මානසික සෞඛ්‍ය පදනමේ සිට මානසික සෞඛ්‍ය සරසවිය දක්වා
ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්රයේ අධ්‍යාපනික, වෘත්තීය හා සමාජීය සංවර්ධනය වෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයක් පුරා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ආයතනයක් ලෙස මානසික සෞඛ්‍ය සරසවිය හඳුන්වා දිය හැකිය. මීට වසර විසිපහකට පමණ පෙර 'මානසික සෞඛ්‍ය පදනම' නමින් ආරම්භ වූ මෙම ආයතනය, පසුව ජාත්‍යන්තර අධ්‍යාපනික සම්බන්ධතා හා සහයෝගිතා ඔස්සේ මානසික සෞඛ්‍ය සරසවිය ලෙස සිය අධ්‍යාපනික කටයුතු පුළුල් කරගනු ලැබීය. එහෙත් නාමය හා ක්‍රියාකාරීත්වය පුළුල් වූ පමණින් එහි මූලික අරමුණ වෙනස් වී නොමැත. දැනුම ව්‍යාප්ත කිරීම, වෘත්තීය මනෝ උපදේශකවරුන් බිහිකිරීම සහ සමාජයේ මානසික සෞඛ්‍ය සංවර්ධනයට සක්‍රීයව දායක වීම එම අරමුණ අතර ප්රමුඛ වෙයි.
ආයතනයේ වත්මන් ගමන්මග පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා මෙන්ම, මානසික සෞඛ්‍ය සරසවියේ ගරු සභාපතිවරයාද වන මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා පෙන්වා දෙන්නේ මෙය පශ්චාත් උපාධි, උපාධි හා ඩිප්ලෝමා පිරිනමන අධ්‍යාපන ආයතනයකට පමණක් සීමා නොවී, සමාජ සංවර්ධනය වෙනුවෙන් කැපවූ මානව හිතවාදී ආයතනයක් ලෙස තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.
අධ්‍යාපනයෙන් වෘත්තීය දැනුමට මංපෙත්
මානසික සෞඛ්‍ය සරසවිය මගින් මේ වන විට විවිධ මට්ටම්වල අධ්‍යාපනික පාඨමාලා රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. උපදේශනය හා මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව, සායනික ළමා මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව, ඇබ්බැහිවීම් ප්‍රතිසාධනය හා පුනරුත්ථාපන චිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමාව ඒ අතර ප්‍රධාන වේ. මීට අමතරව මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc), සායනික මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (PgD) සහ විද්‍යාපති උපාධි පාඨමාලාව (MSc) ද පවත්වාගෙන යනු ලබයි.
මෙම පාඨමාලාවල විශේෂත්වය වන්නේ න්‍යායාත්මක දැනුමට පමණක් සීමා නොවී, ප්‍රායෝගික හා සායනික පුහුණුවටද ප්‍රමුඛත්වය ලබාදීමයි. ඒ අනුව, සිසුන්ට මාස කිහිපයක පුහුණු කාලයක් ආයතනය තුළින් ලබාදෙන අතර, ඉන් අනතුරුව විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ආශ්‍රිතව සායනික පුහුණුව ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ. එමගින් පාඨමාලා අවසන් කරන පිරිසට අධ්‍යයන දැනුම පමණක් නොව, ප්‍රායෝගික සේවා අත්දැකීම්ද ලබාගැනීමට හැකියාව ලැබේ.
විශේෂයෙන්ම, සායනික මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි වැඩසටහන මෙම ආයතනයේ අධ්‍යාපනික ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයකි. එහි පුහුණුව සාර්ථකව අවසන් කළ පිරිස වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් 29දා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී උපාධි ප්රදානෝත්සවය පැවැත්විණි. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, රජයේ රෝහල්වල වෛද්‍යවරුන්, පාසල් ගුරුවරුන්, පොලිස් හා යුද හමුදා නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ද එහිදී උපාධි හා සහතික ලබාගැනීම කැපීපෙනෙන කරුණක් බව මහාචාර්යවරයා සඳහන් කරයි. විවිධ වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් සායනික මනෝවිද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය සඳහා යොමුවීම, මෙරට මානසික සෞඛ්‍ය සේවාවන්හි වෘත්තීය අවශ්‍යතාව පිළිබිඹු කරන්නකි.
අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය සමාජ මෙහෙවර
මානසික සෞඛ්‍ය සරසවියේ සුවිශේෂීත්වය වන්නේ අධ්‍යාපනික කටයුතුවලින් ඔබ්බට ගොස් සමාජයට සෘජු සේවාවක් සැපයීමයි. එහි පුහුණුව ලබන උපදේශන සිසුන් විවිධ සමාජ ආයතන වෙත යොමු කරමින් ජනතාවට නොමිලේ උපදේශන හා මනෝසමාජීය සහාය ලබාදීමට කටයුතු කර තිබේ.
