි කරන එක ගැන නම් මගේ ප්‍රසාදයක් නැහැ. අනිත් එක නිරුවත ඉස්මතු කරන්න එක එක විදිහට උත්සාහ කරනවා. ලිංගිකත්වය, නිරුවත කියන දේවල් එක්තරා වයස් සීමාවකට අයත් දේවල්. ශිෂ්ටසම්පන්න විනීත බවක් අවශ්‍ය දෙයක් මිසක් පොදු දේවල් නෙමෙයි ඒවා. නිරුවත ඉස්මතු කරලා වාසි ගන්න හදනවා කියන එක තමයි මම හිතන්නේ. ඒක අනවශ්‍ය විදිහේ වාසියක් ලබාගැනීමක් මිසක් ශිෂ්ටසම්පන්න දෙයක් නෙවෙයි. පවුල් වාසය කරන සමාජය තුළට ඒක ගැළපෙන්නේ නැහැ. එකේ තියෙන්නේ යටිකූට පරමාර්ථ. මේ දේවල් කරන අයට පවුල් පසුබිමක් නැහැ.
පවුලක තියෙන ගෞරවය පිළිබඳව අවබෝධයක් නැහැ. පවුල් වල තියෙන ගෞරවනීය බවට සමච්චලයක් තමයි කරන්නේ. ඉතිං එහෙම කරලත් ඒ දේවල් වලට සාධාරණ හේතු ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. ඒ දේවල සාධාරණීය කරගන්න තවත් පිරිසකුත් එකතුකර ගන්නවා. ඒ අයට මතක නැහැ එයාලට අම්මලා, අක්කලා, නංගිලා ඉන්නවා කියලා. සංගීතය කියන දේ දූෂණය කරන්න ඕන විෂයයක් නෙමෙයි. සංගීතය කියන්නේ බෙහෝම සෞන්දර්යාත්මක දෙයක්. සීගිරි බිතුසිතුවම් තියෙනවානේ. ඒවා චිත්‍ර කර්මාන්තයට අයත් දේවල්. මේ කරන හදන
දේවල් වල යටි පරමාර්ථ තියෙන්නේ වෙන පැත්තකට. එය හුදෙක් පුහු ප්‍රසිද්ධිය ලබාගැනීමට කරන පුහු ක්රියදාමයක්. ජනප්‍රියත්වය කියන්නේ වෙනස් දෙයක්. ජනයාගේ තියෙන රාගික පහත් ආසාවල් තුළින් තමන්ගේ නිර්මාණ සමාජගත කරන්න උත්සාහ කරන කූඨ ව්‍යාපෘතියක් විදිහට තමයි මම මෙය දකින්නේ. අපිට පරමාදර්ශ තියෙනවා. පණ්ඩිත් අමරදේවයන් නිරුවතින් රඟපෑවේ නැහැ. ලෝක ප්‍රකට ගායන ශිල්පීන් වන ලතා මන්ගේෂ්කාර් මහත්මියගේ, මොහොමඩ් රාෆින් මහත්මාගේ, නැට් කින් කෝල්ගේ ගීත අරන් බලන්න. ලෝකේ ඉන්න විශිෂ්ට නිර්මාණශිල්පීන් ඔය වගේ පහත් පරමාර්ථ තුළින් තමන්ගේ නිර්මාණ අලෙවි කරන්න ගියේ නැහැ.
ඒවායින් තමන්ට ලාභ උපයන්න ගියේ නැහැ. අපි ගන්න ඕනේ ලෝකයේ තියෙන හොඳ දේවල්. එක මිනිහෙක් හෙළුවෙන් ගියොත් මිනිස්සු 100ක් ඇඳලා ගියාට වඩා ඒක පේනවා. ඒ මනුස්සයා ජනප්‍රිය වෙන්නේ නැහැ, ප්‍රසිද්ධ වෙනවා විතරයි. පිස්සෙක් විදිහට හරි, එහෙම නැතිනම් නිරුවත පෙන්වන, ඒකෙන් මොකක් හරි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන, තව කෙනෙක්ගේ අවධානය වැරදි දේවල් වලට යොමු කරන, සමාජ සාරධර්ම විනාශ කරන කෙනෙක් හැටියට ප්‍රසිද්ධියට පත්වෙනවා. බෝම්බයක් ගහන කෙනත් ප්‍රසිද්ධ වෙනවා. සියදිවි හානි කරගන්න කෙනත් ප්‍රසිද්ධ වෙනවා. නමුත් ජනප්‍රිය වෙන්නේ නැහැ. මේක තේරුම් කර ගත්තේ නැති මිනිස්සු වැදගත් කලාවක් වැරදි දේවල් වලට යොමු කරනවා. මම නම් 100% හෙලා දකින කාරණයක් තමයි ඒක. අනික ගීතය කියන්නේ කර්ණරසායන දෙයක් මිසක් දෘෂ්යරසායන දෙයක් නෙමෙයි. ඒකට අධ්‍යක්ෂකගේ හිතේ තියෙන යම් යම් දේවල් එකතු කළාට කමක් නැහැ. හැබැයි ඒකට වැඩි බරක් යෙදීම සඳහා මිනිස්සුන්ගේ තියෙන පහත් අාශාවන් ඉස්මතු කරලා ඒ තුළින් වාසියක් ලබාගැනීම වැරදියි.
