වසර පහකට පසු ඔහු ලංකාවට පැමිණ M3 studios නමින් ශබ්දාගාරයක්ද ආරම්භ කොට වැඩි දවසක් නොවේ. මවු රටට පැමිණි විගසම ඔහුගේ සංගීත දිවියේ නවක තතු විමසන්නට අපි ඔහු සොයා ගියෙමු. ඔහු අන් කවරෙකුත් නොව ප්‍රවීණ සංගීතවේදී ඔස්ටින් මුණසිංහයන්ගේ පුත් තරුපති මුණසිංහයි.
M3 studios
මගේ නවීනතම ශබ්දගාරයේ වැඩකටයුතු මෑතකදී නිමකළා. එහි නවතම ගීත නිර්මාණ කටයුතු කිහිපයක් මේ දිනවල සිදුකෙරෙමිනුයි පවතින්නේ. මෙහි පටිගත කිරීම් ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන්නේ සුනන්ද මෙත්තසිංහයි. පළමුවෙන්ම සරච්චන්ද්‍රයන්ගේ 'සිංහබාහු' නාට්‍යයේ සුප්පාදේවියගේ චරිතය රඟපෑ මාලනී රණසිංහයන්ගේ මෙහෙයවීමෙන් 'පේමතෝ ජායතී සෝකෝ', 'මනමේ', 'සිංහබාහු', 'වෙස්සන්තර' නාටකවල තෝරාගත් නාට්‍ය ගීත ඇතුළත් සංයුක්ත තැටියක වැඩකටයුතු මේදිනවල සිදුකරමිනුයි සිටින්නෙ.එහි ජයලත් මනෝරත්නයන්, ප්‍රදීපා ධර්මදාස,සනත් විමලසිරි ඇතුළු රංගන ශිල්පීන් රැසක් ගායනයෙන් දායක වෙනවා. එම සංයුක්ත තැටිය පෙබරවාරි 05 වැනිදා නාමෙල් මාලනී පුංචි තියටර්හිදී එළිදැක්වීමට නියමිතයි.Sound Designing විෂය පිළිබඳව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී මා ලද ශාස්ත්‍රපති පර්යේෂණ උපාධියෙන් සහ අනෙකුත් හැදෑරීම්වලින් මගේරටේ ජනතාවට සේවය කිරීමයි ඊළඟ අරමුණ.
Low බජට් ටෙලි නාට්‍ය කලාව
මේ මොහොතේ ලංකාවේ යන ටෙලිනාට්‍යවල තිබෙන ගුණාත්මක බවෙහි හීනකම සම්බන්ධයෙන් කලකිරීමක් තිබෙනවා. මීට අවුරුදු පහකට කලින් දුටු කලාත්මක භාවිතව නෙවෙයි ඒවායෙහි දකින්න තියෙන්නෙ. අද බිහිවෙන නාට්‍යවල බොහොම පහසු අඩු පිරිවැයක යන ව්යාපෘතිනෙ තියෙන්නෙ.මෙම වෘත්තීයෙන් මීට අවුරුදු පහකට කලින් මීට වඩා හොඳ ආදායමක් ලැබුවා. නමුත් අද ඊට වඩා පහළ ආදායමක් තමයි ලබන්නේ.රටක් විදියට කලාව දිහා බොහොම සුබවාදීව බැලුවට පේන්න තියෙන බරපතළම අර්බුද තමයි මේවා. එය හැම ක්ෂේත්රයකම දකින්න තියෙනවා. මම අවුරුදු පහකට පස්සෙ ලංකාවට ආවම නිර්මාණ ජීවිතය යළි කොහෙන්ද පටන් ගන්නේ, කාවද ඉලක්කකරගන්නේ, කවුද මගේ ඉලක්ක ජනතාව කියල හිතද්දිත් ගැටලු ගණනාවක් මතු වුණා. එමෙන්ම මම මේවනවිට මොරටුව විශ්ව විද්‍යාලයෙත්, කැලණි විශ්ව විද්‍යාලයෙත් Sound designing සම්බන්ධව ඉගැන්වීම් කටයුතු කරනවා. එමෙන්ම පූර්ණකාලීන Royal institute ජාත්‍යන්තර පාසලේ සම්බන්ධීකාරකවරයෙක් ලෙසයි කටයුතු කරන්නේ.
වත්මත් ගීත කලාවේ ස්ථානගත වීම
මම නිර්මාණකරුවෙක් සහ ප්‍රේක්ෂකයෙක් විදිහට වර්තමානයේ නිර්මාණය වෙන ගීත දිහා බැලුවොත් ඒවායෙහි ගුණාත්මක බවෙහි සහ රසවත් බවෙහි අඩුවක් දකිනවා. 70 දශකයේ අපි අහපු ගීතයක් අරගෙන බැලුවොත් එවැනි ගීත ඇයි අද බිහි වෙන්නැත්තෙ? ඇයි ඒවායේ රසය අපිට දැනෙන්නෙ නැත්තෙ කියන ප්රශ්නය මතුවෙනවා. නිර්මාණයක් හරහා කරන්නෙ ජීවිතයේ ගැඹුර සම්බන්ධව යම් ප්රකාශනයක් ඉදිරිපත් කිරීමයි. අද වෙන්නේ ගීතය සල්ලි හම්බකරන මෙවලමක් විදියට භාවිත කිරීමයි.මම පෞද්ගලිකව රිගින්ටෝන්වලට අකමැතියි. ඒකට හේතුව තමයි කාටහරි කෝල් එකක් දුන්නහම සින්දුවක් යනකොට දැනෙන අපහසුතාව.