ඒ සඳහා උදාහරණයක් ලෙස අඹේපුස්ස බන්ධනාගාරය ආශ්‍රිතව වසර අටකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළ උපදේශන සේවාව පෙන්වා දිය හැකිය. සතියේ දින තුනක් පුරා දිනකට උපදේශන පුහුණුව ලබන සිසුන් දසදෙනකු බැගින්, සතියකට පුහුණු උපදේශකවරුන් තිස්දෙනකු පමණ මෙම සේවාවට සම්බන්ධ වී ඇත. බන්ධනාගාරයේ සිටි ස්ථිර උපදේශන නිලධාරීන් දෙදෙනාට අමතරව මෙම සේවාව ක්‍රියාත්මක වීමෙන් රැඳවියන්ට වැඩි උපදේශන අවස්ථා හිමි වූ අතර, රාජ්‍ය අංශයටද සැලකිය යුතු සේවා සහ මූල්‍යමය සහනයක් ලබාදීමට හැකි වී තිබේ.
අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන්ද ආයතනයේ සමාජ මෙහෙවර අතර වැදගත් තැනක් ගනී. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මගින් බුද්ධිමය සංවර්ධන අපහසුතා සහිත දරුවන්, ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දරුවන්, අධි ක්‍රියාකාරීත්ව ලක්ෂණ සහිත දරුවන් මෙන්ම මස්තිෂ්ක ආඝාතය වැනි තත්ත්වයන් සහිත දරුවන්ට නොමිලේ උපදේශන හා මනෝසමාජීය සහාය ලබාදෙයි. මහරගම ප්‍රදේශයේද මෙවැනි සේවාවන් ක්‍රියාත්මක වන අතර, හොරණ ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් සමඟද ආයතනය සම්බන්ධ වී කටයුතු කරයි.
රාජ්‍ය ආයතන සමඟ වෘත්තීය සහයෝගිතාව
රාජ්‍ය අංශයේ මානසික සෞඛ්‍ය හා පුනරුත්ථාපන සේවාවන් ශක්තිමත් කිරීමටද මානසික සෞඛ්‍ය සරසවිය දායක වී තිබේ. පුනරුත්ථාපන කාර්යාංශය යටතේ ක්‍රියාත්මක කන්දකාඩු, සේනපුර හා වවුනියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නිලධාරීන් පුහුණු කර ඩිප්ලෝමා පිරිනැමීමට ආයතනය කටයුතු කර ඇත. එමෙන්ම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දහසයදෙනකු වෘත්තීය මනෝ උපදේශන ක්ෂේත්රය සඳහා පුහුණු කර සහතික පිරිනැමීමද සිදුකර තිබේ.
මීට අමතරව, ශ්‍රී ලංකා පදනම් ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට විවිධ පුහුණු හා උපදේශන සේවාවන් සපයයි. කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රජා උපදේශන පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු සඳහාද මානසික සෞඛ්‍ය සරසවියට සම්බන්ධ කථිකාචාර්යවරුන්, උපදේශකවරුන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දායක වෙති. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මානසික සෞඛ්‍ය දැනුම සමාජයේ විවිධ වෘත්තීය ක්ෂේත්‍ර වෙත රැගෙන යාමට ආයතනය දරන උත්සාහයයි.
මත්ද්‍රව්‍ය නිවාරණයේ සිට ආතති කළමනාකරණය දක්වා
මත්ද්‍රව්‍ය නිවාරණය හා ඇබ්බැහිවීම් ප්රතිසාධනයද ආයතනයේ ප්රමුඛ සේවා ක්ෂේත්රයකි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමඟ සම්බන්ධ වෙමින් 'රටම එකට' මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා දායක වී ඇති අතර, බන්ධනාගාර ආශ්‍රිතව මනෝචිකිත්සක ක්‍රියාකාරකම්, මනෝරංගනය සහ සංගීත චිකිත්සාව වැනි වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබේ.
එමෙන්ම, රාජ්‍ය නිලධාරීන්ගේ මානසික සුවතාව වෙනුවෙන් ආතති කළමනාකරණ වැඩසටහන් රැසක්ද පවත්වා ඇත. සමාජ සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ විවිධ අමාත්‍යාංශවල නිලධාරීන් ඉලක්ක කරගනිමින් සතිමත්භාවය, ජල චිකිත්සාව හා ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහන් පවත්වා තිබේ. ඉංගිරිය මඩකඩ ප්‍රදේශයේ පිහිටි මානසික සෞඛ්‍ය පදනමට සම්බන්ධ සතිමත් මධ්‍යස්ථානයද මේ සඳහා යොදාගනු ලබයි. විශේෂයෙන්ම, පොලිස් නිලධාරීන් වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකර මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආයතනයේ ස්වේච්ඡා සේවා ප්‍රතිපත්තියට කදිම නිදසුනකි.
ව්‍යසන අවස්ථාවලදී මානසික සහනය
ශ්‍රී ලංකාව මුහුණදුන් ප්‍රධාන ව්‍යසන අවස්ථාවලදීද මානසික සෞඛ්‍ය පදනම සිය දායකත්වය ලබාදී තිබේ. විශේෂයෙන්ම, 2004 සුනාමි ව්‍යසනයෙන් පසු දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ මනෝසමාජීය සහන වැඩසටහන් ඒ අතරින් කැපීපෙනේ.