අප රටේ හොඳ කියන්න ගියත් නරක කියන්න ගියත් බැණුම් අහන්නේ අපිමනේ - රොමේෂ් සුගතපාල
මට අනිත් අයව පාලනය කරන්න බැහැ. මම කරන දේ ගැන ගොඩක් සැලකිලිමත් වෙලා තමයි මගේ ගීතයට වීඩියෝව නිර්මාණ කරන්නේ. අලුතෙන්ම මම මියුසික් වීඩියෝ දෙකක්ම කළා. %මන්දාකිණි^ සහ %මන්දාරමේ^ කියන මියුසික් වීඩියෝ දෙක. ඒ දේවල් රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රචාරය වෙන්න තරම් සුදුසුයි කියන කාරණාව මම දන්නවා. අද බොහෝ දෙනා මියුසික් වීඩියෝ නිර්මාණය කරන්නේ විව්ස් ගන්න බලාගෙනයි. මට මේක හරි නැහැ, අරක හරි නැහැ කියන්න අයිතියක් නැහැ. අප රටේ හොඳ කියන්න ගියත් නරක කියන්න ගියත් බැණුම් අහන්නේ අපිමනේ. අද නිර්මාණය වන ඇතැම් නිර්මාණ හොඳ ප්‍රමිතියකට නිර්මාණය කරලා තියෙනවා. කට්ටිය ඒ සඳහා මහන්සි වෙනවා. නිරුවත මූලික කරගන්නේ නැතිව කරනවා නම් හොඳයි කියලා තමයි මගේ අදහස. මොකද ඉස්සරත් මියුසික් වීඩියෝ තිබ්බනේ. ඒවල මේ අඩනිරුවත නැතිව තිබ්බ දේවල් ගොඩක් ජනප්‍රිය වුණා. අපි සංස්කෘතියක් එක්ක යන රටක්නේ. බෞද්ධ රටක්. ඒ දේවල් කරනකොට කල්පනාකාරී වෙලා ලස්සන දෙයක් සමාජගත කරන්න පුළුවන් නම්, යම්කිසි පණිවුඩයක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි මගේ අදහස.
මම හිතන්නේ නැහැ ඒක ඇත්තටම ලොකු පැවැත්මක් තියෙන වැඩක් කියලා - දිමන්ක වෙල්ලාලගේ
ලංකාවේ මියුසික් වීඩියෝවලට නිරුවත් දර්ශන භාවිත කරන්නේ සින්දුව මාර්කට් කර ගැනීමේ පරමාර්ථයෙන් මිසක් කලාවට කරන ආදරයෙන් නෙවෙයි. ලෝක ප්‍රසිද්ධ ගායකයෝ නිරුවත කියන දේවල් එම දර්ශනවලට කලාත්මකව යොදාගෙන තියෙන අවස්ථාවන් අපි ඕනතරම් දැකලා තියෙනවා. ලංකාවේ ගොඩක් වෙලාවට අඩු මානසිකත්වයක් තියෙන අය තමයි මේ හැඟීම් අවුස්සලා, තමන්ගේ යූටියුබ් චැනල් එකේ විව්ස් ටික වැඩි කරගන්න උත්සාහ කරන්නේ. මම හිතන්නේ නැහැ ඒක ඇත්තටම ලොකු පැවැත්මක් තියෙන වැඩක් කියලා. මොකද අපි බටහිර රටක් නෙවෙයි. කොච්චර මොන දේ කිව්වත් අපේ රටේ තියෙන සංස්කෘතිය අපිට එකපාර වෙනස් කරන්න අමාරුයි. මිනිස්සුන්ගේ සිතිවිලි සෑහෙන්න කාලයක් ඇවිල්ලා ඇවිල්ලා තමයි එක තැනක නතර වෙන්නේ. අපේ රටකට ලිංගික දර්ශන සීමාවකින් තොරව යොදා ගැනීමෙන් වෙන්නේ එම කලාකරුවෝ සහ නිර්මාණකරුවෝ අපකීර්තියට පත්වෙන එක පමණයි.
