2013 වසරේදී ශ්‍රී ලංකාවේ මිලියන 5.2ක වාහන භාවිතයක් පැවතියත්, එය 2017 දී මිලියන 7.2ක් දක්වා 38% කින් ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ගෝලීය ඉලක්ක ජය ගැනීම සඳහා මෙරට හරිත මෝටර් රථ යුගයක් ආරම්භ කිරීමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. හෙතෙම මේ බව පැවසුවේ පසුගියදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති කොළඹ යතුරුපැදි ප්‍රදර්ශනය 2018 විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ගෙවී ගිය වසර කිහිපය තුළ යතුරුපැදි, සැහැල්ලු මෝටර් රථ ඇතුළු මෝටර් වාහන විශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබෙනවා. මේ නිසා මාර්ග පද්ධතිය වඩා පුළුල් කිරීමට, නව මාර්ග තැනීමට රජයට සිදුව තිබෙනවා. ඒ මෝටර් රථවලින් පරිසර දූෂණය වළක්වා ගැනීම සඳහාත්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ගෝලීය ඉලක්ක ජය ගැනීම සඳහාත්, මෙරට හරිත මෝටර් රථ යුගයක් ආරම්භ කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.
මෙරට යතුරුපැදි හා ඉලෙක්ට්‍රොනික් යතුරුපැදි බෙදාහරින්නන් හා ව්‍යාපාරිකයන්, ආනයනය කරන්නන් මෙන්ම අමතර කොටස් බෙදාහරින්නන් ඇතුළු විශාල පිරිසක් මේ ප්‍රදර්ශනයට සහභාගී වී සිටීම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ වගේම, නවීන යතුරුපැදි වර්ග, විශේෂයෙන්ම පරිසර හිතකාමී විද්‍යුත් යතුරුපැදි වර්ග මෙහි ප්‍රදර්ශනයට තබා තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙරට යතුරුපැදි භාවිත කරන්නන් ගෙවී ගිය වසර කිහිපය තුළ කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. 2013 වසරේදී ශ්‍රී ලංකාවේ මිලියන 5.2ක් වාහන භාවිතයක් පවතිනවා. එය 2017 දී මිලියන 7.2ක් දක්වා 38% කින් ශීඝ්‍ර ලෙස වර්ධනය වුණා. මෙහි විශේෂත්වය වන්නේ මේ වාහන ප්‍රමාණයෙන් වැඩිම කොටස යතුරුපැදි වීමයි. පසුගිය වසරේ භාවිත වූ සමස්ත වාහන ප්‍රමාණයෙන් 56%ක්ම යතුරුපැදි බවද සඳහන් කළ යුතුයි. ඒ නිසා යතුරුපැදි ව්‍යාපාරයට සුවිශේෂී වගකීමක් පැවරී තිබෙනවා. පරිසර හිතකාමී හරිත යතුරුපැදි ක්ෂේත්රයක් මෙරටට හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. රජයක් වශයෙන් අප මූලිකවම අවධානය යොමු කරන්නේ පරිසර හිතකාමී හරිත මෝටර් වාහන ක්ෂේත්රයක් අප රට තුළ ව්‍යාප්ත කරලීමටයි. ඒ සඳහා විද්‍යුත් යතුරුපැදි හා විද්‍යුත් මෝටර් රථ හඳුන්වාදීමට ඔබගේ සහයෝගය අපේක්ෂා කරනවා.
එක්සත් ජාතීන්ගේ තිරසාර ගෝලීය ඉලක්ක 9 සාක්ෂාත් කර ගැනීම සඳහා අප මෙම මෝටර් රථ හා යතුරුපැදි ක්ෂේත්රය යොමු කළ යුතුයි. අප මේ වනවිට එකී ගෝලීය ඉළක්ක කේන්ද්‍ර කරගත් පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා පියවර ගනිමින් සිටිනවා. ඒ යටතේ අප තිරසාර කර්මාන්ත සංවර්ධනය මෙන්ම කාර්මිකරණය ඉවතලෑම කළමනාකරණය කරමින් හරිත කර්මාන්ත දිරිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එම නිසා යතුරුපැදි කර්මාන්තයේ හා ව්‍යාපාරයේ නිරත ඔබත් තිරසාර ගෝලීය ඉලක්ක කේන්ද්‍ර කරගත් පරිසර හිතකාමී මාර්ගෝපදේශන අනුව ඔබගේ ව්‍යාපාර හැඩ ගස්සවා ගත යුතුයි. ඒ සඳහා වන යටිතල පහසුකම් මෙන්ම වෙළෙඳ පොළ සකස් කර දීමට අපගේ රජය පියවර ගන්නවා. ඒ වගේම, පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රිරෝද රථ හා යතුරුපැදි නිෂ්පාදන රැසක් චීනය මේ ප්‍රදර්ශනයේදී හඳුන්වා දී තිබෙනවා. එය ඉතා වැදගත් බවද සඳහන් කළ යුතුයි." යනුවෙන් පවසා සිටියේය.