Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
එක්දහස් නවසිය හතළිහ දශකය තමයි මේ කතාවට පසුබිම් වෙන්නේ. ලංකාවට නිදහස ලැබෙන්න ආසන්න කාල සීමාව. ඒ කාලේ පැවති සංස්කෘතිය තමයි මීට අදාළ වෙන්නේ. යන්ත්රමන්ත්ර ගුරුකම් ශාස්ත්‍රය නිවැරදි දේවල්වලට යොදාගන්නා හිමිනමක්, දක්ෂ වෙද මහත්තයෙක්, පාසල් ගුරුවරයෙක් වගේ චරිත තමයි පාදක කරගන්නේ. එක්දහස් නවසිය හතළිහ දශකයේ විශේෂ ලක්ෂණයක් වුණේ නිදහස් චින්තනය සඳහා ශක්ති පමණින් සටන් කිරීම. අධිරාජ්‍ය විරෝධී හැඟීම්. සමානතාවයය අවශ්‍යයි යන හැඟීම. අපේ මුල් කාලෙදී දැකපු දෙයක් තමයි එක ගෙයි කෑම කියන දෙය. විශේෂයෙන්ම මෙය උඩරට ප්‍රදේශවල දකින්න ලැබුණා. එකම පවුලක අයියටයි, මල්ලිටයි එක බිරිඳයි ගෙන එන්නේ. අපි කුඩා කාලෙ දැකල තිබෙනවා. එය ඉතා හොඳ චාරිත්‍රයක් ලෙස පැවතුණේ. එය මෙයට ඇතුළත්ව තිබෙනවා. රන්බැඳි මිනිස්සු කියන මගේ තිර රචනයේ ඉන්න අයියවත්, මල්ලිවත් ඒ ගෙන එනු ලබන බිරිඳවත් එයට කැමැත්තක් දක්වන්නේ නැහැ. බිරිඳ කැමැත්තක් දක්වන්නේ අයියා එක්ක පවුල් ජීවිතය ගත කරන්න. මල්ලි තමන්ගේ සහෝදරයෙක් හැටියට සලකන්න තමයි ඇය කැමැත්තක් දක්වන්නේ. මල්ලිත් ඇය අක්කා ලෙස සලකා සහෝදරත්වය ගෙන යන්න කැමැත්තක් දක්වනවා. නමුත් වැඩිහිටි පරපුර එයට කැමැති නැහැ. ඒකට හේතුව ඔවුන් මෙය පාරම්පරික චාරිත්‍රයක් ලෙස ගෙන ඒම. අනෙක් කාරණය දේපළ බෙදී යාම වැළැක්වීමට එසේ සිදුකළා. උඩරට රාජ්‍ය කාලයේදී එය දේපළ බෙදීම වැළැක්වීමටත් වඩා පවුලේ කෙනෙක් යුද්ධයට යාම අනිවාර්යය වුණා. එහෙම වුණාම ඒ පවුල අනාථ වීම වළක්වන්න ඒ පවුල භාරගන්න තව කෙනෙක් සිටින විදිහට තමයි එය ආරම්භ වුණේ. ඒ චාරිත්‍රයේ අවසන් අවස්ථාව තමයි මම අරගෙන තියෙන්නේ. එවැනි සමාජ විද්‍යාත්මක විග්‍රහයක් ඇතුව ලියන ලද තිර රචනයක් තමයි මෙය.
