ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා කොළඹ කොටස් වෙළෙඳ පොළ යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන එකමුතුව සංවිධානය කරන ලද, 2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදය, ජුනි මස 07දා සිට 09දා දක්වා තෙදිනක් පුරාවට ක්‍රියාත්මක වෙමින් අති සාර්ථක ලෙස අවසන් විය.
කොවිඩ්-19 වසංගතයේ අභියෝග ජයගනිමින් අන්තර්ජාලය හරහා අතථ්‍ය ක්‍රමයට මෙහෙයවුණු මෙම ආයෝජන සමුළුවට රටවල් 85ක් නියෝජනය කළ විදේශිකයන් 2,200ක් සහ තවත් සහභාගීකරුවන් 2,500ක් පමණ සහභාගී වූහ.
විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය හා ආයෝජන අවස්ථා පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා දේශීය හා විදේශීය ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයන්, ප්රමුඛ ව්‍යාපාරිකයන් හා විද්වතුන් 108කින් වර්ණවත් වූ සැසිවාර 118කින් මෙම සමුළුව සමන්විත විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවේ සමාරම්භක සැසිවාරයේදී, ශ්‍රී ලංකාව 2020-2030 දශකය තුළ ආර්ථික පරිණාමීය ගමන් පථයකට අවතීරණය වී ඇති බවත්, දේශීය හා විදේශීය ආයෝජකයන් එහි ප්‍රධාන පෙරගමන්කරුවන් බවත් සඳහන් කරන ලදී. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම මෙම දශකය තුළ ඇ.ඩො.8,000ක මට්ටමක් දක්වා ඉහළ නංවා ගැනීමේ අභිප්රායන් තුළ, ආයෝජනවලට සුවිශේෂී කාර්යභාරයක් පවතින බවත් සඳහන් කරන ලදී.
ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික භූගෝලීය පිහිටීම, දේශපාලන-ප්‍රතිපත්තිමය-ආයතනික ස්ථායීතාව මෙන්ම, බුද්ධමය ශ්‍රම බලකායකින් සමන්විත වීම, ජීවත්වීමට යෝග්‍ය පරිසරයක් තිබීම වැනි කරුණු ගණනාවක් මේ සඳහා දායකත්වය ලබාදෙනු ඇති බවත් සඳහන් කරන ලදී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවේ දෙවැනි දින ආරම්භක සැසිවාරයේදී අයෝජන දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පුළුල් යටිතල පහසුකම් වර්ධන මාවතකට පිවිස ඇති බවත්, ව්‍යාපාරික පරිසරය වඩාත් පහසු කිරීමට අවශ්‍ය නියාමන පරිසරයක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කරන ලදී.
මෙම ව්‍යාපාරවලට හිතකර වාතාවරණය තුළ සිදුකරන ආයෝජනවල කොටස්කරුවන් වීටමත්, එහි සාර්ථක ඵල නෙලා ගැනීමටත් දෙස් විදෙස් අයෝජකයන්ට මෙහිදී විවෘත ආරාධනාවක් සිදුකරන ලදී.
මීට අමතරව ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් මුළුල්ලේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කර අත්දැකීම් ඇති වදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය පිළිබඳ සිය අත්දැකීම් අන්තර්ජාතික ප්‍රජාව සමග බෙදාගත් අතර, විවිධ ආර්ථික ක්ෂේත්‍ර තුළ ඇති ආයෝජන අවස්ථා හා සහන පිළිබඳවද මෙහිදී කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ නව ආයෝජන අවස්ථාවන්, ආයෝජන මණ්ඩලය හරහා ලබාදෙන සහන හා අයෝජන අවස්ථා, වරාය නගර ව්‍යාපෘතිය වැනි ආයෝජන අවස්ථාද මේ අතර විය.
මෙම සමුළුව අන්තර්ජාලය හරහා Microsoft Teams ඔස්සේ මෙන්ම, YouTube ඔස්සේද ලොව ඕනෑඹ තැනක සිට සජීවීව නැරඹීමට අවස්ථාව ලබාදීමද විශේෂ කරුණක් විය.
ප්‍රධාන සමුළුවට අමතරව, චීනය, ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල ආයෝජකයන් මුල් කොටගත් විශේෂ සැසිවාර කිහිපයක්ද මෙහිදී සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකා ආයෝජන සමුළුව, ශ්‍රී ලංකාව අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ගමන් මගේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වනු ඇති බවට මෙය සංවිධානය කළ ආයතන ත්‍රිත්වයේ අපේක්ෂාව වී තිබේ.