උතුරු - නැගෙනහිර පළාත්වල 'ස්මාට් සමාජ කව' ස්ථාපිත කිරීම ආරම්භ කරමින්, එම දෙපළාතේ' ස්මාට් සමාජ කව' 114ක් ස්ථාපිත කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
ඒ අනුව, උතුරු පළාතේ යාපනය, වව්නියාව, කිලිනොච්චිය, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ස්මාට් සමාජ කව 53ක්ද, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ස්මාට් සමාජ කව 61ක්ද ස්ථාපිත කිරීමට නියමිතය.
විශේෂයෙන්ම, ග්‍රාමීය ප්‍රජාව තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගන්වා, ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම ස්මාට් සමාජ කවයන් හි ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම වසර අවසාන වනවිට දිවයින පුරා ස්මාට් සමාජ කව 860ක් ස්ථාපිත කිරීමට නියමිත අතර, මේ වනවිට ග්‍රාමසේවා කොට්ඨාශ මට්ටමින් සමාජ කව 650ක් ස්ථාපිත කර අවසන් බවත්, 650 වැනි සමාජ කවය දැරණියගල බල්ලැහැර ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කළ බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ව්‍යාපෘති කළමනාකරු මනෝජ් හේමරත්න මහතා පවසයි.
සෑම ස්මාට් සමාජ කවයක් සඳහාම ෆේස්බුක් පිටුව බැගින් මේ වනවිටත් සකසා ඇති අතර, ඒ ඔස්සේ ග්‍රාමීය ප්‍රජාව බාහිර ලෝකය සමග සම්බන්ධ කිරීම, ගමේ නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළක් සකස් කර ගැනීම, ග්‍රාමීය ජනතාවගේ සමාජීය ගැටලු සඳහා විසඳුම් සොයාගැනීම ආදී දෑ පිළිබඳව තොරතුරු සන්නිවේදනය කර ගැනීමට හැකි වන බවද නියෝජිතායතනය පෙන්වා දෙයි.
ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගමන් කිරීමේදී ග්‍රාමීය ප්‍රජාව එහි ප්‍රධාන පංගුකරුවන් බවද, එසේ සැලකීමේදී උතුරු නැගෙනහිර ප්‍රජාව මේ අන්දමින් සවිබල ගැන්වීම ඉතා වැදගත් කර්තව්‍යයක් බවද නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකරු සමීර ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.