මේ පවතින රටාව තුළ නම් එවැන්නකට කෙබඳු ප්‍රතිචාරයක් ලැබෙනවාද කියලා විකාශය කරනකොට තමයි බලන්න වෙන්නේ. මගේ ලොකු විශ්වාසයක් තිබෙනවා එය සාර්ථක වෙයි කියලා. මේ ටෙලිනාට්‍ය කලාව ආරම්භ කරන්න අපි මුල් වුණා. ඒ වගේම ටෙලිනාට්‍ය කලාව ජනප්‍රිය කිරීමටත් මූලික වුණා. දැන් එය ඉතා පහළ මට්ටමකට වැටිල තිබෙනවා. ඒ පහළ මට්ටමට අනුව නිර්මාණ කිරීම නෙමෙයි එය ඉහළ තැනකට ගන්න ඕන. මම හිතන්නේ හිටපු පැරණි ප්‍රේක්ෂක පිරිස එලෙසම ඉන්නවා. ඔවුන් නිතරම මගෙන් අහනවා අලුත් නිර්මාණයක් රචනා කරන්නේ නැත්තේ ඇයි කියලා. මෙවැනි ටෙලිනාට්‍යවලට සාමාන්‍ය ටෙලිනාට්‍යයකට වඩා වැඩි වියදමක් යනවා. ඒ නිසා නිෂ්පාදකයෙක් මෙවැනි නිර්මාණයක් භාරගන්නේ කලාතුරකින්. මෙහි නිෂ්පාදක ගාමිණී සෝමරත්නත් මෙවැනි ටෙලිනාට්‍යයක් සිදුකිරීම ඉතා වැදගත් කියන තැන ඉඳන් නිර්මාණයට දායක වෙනවා. අද තිබෙන බොහෝ ටෙලිනාට්‍ය නිවසක් තුළ එහෙම නැත්තම් සීමිත දර්ශන තලවල තමයි ගොඩනගන්නේ. නමුත් මෙවැනි තිර පිටපතක අශ්ව කරත්තවලින් යන ඉංග්‍රීසි ජාතිකයෝ, බක්කි කරත්තවලින් යන මිනිසුන්, අලින් පිට යන මිනිසුන් සිටිනවා. ඒ වගේම මඟුල් ගෙයක් වුණත් තහංචි කවි උපයෝගී කරගෙන කරන පැරණි චාරිත්‍රානුකූල මංගල්‍යයන් අන්තර්ගත වෙනවා. මම ළඟ අවශ්‍ය තොරතුරු තහංචි කවි පවා තිබුණා. මම හිතන්නේ දැන් හෙම්බත් වෙලා ඉන්න ප්‍රේක්ෂකයන් මෙවැනි අලුත් නිර්මාණයකට කැමැත්තක් දක්වයි.
මෙයට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් මුල් කාලයේ හොඳ ටෙලිනාට්‍යය බිහිවීමට තුඩුදුන් හේතුව පසුව ඕනෑකමින්ම ඉවත් කිරීම. නාළිකාවල ටෙලිනාට්‍යය විකාශය වුණේ ප්‍රධාන එක් අනුග්‍රාහකයෙකු දායක කරගෙන. එයට අනුග්රාහකයන් සමූහයක් නැහැ. ආරම්භක කාලේ සිට මේ දක්වා බැලුවම රක්ෂණ සමාගම්, බැංකු, රාජ්‍ය ආයතන වගේම පෞද්ගලික භාණ්ඩ හෝ සේවා අලෙවි කරන ආයතන කැමති වෙන්නේ නැහැ බාල අවරගණයේ ටෙලිනාට්‍යයක් ඉදිරිපත් කරන්න. එහෙම සිදුවුණොත් ඔවුන්ගේ වෙළෙඳ නාමයත් අපකීර්තියට පත්වෙනවා. ඒ නිසා එක් අනුග්‍රාහයෙක් පමණක් පැමිණීමෙන් ටෙලිනාට්‍ය කලාවට ඉතා හොඳ දෙයක් සිදුවුණා. රූපවාහිනී නාළිකාවලින් ඒ තත්ත්වය වෙනස් කළා. එක් අනුග්‍රාහකයෙකුට ටෙලිනාට්‍ය ලබා නොදී නාළිකාව විසින් ටෙලිනාට්‍ය මිලදී ගෙන, වෙළෙඳ දැන්වීම් සමූහයකින් එය පුරවා දමා මිලදී ගත් මුදල වගේ දහ ගුණයක් උපයන තත්ත්වයක් තමයි ඇතිවුණේ. එසේ සිදුවූ විට ටෙලිනාට්‍යයට වගකිව යුතු අනුග්‍රාහකයෙක් නැහැ. ඒක කාගෙ කාගෙත් දැන්වීම් ගොඩක් බවට පත්වෙනවා. නාළිකාවක් විසින් මිලදී ගැනීම සහ විශාල ආදායමක් ලැබීම අතර පරතරය තමයි ලාභය. මිලදී ගැනීමේ පාර්ශ්වය හැකිතරම් පහළ දමනු ලැබුවා.
