ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 ලියාපදිංචිය ඇරඹේ
2026 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව (SLEIS 2026) සඳහා ලියාපදිංචි වීම දැන් විවෘතව පවතින බව ලංකා වාණිජ මණ්ඩලය දැනුම් දෙන අතර, මෙම සමුළුව එලැඹෙන ඔක්තෝබර් 12 සහ 13 යන දෙදින තුළ කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්වේ.
"වෙනස් වන ගෝලීය ආර්ථිකය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථානගතවීම : ප්‍රත්‍යස්ථතාව, ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිපත්තියේ අනාගතය" යන්න මෙවර සමුළුවේ තේමාවයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණයෙන් ඔබ්බට ගොස්, පෞද්ගලික අංශය මූලික කරගත් තිරසාර වර්ධනයක් සහ ප්‍රාදේශීය හා ගෝලීය වෙළෙඳපොළවල් සමඟ වැඩි සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන තීරණාත්මක කාලපරිච්ඡේදයක මෙම සමුළුව පැවැත්වීම විශේෂත්වයකි.
දිවයිනේ ප්‍රමුඛතම ආර්ථික සංවාද මණ්ඩපයක් ලෙස පිළිගැනෙන මෙම දෙදින සමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ව්‍යාපාරික නායකයන්, ආයෝජකයන්, සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර විද්වතුන් රැසක් එක්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ආර්ථික ඉදිරි දැක්ම, ප්‍රතිසංස්කරණ න්යායපත්රය සහ ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇත. මෙම උපායමාර්ගික සංවාද හරහා ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය ශක්තිමත් කරන්නේ කෙසේද, ආයෝජන ආකර්ෂණය කර ගන්නේ කෙසේද, අපනයන පුළුල් කරන්නේ කෙසේද සහ ආසියාවේ නැගී එන වර්ධන ජාලයන් තුළ රට නිසි ලෙස ස්ථානගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව කරුණු විමර්ශනය කෙරේ.
SLEIS 2026 සමුළුව ප්‍රධාන දේශන, ඉහළ මට්ටමේ විද්වත් සාකච්ඡා, ක්ෂේත්‍ර මූලික කරගත් සංවාද, ආයෝජක සම්බන්ධතා අවස්ථා සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර ගොඩනැගෙන ව්‍යාපාරික සබඳතා රැසකින් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ ඊළඟ ආර්ථික වර්ධන අදියර වේගවත් කළ හැකි ප්‍රතිපත්ති, හවුල්කාරිත්වයන් සහ ආයෝජන අවස්ථා පිළිබඳව මෙම වැඩසටහන යටතේ විමසා බැලෙන අතර, න්යායපත්රය, දේශකයින් සහ සදර්ශන පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි සතිවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
දේශීය හා ජාත්‍යන්තර නියෝජිතයින් විශාල සංඛ්‍යාවක් සහභාගී වන බැවින් සහ සමුළුවේ ආසන ධාරිතාව වේගයෙන් පිරී යන බැවින්, හැකි ඉක්මනින් ලියාපදිංචි වන ලෙස ලංකා වාණිජ මණ්ඩලය ඉල්ලා සිටියි.
ලියාපදිංචිය හා වැඩිදුර තොරතුරු සඳහා අලිකී ([email protected]) හෝ ශෝනුක ([email protected]) සම්බන්ධ කර ගත හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
