සාර්ථකව නිම කරන ලද සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම හා ඉන් ලබාගත් අත්දැකීම් දැනට සාකච්ඡා වෙමින් පවතින ඉන්දියා, චීන හා තායිලන්ත වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් යොදා ගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනාවන්හි ගෝලීය වෙළෙඳ පොළ සඳහා වූ ප්‍රවේශය ගැන කතා කරමින් මෙම කරුණ ඉස්මතු කළේය.
එමෙන්ම, කලාපීය වටිනාකම් දාමය හා වෙළෙඳ ගිවිසුම් ජාලය සම්බන්ධ කිරීමේ ක්රමෝපායකට රජය අනුගත වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව, ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට ඉන්දීය හා චීන වෙළෙඳ පොළට පිවිසීම සඳහා ක්රමෝපායන් සකස් කරන බවත්, වෙළෙඳ පොළ දැනටමත් ජයගත් ව්‍යවසායකයන්ගේ අත්දැකීම් මේ සඳහා යොදාගනු ලබන බවත් පැවසීය. එහිදී, ට්‍රේඩ් හවුස් නිර්මාණය කිරීමේ වැඩසටහනක් මගින් මේ කාර්යය තවදුරටත් දිරිමත් කරන බවත්, ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහයෝගය ලබාගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම ට්‍රේඩ් හවුස් වැඩසටහන මගින් ශ්‍රී ලාංකේය සමාගම්වල, බෙදාහැරීම් ජාලවලට මිලදී ගන්නන්ගේ ජාලවලට සහ වෙළෙඳ පොළ අනෙකුත් පහසුකම්වලට පිවිසීමට ඉඩ ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.