අනිත් කාරණය තමයි ඉන්දියන් ටෙලිනාට්‍ය ගෙන්වීම. ප්‍රමිතියෙන් තොර නිර්මාණ තමයි ගෙන ආවේ. සිංහල ටෙලිනාට්‍යයකට වඩා හැම අතින්ම ඉතාම පහළ මට්ටමක තමයි ඒ ටෙලිනාට්‍යය තිබුණේ. ඉන්දියාවට ගිහින් ඒ කැසට් බීෆ් කේස් එකේ දාගෙන එන්න පුළුවන්. පසුව සිංහල දෙබස් කවා විකාශය කරනවා. එසේත් නැත්නම් එයට අනුව නාට්‍යය නිෂ්පාදනය කරනවා. මේ හැම දෙයකින්ම ඉතාම බාල ගණයේ නිෂ්පාදන තමයි බිහිවුණේ. එයට හේතුව අඩු වියදම. නාළිකාවල වැඩි ලාභය. මේ අවස්ථාවේදී ටෙලිනාට්‍ය කලාවේ ඉතාම හොඳ නිර්මාණ සිදුකරමින් සිටි අය ඒ තත්ත්වයට පත්විය නොහැකිව ක්ෂේත්රයෙන් ඉවත් වුණා. නිදර්ශන ගැන කියන්නම්. ආචාර්යය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මම තිර රචනා ලිව්වා. ඔහු අපිට හිටපු අග්‍රගන්‍ය සිනමාවේදියා. ඒ වගේම ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර ටෙලිනාට්‍ය කළා. මම රචනා කළ තිර පිටපත් ටයිටස් තොටවත්ත කළා. ඒ නිර්මාණකරුවන්ට මේ සීමාව තුළ වැඩ කරන්න බැරි වුණා. ඒ වෙනුවට ආදේශ වුණේ ඉන්පසු හිටපු දෙවන පරපුර නෙමෙයි. තුන්වන පරපුර හා හතරවෙනි පරපුර. ඔවුන්ගේ නිෂ්පාදන තමයි අපිට දැන් බලන්න සලස්වා තිබෙන්නේ. හොඳ නිර්මාණයක් කරන්න නාළිකාවලට අවශ්‍යතාව තිබ්බෙත් නෑ. අඩු මුදලකට ගන්න නිෂ්පාදනය තමයි ප්‍රචාරය කළේ. හරවත් විදේශීය නාට්‍යයක් ලෙස පැමිණි ඔෂීන් වැනි නාට්‍යයත් සිංහල ටෙලිනාට්‍යය විකාශය වෙන කාලේ තමයි විකාශය කළේ. ඔෂීන් වැනි නාට්‍යයක් රසවිඳින්න පුළුවන් සමාජයක් මේ රට තුළ බිහිවී තිබුණා.
