එළඹෙන පෙබරවරි මස පැවැත්වීමට නියමිත 87 වැනි 'ඔස්කා' සම්මාන උලෙළේ හොඳම දෘශ්‍ය කාව්‍ය ඇතුළු සම්මාන කිහිපයකටම නිර්දේශ වී ඇති චරිතාපදාන පිළිබඳ කතාවක් ඇතුළත් 'Selma (සෙල්මා)' චිත්‍රපටය පසුගිය දෙසැම්බර් 25 වැනිදා එළිදැක්විණ. එහි අධ්යක්ෂණ කටයුතු සිදුකළ සුවිශේෂී නිර්මාණ ශිල්පිනිය පිළිබඳ මේ දිනවල හොලිවුඩයේ බොහෝ කතාබහක් ඇති වී ඇත. ඒ ඇය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ චිත්‍රපට අධ්‍යක්ෂණය උදෙසා නිර්දේශ වූ ප්‍රථම කළුජාතික ඇමෙරිකානු කාන්තාව වීම හේතුවෙනි. එසේම මීට පෙර 2012 වර්ෂයේදීද ඇය 'Sundance' චිත්‍රපට උලෙළේ 'Middle of Nowhere' චිත්‍රපටය වෙනුවෙන් හොදම අධ්යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ එම සම්මානය ලැබූ ප්‍රථම අප්‍රිකානු - ඇමෙරිකානු කාන්තාව බවට පත්වෙමිනි.
කැලිෆෝනියාවේ 'ලෝන්ග් බීච්' ප්‍රදේශයේ උපත ලැබූ අවා ඩුවර්නේ කැලිෆෝනියාවේ ලයින්වුඩ් සහ කොම්ප්ටන් ප්‍රදේශයේ හැදී වැඩුණු අතර, 1990 වර්ෂයේදී 'සාන්ත ජෝසප්' උසස් පාසලෙන් උපාධිය ලබා ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1995 වර්ෂයේදී කලාවේදී උපාධිය ලැබීය.
අධ්‍යාපනය ලබන සමයේදී විකාශන මාධ්‍ය සහ නිෂ්පාදන කටයුතු පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ ඇය උපාධිය ලැබීමෙන් අනතුරුව කුඩා ශබ්දාගාරයක කනිෂ්ඨ ලේඛිකාවක ලෙස කටයුතු කළාය. ක්‍රම ක්‍රමයෙන් 'FOX, Savoy Pictures' වැනි සුප්‍රකට චිත්‍රපට සමාගම්වලද සේවය කළ ඇය 1999 වර්ෂයේදී 'DVA Media+Marketing' නමින් තමන්ගේම නියෝජිත ආයතනයක් ආරම්භ කළාය. එහිදී 'Steven Spielberg, Clint Eastwood, Michael Mann, Robert Rodriguez, Kevin Smith, Bill Condon, Raoul Peck, GurinderChadha' වැනි සුප්‍රකට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට නිර්මාණවල අලෙවිකරණ සහ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට ඇයට අවස්ථාව ලැබෙන්නේ චිත්‍රපට අධ්යක්ෂණ කටයුත්තට ලැබෙන පිටුවහලක් ලෙසිනි.
2008 වර්ෂයේදී වාර්තාකරණ චිත්‍රපටයක් වන 'This Is the Life' චිත්‍රපටය නිර්මාණය කරමින් තම අධ්යක්ෂණ දිවිය ඇරඹි ඩුවර්නේ තම ප්‍රථම ආඛ්‍යාන චිත්‍රපටය 2011 වර්ෂයේදී ' I Will Follow^ නමින් එළිදක්වූවාය. එම චිත්‍රපටයෙන් අනතුරුව Faith Through the Storm, Essence Music Festival '10, My Mic Sounds Nice, I Will Follow, Middle of Nowhere, The Door for Prada, Venus Vs., Say Yes for Fashion Fair, Scandal යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඇයගේ අධ්යක්ෂණ දිවියේ පෙරළියක් ඇති කළ චිත්‍රපටයක් ලෙස 'Selma' චිත්‍රපටය දැක්විය හැකිය. ඒ මෙම චිත්‍රපටය හේතුවෙන් ඇය මහත් ජනප්‍රියත්වයට පත් චරිතයක් බවට පත්වූවා මෙන්ම චිත්‍රපට උලෙළ කිහිපයකම සම්මාන උදෙසා නිර්දේශ වීමත්, මේ වනවිටත් සම්මාන කිහිපයක් හිමි කරගැනීමට සමත් වී තිබීමත් හේතුවෙනි.
මේ වනවිටත් චිත්‍රපට අධ්යක්ෂණ ක්ෂේත්රයේ මනා නිපුණත්වයක් පෙන්නුම් කර ඇති ඩුවර්නේ ඉදිරියේදී මහත් ආන්දෝලනාත්මක ව්‍යසනයක් ඇතිකළ 'කැත්රිනා' කුණාටුව පාදක කරගනිමින් නිර්මාණය වීමට නියමිත චිත්‍රපටයක තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කටයුත්ත සිදුකිරීමට නියමිත බව මාධ්‍ය විසින් අනාවරණය කරනු ලැබීමද සුවිශේෂත්වයකි. මාධ්‍ය අනාවරණය කරන පරිදි මෙම චිත්‍රපටය කැත්රිනා සුළිකුණාටු සමයත් සමග අතුගෑවී යන සංකීර්ණ අභිරහස් ඝාතනයක් සහ ආදර කතාවක් පාදක කරගනිමින් නිර්මාණය වීමට නියමිත වෙනස් කතා තේමාවක් රැගත් සාමාජීය මෙන්ම පාරිසරික චිත්‍රපටයකි. ඒ හේතුවෙන්ම මෙයද ඩුවර්නේගේ අධ්යක්ෂණ දිවියේ තවත් සුවිශේෂී අත්දැකීමක් මෙන්ම ප්‍රතිචාර රැගත්, ප්‍රේක්ෂකයන්ටද නවමු චිත්‍රපට අත්දැකීමක් එකතු කරන්නා වූ නිර්මාණයක් වනු නොඅනුමානය.
අනූෂි දන්තනාරායන