ලැයිස්තුගත සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලය සමාජිකයන්ගෙන් 8.5%ක් පමණ කාන්තාවන් බවත්, එය පෙර වර්ෂයට සාපේක්ෂව 8.14%ක සුළු වර්ධනයක් බවත්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
2019 වර්ෂයෙහිදී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණ පෙරදැරිව ලෝක බැංකු සමූහයේ සමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය ආයතනය හා කොළඹ කොටස් හුවමාරුව එක්ව අඛණ්ඩව සතර වැනි වසරටත් සීනුව නාද කොට ගනුදෙනු ආරම්භ කිරීම කොළඹ කොටස් හුවමාරුව තුළ ඊයේ (07දා) සිදුකළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ කොටස් හුවමාරුවේ සභාපති රේ අබේවර්ධන මහතා, "කාන්තාවන්, ප්රමුඛ සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරී තනතුරු දැරීමෙහිලා ක්‍රමවත් වර්ධනයක් දක්නට ලැබෙනවා. ව්‍යාපාරික, දේශපාලනික, විධායක ඉහළ තනතුරුවල සහ අධ්යක්ෂ මණ්ඩලවල කාන්තා සහභාගීත්වය දිරිමත් කළ යුතු වෙනවා" යැයි පවසා සිටියේය.
රැකියා ස්ථානවල කාන්තාවන් සවිබල කරගැනීම තුළින් මූල්‍යමය ප්රතිලාභ අත්පත් කරගැනීමට හැකිවන බව IFC විසින් මෑතකදී ප්‍රමුඛතම සමාගම් 30ක් සමාලෝචනය කරමින් සිදුකරන ලද සමීක්ෂණ අනුව තහවුරු වන බව කියයි. ගෝලීය සමීක්ෂණ අනුව අවම වශයෙන් එක් අධ්යක්ෂවරියක් හෝ සිටින සමාගම් බොහෝදුරට කොටස්වල සහ ප්රාග්ධනය මත අත්පත් කරගත් ප්රතිලාභ වඩාත් සාධනීය බවත්, කාන්තාවන් නැති සමාගම්වලට වඩා අධ්යක්ෂ මණ්ඩලයෙහි කාන්තා අධ්යක්ෂවරුන් එක් අයෙකුට වඩා වැඩි පිරිසක් සිටින සමාගම්වල 3.7%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවත් ඔවුහු පවසති.
මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ කළමනාකාරිණී අමෙනා අරිෆ් මහත්මිය, "ව්‍යාපාරික නායකයන්, ව්‍යවසායකයන්, සේවකයන් සහ පාරිභෝගිකයන් ලෙස විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන්ගේ සහභාගීත්වය සමාගම් වර්ධනයට ප්‍රධාන තැනක් ගන්නවා. ශ්‍රී ලංකාවේ අධ්යක්ෂ මණ්ඩලවල සිටින කාන්තාවන් පිළිබඳව සිදුකරන ලද සමීක්ෂණ අනුව, ජ්‍යෙෂ්ඨ තනතුරු විවිධත්වයක් ඇතිකරලීමට බෙහෙවින් ඉවහල් වන අතර, ස්ත්‍රී පුරුෂ සමානත්වයකින් යුතු අධ්යක්ෂ මණ්ඩලයක් තුළින් ආර්ථික ප්රතිලාභ අත්පත් කරගැනීම පිළිබඳව සංවාදයක් ඇතිකරලීමට හැකිවෙනවා" යැයි පවසා සිටියාය.
මෙවර සීනුව නාද කිරීමේ උත්සවයේදී 'The Case for Gender Diversity Among Sri Lanka’s Business Leadership' යන වාර්තාව සහ 'Women on Boards' නාමාවලියෙහි දෙවැනි සංස්කරණ පිටපත එළිදැක්වීමද සිදුවිය.