ඊට නිර්මාණකරුවන් පොහොසත් නැතිකම වගේම වුවමනාවක් නැතිකම තමයි මම දකින්නේ. නිර්මාණයක් ආරම්භ වෙන්නේ තිර රචනයෙන්. නිර්මාණයක් විසින් ඉල්ලා සිටින කාලයක් තිබෙනවා. ඒ නිර්මාණයක් විසින් ඉල්ලනු ලබන කාලය දැන් කැපවෙන්නේ නැහැ. දැන් සමහර නාට්‍ය රූගත කිරීම් ආරම්භ කරන්නෙත් තිර රචනාවක් නොමැතිව. රූගත කරනා මොහොතේදී තමයි මොනවා හරි ලියන්න උත්සාහ කරන්නෙත්. එදිනට පැමිණ තිබෙන නළු නිළියන් ප්‍රමාණය අනුවයි කතාව ලියන්නේ. නළුවෙක් නිළියක් පැමිණියේ නැත්නම් ඒ කෙනා නොමැතිව තමයි ඉතුරු කොටස් ලියන්නේ. මෙවැනි වගකීමකින් තොරව තමයි කටයුතු කෙරෙන්නේ. එහෙම වුණාම අපිට හොඳ නිර්මාණයක් රසවිඳින්න බැහැ. දැන් හොඳම අධ්‍යක්ෂකවරු ලෙස පිළිගන්නේ හොඳ නිර්මාණයක් කරන අය නෙමෙයි. දිනකට වැඩිම දර්ශන ගණනක් සිදුකරන අධ්‍යක්ෂකවරයා තමයි හොඳම අධ්‍යක්ෂකවරයා වෙන්නේ. %පලිඟු මැණිකේ^, %ගිරය^, %කන්දේගෙදර^, %දූ දරුවෝ^ වැනි නාට්‍ය කරන කාලයේ දිනකට දර්ශන හතරක් හෝ පහක් සිදුකළේ. ඊට වඩා කළ නොහැකියි. රියසල් කරලා ආලෝකය ගැන අවධානය යොමුකර තමයි සිදුකරන්නේ. අද වන විට තරගය සහ ලැබෙන අඩු ගෙවීම් නිසා දිනකට දර්ශන විසිපහක් තිහක් කරන අවස්ථා තිබෙනවා කියලා දැන ගන්න ලැබුණා. දැන් මේක ගඩොල් බාස්ලා කරන වැඩක් බවට පත්වෙලා. හොඳම බාසුන්නැහේ දිනකට වැඩිම ගල් ප්‍රමාණය බඳින කෙනා කියල හිතන තත්ත්වයට පත්වෙලා.
මට එහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ. මට බලපෑම් තිබුණේ නැහැ. මම කැමති කාලයක් ලබාගෙන තමයි තිර රචනය සිදුකරන්න. මම පසුගිය කාලෙදි තිර රචනා ලියන්නේ නැතිව හිටියෙත් මේ තත්ත්වය නිසා තමයි. මට ඒ විදිහට කරන්න බෑ. මොකුත් වැඩ නොකර ඉන්න එක හොඳයි. නිර්මාණයක් ලෙස හොඳින් වැඩ කරන්න පුළුවන් අය හමුවුණාම තමයි මම තිර රචනා සිදුකරන්නේ.
මම හොඳින්ම තෘප්තිමත් ඒ ගැන. මම පොත් 35ක් පමණ ලියලා තිබෙනවා. එය විවිධ ඇගයීම්වලට ලක්වෙලා තියෙනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු ඇගයීම්වලට ලක්ව තිබෙනවා. පාඨක පිරිසේ අවධානයට යොමුව තිබෙනවා. විශ්වවිද්‍යාලවලටත් සමහර පොත් නිර්දේශ වෙලා තිබෙනවා. මම ලියූ ළමා පොත්වලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. %ගඟ අද්දර කැලේ^ වැනි ළමා පොත් ඉංග්‍රීසි භාෂාවට වගේම දෙමළ භාෂාවටත් පරිවර්තනය කරලා තිබෙනවා. විශාල අලෙවියක් වාර්තා වෙලා තිබෙනවා. ඒ පරිවර්තන පවා ජනප්‍රියයි. ඒ ගැන මම සතුටුයි. මම අවුරුදු එකහමාරකට පමණ එක පොතයි රචනා කරන්නේ. මම ඒ පොත රචනා කරන්න කාලයක් ගත කරනවා. කීපසැරේ ලියපු අවස්ථාත් තිබෙනවා. ඒ හැම පොතක්ම වගේ නැවත නැවත මුද්‍රණය වෙනවා. 'මවගේ ගීතය', 'යශෝරාවය', 'මැණික් නදී ගලා බසී' වැනි නවකතාවලට ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසා ඇත්තෙන්ම ඒ ගැන සතුටුයි.
