වර්ෂ 2015 පෙබරවාරි සිට 2016 ජූනි දක්වා සිදුවූ බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට සහ එහි නිලධාරීන්ට පමණක් සීමා නොවී, ඊට සම්බන්ධ මහ මොළකරු ඇතුළු සියලු පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කරමින්, ඒ සියලු දෙනාට දැඩි දඬුවම් ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ බැඳුම්කර වංචාව හරහා රටටද, ආර්ථිකයටද, ශ්‍රී ලංකා ජනතාවටද දැවැන්ත පාඩු සිදුවූ අතර, රටේ කීර්තිනාමයට මරු පහරක් එල්ල වූ බවයි. එබැවින්, මෙම වංචාවේ සම්පූර්ණ සත්‍ය හෙළිකර, එහි මහ මොළකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට අනාගත රජයක් කැපවිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි. එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
"තමන්ගේ ඇස් පනා පිට ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු කරන ලද දැවැන්තම වංචාව අනාවරණය වෙද්දී, ජනතාව අසරණව බලා සිටියා. දූෂිත දේශපාලඥයන් සහ නිලධාරීන් හිතා මතාම එම වංචාව වසන් කරද්දී, ජනතාව දුක්මුසුව සුසුම් හෙලුවා. මෙහි මොළකරුවන් යහපාලනය පිළිබඳව දෙසුම් දෙද්දී, ජනතාව කම්පාවෙන් පෙලුණා. බැඳුම්කර වංචාවේ එක් මූලික චූදිතයෙකු වූ හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් අත් අඩංගුවට ගැනීමෙන් වැළකීමට කිසිදු අවහිරයකින් තොරව විදේශගත වෙද්දී, ජනතාව කුපිත වුණා. ඔහු මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් කරන අවස්ථාවේදී ඔහුගේ ක්‍රියාවන් වෙනුවෙන් සම්පූර්ණ වගකීම තමා භාරගන්නේ යයි පැවසූ ප්‍රධානීන් මහේන්ද්‍රන් දැන් සිටින්නේ කොතැනද තමා නොදන්නේ යැයි පවසද්දී, ජනතාව තිගැස්සුණා.
මේ අනුව, වර්තමාන පාලකයන් මෙම බැඳුම්කර වංචාවට සෘජුවම සම්බන්ධ වී ඇති නිසා, ඔවුන් මේ රට පාලනය කරන තාක් මෙම වංචාවේ යෙදුණු වැරදිකරුවන් නීතියේ රැහැනට ගෙන ඒමටද, සොරාගත් මුදල් නැවත අයකර ගැනීමටද, මෙම රජයට කිසිදු උනන්දුවක් නැති බව ජනතාව දැනටමත් තීරණය කොට අවසානයි. එහෙයින් මෙම වංචාවට අදාළව යුක්තිය ඉෂ්ට කර ගැනීමට නම් ජනතාවට ඇති එකම බලාපොරොත්තුව නව රජයක් හරහා එසේ කර ගැනීම බව දැන් පැහැදිලියි. එසේ වුණොත් පමණක්, රටට ආර්ථිකයට සහ ජනතාවට විඳින්නට සිදු වූ පාඩුව සහ හානිය නැවත අයකර ගත හැකියි. 'යහපාලනය' වෙනුවෙන් පෙනී සිටිමින්, අගනා යුරෝපීය ඇඳුමින් සැරසී, රටේ ඉතිහාසයේ දැවැන්තම වංචාව කළ මහ මොළකරුවන්ට දඬුවම් දිය හැකියි. මුදලට සහ වෙනත් හේතූන් වෙනුවෙන්, මෙම වංචාව යට ගැසීමට සහයෝගය සහ ශක්තිය දුන් පුද්ගලයන් හෙළිදරව් කරගත හැකියි. මෙම වංචාව දියත්කර ගන්නට අනුබල දුන් අය අනාවරණය කර ගත හැකියි. එසේ කිරීමට නම්, එකම සැලැස්මක් සහ අරමුණක් ඔස්සේ රජයේ සියලුම අදාළ අංශ කටයුතු කරමින්, තොරතුරු අනාවරණය කර ගනිමින්, සත්‍ය තහවුරු කර ගනිමින්, සොයා ගන්නාලද තොරතුරු විශ්ලේෂනය කර ගනිමින්, හැකි සියලුම නීතිමය ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින්, සියලුම වැරදිකරුවන් නීතියේ රැහැනට භාජනය කිරීමට කටයුතු කළ යුතුයි.
