කලකට පසුව යළිත් රංගනය තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන ඔහුගේ රංගනය මේ දිනවල අපට දකින්නට ලැබෙන්නේ සම්මානනීය චිත්‍රපටයක් වන '28' සිනමාපටයේ මනීගේ චරිතය තුළිනි. ඔහු රුක්මාල් නිරෝෂ්ය. මේ කතාබහ ඔහු සමගිනි.
Q කාලයකට පසුව තමයි සිනමා නිර්මාණයක් හරහා ඔබේ රංගනය අපිට දකින්න ලැබෙන්නේ?
ඔව්. මම රංගනයෙන් දායක වුණ නිර්මාණයක් දකින්න ලැබෙන්නේ වසර එකොළහකට පසුවයි. එය විශේෂිත අවස්ථාවකුත් නෙවෙයි. පෙනී ඉන්න චරිතයක් කරලා මිනිසුන් අතරට එන්න මම ආසත් නෑ. '28' චිත්‍රපටයේ මනී කියන චරිතය මම හිතන විදිහේ චරිතයක්. එවැනි චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න මට අවස්ථාවක් ලැබුණා. මම හිතනවා ප්‍රේක්ෂකයන් එයට කැමති වෙයි කියලා.
Q ඒ කියන්නේ රුක්මාල්ට දෙයක් කරන්න පුළුවන් චරිතයක් නොලැබුණොත් නිහඬව බලන් ඉන්නවා?
මම 2007 විදේශගත වෙනවා. 2014දී තමයි මම ලංකාවට පැමිණෙන්නේ. පසුව මට ලැබුණ අවස්ථාව තමයි '28' සිනමාපටයට දායක වෙන්න ලැබුණ අවස්ථාව. ඒ චරිතය මගේ අත්දෙකින්ම මම බදාගත්තා. එහෙම නැතුව ඔහේ පෙනී සිටින චරිතවලට දායක වෙන්න මම ආස නැහැ. ඒ චරිතය විකාශනය වන ප්‍රමාණය මට වැදගත් නැහැ.
ඒ චරිතය තුළ මට කළ හැක්කේ කුමක්ද කියන දේ තමයි මම බලන්නේ. ඒ නිසා '28' කියන්නේ මට මාව හොයාගන්න පුළුවන් අවස්ථාවක්. එවැනි චරිතවලින් පමණයි මම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ.
Q ඔය කියන විදිහේ චරිත ටෙලි නාට්‍ය කලාව තුළින් හොයාගන්න පුළුවන් වෙයිද?
ටෙලි නාට්‍ය ගැන නම් හිතන්නවත් බැරි තත්ත්වයක් ඇතිව තිබෙනවා. ටෙලි නාට්‍ය වලට සම්බන්ධවෙලා වැඩ කරන්නත් අපහසුයි. මේ පවතින තත්ත්වයත් එක්ක ටෙලි නාට්‍ය කියල දෙයක් තියෙනවද කියන ගැටලුවත් අපිට මතුවෙනවා.
මම ලංකාවට ආවට පසුව මට ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. නමුත් අපි විශ්වාස කරන ටෙලි නාට්‍ය නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මට එයට සම්බන්ධවෙන්න අමාරුයි. හොඳ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණොත් මම එය බාරගන්නවා.එසේ නොවුණොත් ටෙලි නාට්‍ය තුළින් මගේ රංගනය දකින්න ලැබෙන්නේ නැහැ.
Q '28' කියන්නේ ඔබට ඔබව හොයාගන්න පුළුවන් චිත්‍රපටයක් වුණත් එය තිරගත වෙන්නේ කාලයක් ගත වූ පසුව?
ඒක නම් අවාසනාවන්ත තත්ත්වයක්. මේ චිත්‍රපටය සිදුකර වසර හතරහමාරක් වෙනවා. අපේ සිනමාහල් තවම ඩිජිටල්කරණයට ලක්වී නැහැ. ඒ නිසා මෙය තිරගත කිරීම පිළිබද ගැටලුවක් තිබෙනවා. ඒ නිසා තමයි මෙය තිරගත වීම ප්‍රමාද වෙන්නේ. සිනමාහල් ඩිජිටල්කරණය වනතුරු අපිට ඉන්න සිද්ධවෙනවා. ඒක තමයි ගැටලුව.
Q එසේ සිටියත් චිත්‍රපටය තිරගත වෙන්නෙත් සිනමාහල් ඩිජිටල්කරණය නොවුණ වටපිටාවක් තුළ? සිනමාහල් ඩිජිටල්කරණය වීම ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
අපේ රටේ සිනමා ශාලා ඩිජිටල්කරණය නොවුණොත් අපිට ඒ තුළ අනාගතයක් නැහැ. 35 මිලිමීටර් ප්‍රින්ට් කරන්නේ ඉන්දියාවේ එක් නිෂ්පාදන ආයතනයක් පමණයි. ඒ නිෂ්පාදන ආයතනයත් වසා දැමුවොත් අපට මෙය පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම ලංකාවේ තිබෙන සිනමාශාලා ඩිජිටල්කරණය විය යුතුමයි.
අපි කොහොම වුණත් අලුත් තාක්ෂණයට අනුගත වෙන්න කාලයක් ගන්න ජාතියක්. ඒ වුණත් මම හිතන්නේ මේ ගත්ත කාලය හොඳටම වැඩියි. එහෙම නොවුණොත් සිනමා ශාලා එක්ක සියුම් කලා නිර්මාණ පහළට යනවා මිසක් ඉහළට එසවීමක් නැහැ. ඒ ගැන අදාළ පාර්ශ්ව වල අවධානය යොමු කළ යුතුමයි.