මට ඒ ගැන හොඳින්ම කියන්න පුළුවන් වෙන්නේ ඒකාංගික නාට්‍ය පැත්තෙන්. ඒකාංගික නාට්‍ය අසූ දෙකක් පමණ රචනා කළා. ඒ මට කෙටිකතා රචනා කරන්න තිබූ හොඳ කතාවස්තු. ඒ නිසා කෙටිකතා ලිවීම අතපසු වුණා. නූතන කෙටිකතාවට ජාතක කතා ආදියෙන් ගන්න තිබූ කතා වස්තු තිබුණා. ඒ හැමදෙයක්ම ප්‍රයෝජනයට ගත්තා. කෙටිකතාවලට සමාන ඒකාංගික නාට්‍ය රැසක් රචනා කළා. පෝය ටෙලිනාට්‍ය මාලාව ආරම්භ කළා. %සංසාරේ පියසටහන්^, %සිත නිවන කතා^ වැනි නාට්‍යවලට ඒ දේවල් ලිව්වා. ජාතක කතා සියයක් පමණ ටෙලි නාට්‍ය ලෙස රචනා කළා. මේ කෙටිකතා ලෙස ලියන්න තිබූ කතා වස්තු. සාහිත්‍යය පැත්තෙන් එවැනි බලපෑමක් නම් සිදුවුණා. එය නැහැ කියන්න බැහැ.
මම ඒ පැවති දේශපාලනයේ කොතැනකවත් හිටියේ නැහැ. මං කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබලත් නෑ. අදත් කිසිම රැස්වීමකට යන්නෙවත් නැහැ. මම දේශපාලකයෝ ගණන් ගන්නෙ නැහැ. මම හැමවිටම හිතනවා ඔවුන් මට වඩා බොහොම පහළ මට්ටමක සිටින පිරිසක් කියලා. නමුත් මගේ කෘති තුළ පක්ෂ දේශපාලනය නැහැ. සමාජ ඝට්ටනය තිබෙනවා. නිදර්ශන කියනවා නම් 'ඉරහඳ පායන ලෝකේ' වැනි නවකතාවක ඉරෙන් හඳෙන් බැට කන සාමාන්‍ය මිනිසා ගැන තිබෙන්නේ. මම දේශපාලනය ගැන හැදෑරුවා. ලංකාව තුළ වරදවා තේරුම් ගත් දෙයක් තමයි ශෝෂලිටි රියලිසම් කියන දේ. සමාජවාදී යථාර්ථය. මෙය මැක්සිම් ගෝර්කි තමයි හඳුන්වා දෙන්නේ. 1965 දී මම මේ ගැන ශාස්ත්‍රීය ලිපියක් ලියලා තිබෙනවා, 'සමාජ සත්තා යථාර්ථවාදය' නමින්. මේ සාහිත්‍ය කලා සියල්ල සමාජය සඳහා, සමාජ යහපත සඳහා සමාජය කිසියම් ඉහළ තලයකට ඔසවා තබා ගැනීමටයි කියලා හිතුවා මිසක් පක්ෂයක් එක්ක ඒ ගැන හිතුවේ නැහැ. මම කළේ නිර්මාණ. ඒ ඇතුළේ තිබ්බ දේශපාලනය ප්‍රේක්ෂකයා කියෙව්වා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd