ජුනි 08 වන දිනට යෙදුනු, ලෝක ව්‍යාජානුකරණයට එරෙහි වීමේ දිනයට (The World Anti-Counterfeiting Day) සමගාමීව, ව්‍යාජානුකරණය කරන ලද සහ ප්‍රකාශන මංකොල්ලකෑම් සිදුකරන ලද නිෂ්පාදන මගින් අපේ ජීවිතවලට සහ ආර්ථිකයට සිදුකරනු ලබන බරපතළ බලපෑම ගැන අප විසින් අවබෝධ කර ගත යුතුව ඇත.
ලෝක ව්‍යාජානුකරණයට එරෙහිවීමේ දිනය,ගෝලීය ව්‍යාජානුකරණයට එරෙහි වන්නන්ගේ සමූහය (Global Anti-Counterfeiting Group - GACG) විසින් ව්‍යාජානුකරණය සහ ප්‍රකාශන මංකොල්ලකෑමේ ව්‍යාපාරය මගින් ඇති කරනු ලබන අවදානම් සහ හානි ආමන්ත්‍රණය කිරීම පිණිස ඇති කරන ලද්දකි. මින් පෙර නොවූ විරූ ආකාරයට සිදුවන ලබන අලාභ ප්‍රමාණයන් වැඩිවෙමින් යන බැවින් ගෝලීය ව්‍යාපාර සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම්වලට අදාළව පවත්වනු ලබන හමුවීම්වලදී, GACG විසින් ඇති කරන ලද ව්‍යාජානුකරණයට එරෙහි වීමේ දිනයේ වැදගත්කම සම්බන්ධයෙන් වන අවධානය අතිශය ඉහළ යමින් පවතී. ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය සඳහා වන සංවිධානය Economic Co-operation and Development (OECD) 2019 වන තරම් මෑතකදී තක්සේරු කර ඇති ආකාරයට ගෝලීය 'වංචනික බඩු' වෙළෙඳාම 3.3%කින් වැඩි වී ඇත. ව්‍යාජානුකරණය සහ ප්‍රකාශන මංකොල්ලකෑමේ වෙළෙඳාම මගින් බදු, කර්තෘභාග හා වෙනත් ආදායම් අහිමිවීම, රැකියා අහිමිවීම, කීර්තිය සහ ජනප්රසාදය අහිමිවීම සහ නවෝත්පාදනය සහ එයට ආයෝජනය කීරීම අහිමි වීම වැනි ප්‍රතිඵල ඇති වේ.
ව්‍යාජානුකරණය වශයෙන් සුලබව දක්නට ලැබෙනුයේ ඉහළ සන්නාමයන්ගේ නිෂ්පාදනවල ආකෘති ලෙස පැවතීම වුවත්, ප්‍රායෝගිකව එහි සැබෑ බලපෑම සම්බන්ධයෙන් වඩා පුළුල් දෘෂ්ටියකින් තහවුරු කරගත යුතුව ඇත. සැබවින්ම ව්‍යාජානුකරණය, මිල අධික නිෂ්පාදනවලට පමණක් සීමා නොවන අතර, පාරිභෝගික නිෂ්පාදන, ඖෂධ, වෛද්‍ය උපකරණ, විද්‍යුත් උපකරණ, ළමා සෙල්ලම් බඩු, ඇඳුම්, කෘමිනාශකවලට අයත් උපකරණ සහ මෝටර් රථ වාහන කොටස් යනාදී සෑම කර්මාන්තයකටම බලපෑම් ඇති කරයි. සමාජ මාධ්‍යවල සහ විද්‍යුත් වාණිජ තලවල වර්ධනයත් සමග පාරිභෝගිකයන් විශේෂයෙන්ම සෞඛ්‍ය හා සනීපාරක්ෂාව තහවුරු කිරීම පිණිස සකස ලද නිෂ්පාදන මිලට ගැනීමේදී, මෙවැනි නීති විරෝධී නිෂ්පාදන භාවිත කිරීමෙන් ආරක්ෂා කරගැනීමට සුපරීක්ෂාකාරීවීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇත. 2018 ගෝලීය සන්නාම ව්‍යාජානුකරණ කිරීමේ වාර්තාව (The Global Brand Counterfeiting Report) තක්සේරු කොට ඇති අකාරයට අන්තර්ජාලය මගින් ලොව පුරා සිදුවන ව්‍යාජානුකරණය හේතුවෙන් ඇ.ඩො.බිලියන 323කට (2017 දී) ආසන්න අලාභයක් සිදුවී ඇත. මේ මොහොතේ පැතිර යන කොවිඩ්-19 වසංගතය හමුවේ ජනතාවගේ අවශ්‍යතාවන් පාදක කරගනිමින් මාර්ගගත ජාල ඔස්සේ, විශේෂයෙන්ම ව්‍යාජානුකරණය කරන ලද හා ප්‍රමිතියෙන් බාල නිෂ්පාදන විකිණීමේ කැලඹුම්කාරී රැල්ලක් අපට දැකගැනීමට හැකිව ඇත. මෙම වසංගත කාල පරිච්ඡේදය තුළදී, ඖෂධ, තත්ත්වයෙන් උසස් ආහාර සහ තත්ත්වයෙන් උසස් වෙනත් අයිතමයන් ව්‍යාජානුකරණයට බඳුන්වීමේ අත්‍යන්ත අවදානමකට පාත්‍ර වී ඇත.
බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කරන්නන් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, නියාමනයකින් හා බදු ගෙවීමකින් තොරව ආනයනය කීරීමෙන් සහ විකිණීමෙන් ජාවාරමේ නිරත වේ. මෙලෙස නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද ලාභයන් අනෙකුත් නීතිවිරෝධී කටයුතු සදහා ප්‍රතිආයෝජනය කරනු ලබයි. එමනිසා, සංස්ථාපිත ප්‍රමුඛයන්, සන්නාම හිමිකරුවන් සහ පාරිභෝගිකයන් වශයෙන් අප සෑම දෙනෙකුටම, එවැනි සමූහගත තලයන් වගවන ආකාරයෙන් පවත්වාගෙන යමින්, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නන්ට එරෙහිව කටයුතු කරමින් සහ සබුද්ධික පාරිභෝගිකයන් බවට පවත්වෙමින් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යුතුකමක් පවතී.
ශ්‍රී ලංකාවේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත, අන්තර්ජාතික TRIPS එකඟතාවට අනුකූල වන අතර එමගින් ප්‍රකාශන අයිතීන්, වෙළෙඳ ලකුණු, පේටන්ට් බලපත්‍ර සහ කාර්මික සැලසුම් යනාදී සන්නාම හිමිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු ලබයි. ව්‍යාජානුකරණය එරෙහිව පවතින ප්‍රධානතම නෛතික පළිහ වශයෙන් බුද්ධිමය දේපළ පනත හඳුනාගත හැකි අතර, එම පනත යටතේ වෙළෙඳ ලකුණු හෝ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම, අසාධාරණ තරගය, නොමඟ යවනසුලු ව්‍යාපාර පරිචයන් සහ තවත් කාරණා සම්බන්ධයෙන් සිවිල් සහ/හෝ අපරාධ නීතිමය ප්‍රතිකර්ම ලබාගත හැකිය. තවද, 1809 අංක 17 දරන රේගු ආඥාපනතට ගෙන එන ලද සංශෝධනයක් මගින්, බුද්ධිමය දේපළ පනතට පටහැනි ව්‍යාජානුකරණය සහ ප්‍රකාශන මංකොල්ලකන ලද නිෂ්පාදන තහනමට ගැනීමටත්, රඳවා තබා ගැනීමටත් බලය පවරා දීමෙන් නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කොට ඇත.
නමුත් මෙරට තුළ පවත්නා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් නීති රාමුව සාර්ථක වීම සදහා ශ්‍රී ලංකාව තුළ බුද්ධිමය දේපළ නීතින් ක්‍රියාවට නැංවීම සඳහා බලය පවතින නියාමන අංශයන් විසින් මෙවැනි උල්ලංඝනය කිරීම් සිදුකරනු ලබන සෑම කෙනකුටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. මෙදී මෙම භයානක හොර වංචනික භාණ්ඩ ආක්‍රමණය මගින් ඇතිවන අවදානමට හා හානියට එරෙහිව ව්‍යාපාරය, කර්මාන්තය සහ පාරිභෝගිකයා සාමූහිකව එක් හඬක් නැංවිය යුතුය. තවද, ඍජුවම වෙළෙඳ පොළ, කර්මාන්ත සහ සන්නාමවලට ව්‍යාජානුකරණය නිසාවෙන් සිදු වූ අලාභයන් සම්බන්ධයෙන් වන දත්ත සහ සංගණන අදාළ පාර්ශවයන්ගෙන් ලබාගත යුතු ය. එවැනි තීරණයක්, මේ මොහොතේ අපගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය බවට වන ව්‍යාජානුකරණයට එරෙහිව ජාතික ඉල්ලීම සඳහා ශක්තිමත් පදනමක් සපයනු ඇත.
අපගේ ජාතියේ අනාගත පරම්පරාවේ නිපැයුම්කරුවන්, උත්පාදකයන් සහ නායකයන් වන තරුණ ප්‍රජාවට මෙම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබදව ද්විතීයික අධ්‍යාපනය ලබාදිය යුතු බවට මම තරයේ විශ්වාස කරමි. 2021 අප්‍රේල් 26 වැනි දින ලෝක බුද්ධිමය දේපළ දිනයේ තේමාව වූ 'බුද්ධිමය දේපළ සහ සුළු හා මධ්යා පරිමාන ව්‍යවසායකයින්' දෙසට අවධානය යොමු කරන විට, වර්ධනය වෙමින් සිටින කුඩා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව විසින් සිදුකරනු ලබන නව නිපැයුම් සහ නවෝත්පාදනයන් සහ ඒවායේ තරුණ ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා සුදුසු කාලය එලැඹ ඇත. තවද, රට තුළ අන්තර්ජාතික වෙළෙඳාම සහ ආයෝජන වැඩි කර ගැනීමට අවධානය යොමු කරන මේ මොහොතේදී, දේශීය ආර්ථිකය නගා සිටුවීම උදෙසා ආයෝජන ආරක්ෂණය සමග බුද්ධිමය දේපළ අයිතිය ආරක්ෂා කිරීම අතිශය වැදගත් වේ. පවත්නා ව්‍යාපාරික වපසරිය තුළ දී ප්‍රධාන ආයෝජකයන් රටක ආයෝජනය කිරීමට පෙර එම රට තුළ පවත්නා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් නීති මෙන්ම, එකී නීති බලාත්මක කරනු ලබන ආකාරයද සොයා බලයි. එබැවින්, මෙම ලෝක ව්‍යාජානුකරණයට එරෙහිව කටයුතු කිරීමේ සතියේදී ගෝලීය ප්‍රජාව එකමුතුව ව්යාජානුකරණයේ සහ ප්‍රකාශන මංකොල්ල කෑමේ ඇති නිශේධනාත්මක බලපෑම් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන විටෙක, සදාචාරවත් ගෝලීය පුරවැසියන් වශයෙන් අප සියලු දෙනා එක්ව උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සටන් කළ යුතුය.