2007 - 2013 වෙනකම් මම හිටියෙ මෙල්බර්න්වල.ඒ ඉඳපු කාලය තුළ විවිධාකාර අත්දැකීම් රැසක් අත්විඳින්න ලැබුණා. එහිදී අත්විඳි දියුණු නාද පරිසරයෙන් මෙහෙට ආවට පස්සෙ කෝල් එකකින් පවා අපහසු නාද රටා ඇහෙන්න පටන් ගන්නවා. ඒවායෙන් ඇහෙන සින්දුත් අඳෝනා. වචනත් බාල වචන. රිගින් ටෝන් එක්ක වත්මන් ගීත කලාව පත්වෙලා තිබෙන අර්බුදයත් මෙයයි. අද ගීත කලාවට බලපාපු මේ අර්බුදයට රසිකයනුත් වගකිව යුතුයි.
පැකේජ් ආරාධනා
අද කාලෙ සින්දුවක් කරලා කොහාටද දෙන්නෙ. භාරදෙන්න තියෙන්නෙFM නාලිකාවලටනේ. ඔවුනුත් දැන් පැකේජ් හදලයි තියෙන්නෙ. ඉස්සර එය පෙනුණෙ නෑ. දැන් එළිපිටම පේන්න තියෙනවා. දැන් ඔයා මෙච්චර ගාණක් ගෙවන්න. එතකොට මිනිස්සුන්ට අස්සවන්න පුළුවන්.
මම ලංකාවට ආපසු සහ එන්න කලින් අවස්ථා කිහිපයක දුරකථන ඇමතුම් දීලා ගීත නිර්මාණ රිගින් ටෝන්වලට ගන්න ඇහුවා. සමහර ආයතනවලින් එහෙම කතා කරලා අහද්දි මොකද්ද අපට තියෙන විශ්වසනීයත්වය, මේ ගීත කොහොමද ඔවුන් භාවිත කරන්නේ කියන එක සහ එහි කර්තෘභාගය (share) ගෙවන්නේ කොහොමද යන්න පිළිබඳව ක්‍රමවත්භාවයක් තිබිය යුතුයි. සමහර ගීත මම රිගින් ටෝන්වලට දෙන්නෙ නෑ. 'සසර වසන තුරු' වගේ ගීතයක් රිගින් ටෝන්වලට දුන්නාම එහි ගුණාත්මක භාවය අඩුවෙලා යනවනේ. සමහර ගීත රිගින් ටෝන්වලට ගැළපුණාට සමහර ගීත ගැළපෙන්නෙ නෑ. මෙය ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් (ප්‍රවණතාවක් ) වුණාට ලෝකේ දියුණු රටවල එහෙම දෙයක් නෑ. මෙය වෙනස් විදියේ බිස්නස් එකක්.
Copy right නීතිය
ලංකාවේ නිර්මාණකරුවන්ට නීතිමය සුරක්ෂිතභාවයක් නිර්මාණය විය යුතුයි. ලංකාවේ නිර්මාණකරැවෙකුට තමන්ගේ නිර්මාණ ආයතන හරහා ලබාදී, ඔවුන්ට ජීවන වෘත්තියේ රුඳී සිටිය හැකි ආකාරයට සකස් විය යුතුයි.
එවිට හොඳ නිර්මාණ කිරීමේ පරිසරයක් නිර්මාණය වේවි. සිය නිර්මාණ අන්ත ජරා විදියට මිනිස්සු අතරට යවන්නැතුව ඉතා හොඳ විදියට යවන්න කටයුතු කළ යුතුයි. Copy rightනීතිය ලංකාවේ නිසියාකාරව තවම ක්‍රියාත්මක නැහැ. පොත්වල තිබුණට හරියට ක්‍රියාත්මක නැහැ.මෙම තත්ත්වය හොඳ අතට පෙරළෙන්න නම් එම නීතිය පැමිණිය යුතුයි.
සින්දු ඇහෙනවද ? අහනවද?
එතැනින් එහාට තවත් කාරණා කිහිපයක් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට හුඟක් ගීත ඇහෙනවා මිසක් අහන්නෙ නෑ. අපිට වාඩි වෙලා සින්දුවක් අහන්න කාලයක් නෑ. සින්දු ඇහෙන නිසා රසිකත්වය වර්ධනය වෙන්නෙ නෑ. රසිකත්වය වර්ධනය වෙන්නට රසිකයාටත් යම් කාලයක් අවශ්‍යයි. නිර්මාණකරුවන්ට වගේම රසිකයන්ගේ පැත්තෙනුත් ඒ වගකීම තියෙනවා.
වර්තමානයේ තියෙන තත්ත්වය ගැන ආපසු හැරී බැලුවොත් නිර්මාණකරු නිර්මාණ කරන්නේ තමන් එය විඳලද යන්නත්, එය ජනප්‍රිය කරවන්න හිතාගෙන මොනවහරි විෂුවල් කරනවද කියන කාරණයත් අතිශයින්ම වැදගත්.ජනප්‍රිය කිරීමේ යාන්ත්‍රණයක් දියත් කිරීම සහ ජනප්‍රිය වෙන්න නම් මේ විදියට ලියන්න ඕනෑය යන ලාභ ක්‍රමවේද පාවිච්චි කිරීමත් අද දකින්න ලැබෙනවා.ඒ නිසා මේ නිර්මාණ කිරීමේදී අපිට පසු තවත් පරම්පරාවක් ඒ දිහා බලාගෙන ඉන්නවා යන කාරණය නිර්මාණකරුවන් වගේම රසිකයනුත් හොඳට හිතේ තබාගෙන නිර්මාණ කාර්යයට අතගැසිය යුතුයි.
ඡායාරූප ඉසුරු පෙරේරා