ප්‍රජා සෞඛ්‍ය පදනම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කරාපිටිය රෝහල සහ ජාතික රූපවාහිනිය ඇතුළු ආයතන සමඟ සම්බන්ධ වෙමින් විපතට පත් ජනතාවට මානසික සහාය හා රැකවරණය ලබාදීමට කටයුතු කර ඇත. මෙම සේවාවන්හි විශේෂත්වය වූයේ මානසික සෞඛ්‍ය පදනමට සම්බන්ධ උපදේශකවරුන්ගේ ස්වේච්ඡා දායකත්වය මත ඒවා ක්‍රියාත්මක වීමයි. පාසල් සංවර්ධනය, පාසල් උපදේශන සේවා සහ යුද හමුදාව ආශ්රිත මානසික සහාය වැඩසටහන්ද එම සමාජ මෙහෙවරේම කොටස් වේ.
ඉදිරි දැක්ම සහ වෘත්තීය ක්ෂේත්රයේ නව පියවර
ඉදිරියේදී අඩු ආදායම්ලාභී ගර්භිණී මව්වරුන් වෙනුවෙන් පෝෂණ සහාය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම, ගර්භිණී උපදේශනය හා මානසික සුවතා සේවා ඇතුළත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද ආයතනය සැලසුම් කර තිබේ. ඒ සඳහා සිංහ සමාජය වැනි සමාජ සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරයි.
මේ අතර, මෙරට උපදේශන හා මනෝවිද්‍යා ක්ෂේත්රයේ වෘත්තීය ප්රමිතීන් ආරක්ෂා කිරීමේ අරමුණින් නව වෘත්තීය සංවිධානයක් පිහිටුවීමේ කටයුතුද ආරම්භ කර ඇත. වෘත්තීය ආචාරධර්ම උල්ලංඝනය කරන සහ නිසි වෘත්තීය ප්‍රමිතීන්ගෙන් තොර සේවා සපයන ආයතන හා පුද්ගලයන් පිළිබඳ ගැටලු හමුවේ, ක්ෂේත්රයේ වගකීම සහ විශ්වසනීයත්වය තහවුරු කිරීම එහි එක් අරමුණකි.
පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා කොළඹ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ඇතුළු විද්වතුන්ගේ සහභාගීත්වයෙන් මෙම සංවිධානයේ කටයුතු ඉදිරියට ගෙන යාමට නියමිතය. විශ්වවිද්‍යාල සිසුන්ට සාමාජිකත්වය ලබාදීම, වැඩමුළු පැවැත්වීම, අධීක්ෂණ සේවා සැපයීම සහ වෘත්තීය පුහුණුව සඳහා අවස්ථා නිර්මාණය කිරීමද එහි සැලසුම් අතර වේ. ඉදිරියේදී පළමු රැස්වීම හා මහා සම්මේලනය පැවැත්වීමටද කටයුතු සූදානම් කරමින් පවතී.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා අවධාරණය කරන්නේ අනාගතයේදීද ආයතනයේ අධ්‍යාපනික පාඨමාලා මගින් ලැබෙන ආදායමෙන් කොටසක් සමාජයට නොමිලේ ලබාදෙන උපදේශන හා මනෝසමාජීය සේවාවන් වෙනුවෙන් යෙදවීම තම ප්‍රධාන දැක්මක් බවයි.
වසර විසිපහකට ආසන්න ගමන්මගක් තුළ මානසික සෞඛ්‍ය පදනමේ සිට මානසික සෞඛ්‍ය සරසවිය දක්වා පැමිණි මෙම ආයතනයේ කාර්යභාරය දෙස බැලීමේදී පැහැදිලි වන්නේ එහි අරමුණ සහතිකයක් හෝ උපාධියක් පිරිනැමීමෙන් අවසන් නොවන බවයි. දැනුමෙන් සන්නද්ධ වෘත්තිකයන් බිහිකිරීම, අවශ්‍යතා සහිත ජනතාවට නොමිලේ සේවා සැපයීම, රාජ්‍ය ආයතනවල මානසික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ ව්‍යසන අවස්ථාවලදී ජනතාවට මානසික සහනය සැලසීම යන සියලු අංශ එකම දැක්මක් යටතේ ක්‍රියාත්මක කිරීම එහි සුවිශේෂී ලක්ෂණයයි.
මානසික සෞඛ්‍යය යනු පුද්ගලයකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් පමණක් නොව සමස්ත සමාජයේම සංවර්ධනය හා බැඳුණු අත්‍යවශ්‍ය සාධකයකි. එවැනි පසුබිමක අධ්‍යාපනය, වෘත්තීය සංවර්ධනය සහ ස්වේච්ඡා සමාජ සේවාව එකට ගළපමින් ඉදිරියට යන මානසික සෞඛ්‍ය සරසවියේ ගමන්මග, මෙරට මානසික සෞඛ්‍ය ක්ෂේත්රයට තවදුරටත් වැදගත් දායකත්වයක් සැපයිය හැකි මාවතක් ලෙස හඳුනාගත හැකිය.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
