ලංකා IOC රිදී ජූබිලිය සමග CSE සමාරම්භක සීනු හඬවයි
ලංකා IOC PLC සමාගම ශ්‍රී ලංකාව තුළ සිය 25 වන මෙහෙයුම් වසර ආරම්භ කිරීම සනිටුහන් කරමින්, මේ සතිය මුලදී කොළඹ ව්‍යාපාරික වස්තු හුවමාරුවේ (CSE) වෙළෙඳපොළ සමාරම්භක සීනු හඬවීමේ විශේෂ උත්සවයකට එක් විය.
සිය සේවාවන් සපයමින් වසර 25ක් සපිරීමට ආසන්න වන මෙම මොහොතේ, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයට සමාගම දැක්වූ අඛණ්ඩ දායකත්වය සහ රටේ ආර්ථික වර්ධනයට මෙන්ම සංවර්ධනයට ලබා දුන් සහයෝගය මෙහිදී ඇගයීමට ලක් විය.
ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ලිමිටඩ් (IndianOil Corporation Limited) සමාගමේ ශ්‍රී ලංකා අනුබද්ධිත සමාගම ලෙස 2002 වසරේදී පිහිටුවන ලද ලංකා IOC සමාගම, S&P ශ්‍රී ලංකා 20 දර්ශකය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ පහළ පෙළ ඛනිජ තෙල් කර්මාන්තයේ (downstream petroleum industry) ප්රමුඛපෙළේ කොටස්කරුවෙකු බවට පත්ව ඇත.
ගෙවී ගිය වසර 24 පුරා, සිය දිවයින පුරා පැතිරුණු සිල්ලර ඉන්ධන පිරවුම්හල් ජාලය, ලිහිසි තෙල් ව්‍යාපාරය, නෞකා ඉන්ධන සැපයුම් මෙහෙයුම් (bunkering operations) සහ ගබඩා යටිතල පහසුකම් හරහා මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සමාගම සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර තිබේ.
අද වනවිට ලංකා IOC සමාගම දිවයින පුරා විසිරුණු පුළුල් ඉන්ධන පිරවුම්හල් ජාලයක් ක්‍රියාත්මක කරන අතරම, උපායමාර්ගික ඛනිජ තෙල් ගබඩා පහසුකම්ද කළමනාකරණය කරයි. එමෙන්ම මෙහෙයුම් විශිෂ්ටත්වය, සේවා නවෝත්පාදනය සහ තිරසාර ව්‍යාපාරික පටිපාටීන් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමටද සමාගම කටයුතු කරයි. දීර්ඝකාලීන ආයෝජන සහ පාර්ශවකාරීත්වයන් හරහා ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ ප්රගමනයට දායක වන අතරම, රටේ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් අඛණ්ඩව දායකත්වය ලබා දෙමින් නම්‍යශීලී බව, විශ්වසනීයත්වය සහ කැපවීම සමාගම විසින් නිරන්තරයෙන් පෙන්නුම් කර ඇත.
උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ලංකා IOC PLC හි කළමනාකාර අධ්යක්ෂ කේ. රගු මහතා, "ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය අඛණ්ඩව පරිවර්තනයට ලක්වෙමින් පවතින පසුබිමක, තිරසාර වර්ධනයක් ඇති කිරීම, මෙහෙයුම් විශිෂ්ටත්වය ළඟා කර දීම සහ බලශක්ති සුරක්ෂිතතාව සපයමින් රටේ ආර්ථික හා සාමාජික සංවර්ධනයට අර්ථවත් ලෙස දායක වීම වෙනුවෙන් අපි අඛණ්ඩව කැපවී සිටිනවා. ලංකා IOC සමාගම අනාගතය දෙස බලන විට, ඉහළම ව්‍යාපාරික විශිෂ්ටත්වය සහ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය රැකගන්නා අතරම, ශ්‍රී ලංකාව තිරසාර බලශක්ති අනාගතයක් කරා ගමන් කරන පරිවර්තනීය ගමනට සහය දැක්වීම කෙරෙහි අවධානය යොමු කර සිටිනවා" යැයි පවසා සිටියේය.
මෙහිදී සභාව ඇමතූ කොළඹ ව්‍යාපාරික වස්තු හුවමාරුවේ (CSE) ප්‍රධාන විධායක නිලධාරී රාජීව බණ්ඩාරනායක මහතා, ලංකා IOC සමාගම ලබාගත් මෙම සන්ධිස්ථානය පිළිබඳව සුබ පතමින්, "කොළඹ ව්‍යාපාරික වස්තු හුවමාරුව වෙනුවෙන් ලංකා IOC PLC සමාගමේ 24 වන සංවත්සරය සහ එහි රිදී ජූබිලි වසරේ ආරම්භය වෙනුවෙන් මම මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා. මෙම සන්ධිස්ථානය මගින් සමාගමේ ප්‍රබල නායකත්වය, නම්‍යශීලී බව සහ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයට දැක්වූ තිරසාර දායකත්වය පිළිඹිඹු කරනවා. ඉදිරි වසරවලදීත් එම කණ්ඩායමට අඛණ්ඩ සාර්ථකත්වය ලැබෙන්නැයි අපි ප්‍රාර්ථනා කරනවා" යැයි පවසා සිටියේය.
මෙම සමරු සීනු හඬවීමේ උත්සවය සඳහා ලංකා IOC PLC සහ කොළඹ ව්‍යාපාරික වස්තු හුවමාරුවේ නියෝජිතයින් එක්ව සිටි අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික හා කාර්මික ක්ෂේත්රය වෙනුවෙන් සමාගම දක්වන දීර්ඝකාලීන දායකත්වය සහ පැවැත්ම සැමරීමට එය හොඳ අවස්ථාවක් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