මිලියන ගණන් බලල තියෙන ඒවා කියන්නේ මිනිස්සු වැඩි වැඩියෙන් ඉල්ලනවා කියන එකනේ - ඉරාජ් වීරරත්න
මිනිස්සු තමන්ට කැමති ඒවා බලයි, නැති ඒවා බලන්නේ නැතිව ඉඳියි. යූටියුබ් එකේ පේනවානේ කීයක් බැලුවද කියලා. සමහර වීඩියෝ පන්සීයක්, සමහර වීඩියෝ මිලියන හය හතක් බලලා තියෙනවා. මිලියන ගණන් බලල තියෙන ඒවා කියන්නේ මිනිස්සු වැඩි වැඩියෙන් ඉල්ලනවා කියන එකනේ. මියුසික් වීඩියෝ එකක් කිව්වාම සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් දෙයකට පාවිච්චි කරන්න කියල තමයි මම කියන්නේ. නිරුවත කියන දේ ගත්තොත් මගේ මියුසික් වීඩියෝවල පාවිච්චි කරන පැටර්න් එකක් තියෙනවා. අවුරුදු දෙකකට කලින් මගේ මියුසික් වීඩියෝවක තොල් සිපගැනීමක් තිබ්බා කියලා ලංකාවේ අය යකා නැටුවනේ. සිල් බිඳ ගත්තේ කියන මියුසික් වීඩියෝවේ තොල් සිප ගැනීම් තිබ්බා කියලා සමහරක් පිරිස් මාධ්‍ය හමු තියලා මාව තහනම් කරන්න ඕන කියලා කිව්වා. ලෝකයේ වෙන රටවල මිනිස්සුන්ට ගිහිල්ලා කිව්වාම උන් හිනා වෙනවා. උඹලගේ රටේ තාම වහල්ලුද ඉන්නේ කියලා අහනවා. ඉතිං දැන් ඒ දේවල් සාමාන්‍ය දේවල් වෙලා. මම කළේ ඒ ෆ්‍රේම් එක කඩන එක විතරයි. මට පස්සේ ආපු අය ඒක ජරා විදිහට කරනවා. තේරුමක් නැතිව සල්ලි හම්බ කිරීමේ පරමාර්ථයෙන් කරනවා. බලන අයත් ඒවා හරි නැත්නම් බලන්නේ නැතිව ඉන්න ඕන. මේක ජනමාධ්‍ය තුළ නෙමෙයිනේ ප්‍රචාරය වෙන්නේ. සමාජ මාධ්‍ය තුළනේ. යූටියුබ් ගිහිල්ලා, සර්ච් කරලා තමාගේ ඩේටා කපාගෙනනේ බලන්නේ. මේක බලෙන් පෙන්නන එකක් නෙවෙයි. ඒ දේවල් මිනිස්සු තීරණය කරන්න ඕන.
සෞන්දර්යාත්මක විදිහට නිරුවත පාවිච්චි කළාට මම නම් වැරැද්දක් දකින්නේ නැහැ - අභිෂේකා විමලවීර
මම හිතන්නේ නිරුවත කියන දේ හෝ සරාගී දර්ශන කියන කාරණාව හෝ ලිංගිකත්වය කියන එක මේ මහා ලොකු කරගෙන කියන්න ඕන දෙයක් නෙවෙයි. ඒක හරියට අපේ දෛනික අවශ්‍යතාවක් කියලා කියන්න පුළුවන්. කෑම බීම වගේ, ඇඳුම් අඳිනවා වගේ, ගෙවල් දොරවල් වල ඉන්නවා වගේ ලිංගිකත්වය කියන්නෙත් මිනිසුන්ගේ අවශ්‍යතාවක්. ඒකෙන්නේ වර්ගයා බෝ වෙන්නේ. හැබැයි ලිංගිකත්වය කියන දේ තුළින් හැම වීඩියෝවකින්ම පෙන්වන්නේ එකම දේ නම් සහ ඒක පිළිකුල් සහගතයි නම් එතන ගැටලුවක් තියෙනවා. ක්ලැසිකල්, සෙමි ක්ලැසිකල්, පොප්, රැප්, 18+ කියන හැමදේටම ඉල්ලුමක් තියෙනවා. ඒකට වෙන්වූ ෆෑන්බේස් එකක් ඉන්නවා.
ඒක නිසානේ සැපයුමක් තියෙන්නේ. ඒක සප්ලයි කරන කෙනා වෙළෙන්දෙක් නොවී කලාකාරයෙක් වෙලා මිනිස්සුන්ගේ තියෙන මොකක් හරි දෙයට මොකක් හරි දෙයක් එකතු කරන්න පුළුවන් විදිහට ඒ දේ කරනවා නම් හොඳයි.මගේ නිස්සාර වීඩියෝව ඇතුළෙත් ලිංගිකත්වය කියන දේ පෙන්වලා තියෙනවා. පිටරට මේ විෂය සම්මානවලට නොමිනේට් කරන්න පවා සුදුසුකමක් වෙනවා. අපිට ඒක ප්‍රතික්ෂේප කරන්නේ බැහැ. කාමසූත්ර වගේ ෆිල්ම් එකක් ගත්තාම එකේ තනිකරම තියෙන්නේ නිරුවත. හැබැයි ඒක බොහෝම සෞන්දර්යාත්මකයි. නිර්මාණකාරයෝ විදිහට අමුවෙන් ඒ දේවල් පාවිච්චි කරන්නේ නැතිව හදවතට දැනෙන විදිහට, සෞන්දර්යාත්මක විදිහට නිරුවත පාවිච්චි කළාට මම නම් වැරැද්දක් දකින්නේ නැහැ.
ඩිලාන් ක්‍රිෂාන්ත / කැලුම් දේවින්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