Q '28' චිත්‍රපටය ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන් කියවූ ආකාරය ගැන ඔබේ අදහස මොකක්ද?
මේ චිත්‍රපටය නැරඹූ සියයට අනූපහක පමණ හොඳ කියවීමක් තියෙනවා. ඒක සියට සියයක් කරන්න බැහැ. ඒකට හේතුව අපි හිතන විදිහ සාපේක්ෂයි. ඒ තුළ කැමති ගොඩක් අය ඉන්නවා. ඒක සාධනීය ලක්ෂණයක්. අපි උත්සාහ කරනවා ප්‍රේක්ෂක ජනතාව ඒ තුළට ගෙන ඒමට. මේ චිත්‍රපටය තුළ අපි සාකච්ඡා කරන්නේ ලිංගිකත්වය විකෘතියක්, කුණුහරුපයක් වුණ තැනකට එය එහෙම නෙමෙයි කියන කාරණය. අපි හිතනවා ඒ උත්සාහය සාර්ථක වෙයි කියලා.
අපිට මේ ගැන හිතන්න වෙනවා. '28' සිනමා නිර්මාණය බලලා කතා කරන්න සංවාදයක් හදන්න. මේක හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. වැඩිහිටියන්ට කියල නෑ. අපි හැමදාම කරන දේ ලිංගිකත්වය කියන්නේ වැඩිහිටියන්ට පමණයි කියලා කොටු ගහ ගන්නවා.එතැනින් එහාට යන්නෑ. එක තැන ඉන්නේ. මේ චිත්‍රපටය තුළ පවුලේ අයට එකට සිට නැරඹිය නොහැකි කිසිදු රූපරාමුවක් නැහැ. මේ '28' නරඹන්න. විවෘතව අදහස් දක්වන්න.
Q සාර්ථක කියවීමක් ලැබෙන්න නම් සාර්ථක විචාර කලාවකුත් ගොඩනැගිය යුතුයි නේද?
විචාර කලාව දියුණු විය යුතුමයි. ලංකාවේ විචාර කලාව කියලා සිද්ධ වෙන්නේ කතාව විශ්ලේෂණය කිරීමක්. මෙහි සිනමා භාෂාව, කැමරා එඩිටින්, ඇක්ටින් කියන කාරණා කතා කළ හැකි දියුණු විචාර කලාවක් ලංකාව තුළ බිහිවී නැහැ.
මෙහි තාම විශ්ලේෂණය කරන්නේ කතාව. එහෙම නැතුව පෙර කී ලෙස විචාර කලාවක් තිබෙනවා නම් මේ සිනමාව එක්තරා මට්ටමකට ඔසවා තබන්න පුළුවන්.
Q 2004දී ඔබ ඔස්ට්‍රේලියාවට යන්නේ මේ විෂය ගැන තවදුරටත් හදාරන්නද?
ඔව්. මම විදේශගත වන විට ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් උපාධිය ලංකාවේ තිබුණෙ නැහැ. ඒ නිසා විදේශගතව එහෙම දෙයක් හදාරන්න මම හිතුවා. මම එය සිදුකළා. ඒ උපාධිය ලබාගැනීමෙන් අනතුරුව කථිකාචාර්යවරයෙක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ වැඩ කරනවා.
Q එහෙම උපාධියක් ලබාගෙන ඇවිත් දෙයක් කළ හානි සහ එයට වටිනාකමක් ලබාගත හැකි වටපිටාවක් අද වන විට පවතිනවාද?
මේ රට ඇතුළේ වැඩක් කරන්න බැහැ. අපි හිතන විදිහේ ටෙලිනාට්‍යයක් කරන්නත් බැහැ. ඒ නිසා නිර්මාණ සිදුකරන්න ලැබෙන්නේ නැහැ. නමුත් මම ඉගෙනගෙන ආ දෙයින් කුමක් හෝ කරන්න උත්සාහ කරනවා. ඒ හැරෙන්න ඉගෙන ගත්ත දේවල් එක්ක ලොකු බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඊළඟ පරම්පරාව සූදානම් කරන්න අපට හැකියාව තියෙනවා. ඒක කරන්න උත්සාහ කරමින් ඉන්නවා.
ඉදිරියේදිත් මේ තුළ මැජික් කරනවා කියන ලොකු බලාපොරොත්තු නැහැ. සිනමා නිර්මාණ කරන්න ඕන කියන එක තමයි තියෙන්නේ. මම සහ සරත් කොතලාවල තිරපිටපතක් රචනා කරමින් ඉන්නවා.
ඒක කිරීම තමයි ඊළඟ බලාපොරොත්තුව. අපේ සිනමාවට දායකත්වයක් ඕන කියල හිතනවා. නමුත් අපෙන් දායකත්වයක් ගන්නෙ නැහැ. කවුරු දායකත්වය ගත්තත් නැතත් මම විශ්වාස කරනවා මේ රටේ කලාවට හා ඉදිරි පරම්පරාවට මැදිහත් වීමක් කළ යුතුයි කියලා. එහෙම කරන්න තමයි බලාපොරොත්තුව.
ජායාරූප සඳුන් ගමගේ