2015 ජනාධිපතිවරණයට පෙර, සියලු දෙනාම දන්නා පිරිදි, වර්තමාන රජයේ නායකයන් කිහිප දෙනෙක් හිටපු රාජ්‍ය නායකයන්ට, දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට විරුද්ධව කිසිදු සාක්ෂියක් නොමැතිව විවිධ චෝදනා එල්ල කළා. උදාහරණයන් ලෙස විදේශිය බැංකු ගිණුම්වල ඇමරිකානු ඩොලර් බිලියන 18ක තැන්පතු, අධිවේගී මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් සඳහා එම කොන්ත්‍රාත් අගයන්වලින් 50%කට අධික කොමිස් මුදල්, රාජපක්ෂ පවුල විසින් ආනයනය කරන ලද යැයි කියූ රන් අශ්වයන්, හෙලිකොප්ටර් සහ ලැම්බෝගිනි කාර්, විවිධ නායකයන්ට අයත් ඩුබායි හි පිහිටා ඇතැයි කියූ හෝටල් සහ මාලිගා යනාදිය, මතකයට පිවිසෙනු ඇති. එහෙත්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාවේ සෘජු සහාය ඇතිව වුවද, අවුරුදු තුනහමාරක් තිස්සේ ලොව වටා කරන ලද පුළුල් පරීක්ෂණවලට පසුවද, ඉහත කී චෝදනා සම්බන්ධයෙන් එක් සාක්ෂියක්වත් තවමත් ඉදිරිපත් කරන්නට වර්තමාන රජය අපොහොසත් වී තිබෙනවා. ඒ හේතුව නිසා, මෙවන් චෝදනා වාංචනික දේශපාලනඥයන් විසින් ජනතාව මුලා කිරීමට සිතා මතා කියන ලද අසත්‍යයන් බව ජනතාවට අද ඒත්තු ගොස් හමාරයි.
ඉහත කී තත්ත්වයට සම්පූර්ණයෙන් පටහැනිව, යහපාලන නායකයන් දියත් කොට ඇති බැඳුම්කර වංචාව ඇතුළු අක්‍රමිකතා කිහිපයක් පිළිබඳව දැනටමත් ප්‍රසිද්ධියේ හෙළිකරන ලද විශ්වසනීය සාක්ෂි ජනතාව සතුයි. එමෙන්ම, වර්තමාන රජයේ මෙම බැඳුම්කර වංචාවේ දූෂිත කටයුතු පිළිබඳව ඉහළ පෙළෙහි නායකයන්ගේ පෞද්ගලික මැදිහත්වීම් සහ ක්‍රියාවන් පිළිබඳව තොරතුරුද ජනතාව සතුයි. එසේ හෙයින්, 2015 පෙබරවාරි සිට 2016 ජූනි අතර සිදුවූ බැඳුම්කර වංචාව සත්‍ය ලෙස සිදුවූවක් බවත්, ඒවා යම් පුද්ගලයෙකුගේ මන:කල්පිතයක් නොවන බවත්, ජනතාව හොඳින් දන්නවා. මෙම පොදු දැනුම තවදුරටත් සනාථ කරමින්, බැඳුම්කර වංචාව හරහා උපයා ගන්නා ලද දැවැන්ත නීතිවිරෝධී මුදල්වලින් කොටසක්, රජයේ විවිධ නායකයන්ගේ සහ ඔවුන්ගේ සගයන්ගේ සාක්කුවලට ගලා ගොස් ඇති ආකාරයද ජනතාව දැක තිබෙනවා. එලෙස උපයා ගන්නා ලද මුදල්, විවිධ දේශපාලනඥයන්ගේ සහ රජයේ අනිකුත් ක්ෂේත්රවලට සම්බන්ධ අයට ලබාදී ඇති ආකාරයද ජනතාව දැක තිබෙනවා.
මෙම පසුබිම ඔස්සේ යහපාලන බැඳුම්කර වංචාව පිළිබඳව අනාගත රජයක් විසින් උපායමාර්ග කෝණ (strategic thrusts) කිහිපයක් හරහා පහත අරමුණු සාක්ෂාත් කරගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් (integrated) දියත් කළ යුතුයි.
1.) බැඳුම්කර වංචාවට සම්බන්ධ යැයි චෝදනා ලැබ ඇති ප්‍රාථමික ගැණුම්කාර සමාගම වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට සහ එහි නිලධාරින්ට සීමාවී ඇති දඬුවම් දීමෙන් ඔබ්බට ගොස්, මෙම වංචාව සම්බන්ධ මහ මොළකරු ඇතුළු සියලුම පාර්ශ්වයන්ට විරුද්ධව නීතිමය කටයුතු දියත් කරමින් ඒ සියලු දෙනාටම දැඩි දඬුවම් ලබාදීම.
2.) මීට සම්බන්ධ මහ මොළකරු ඇතුළු සියලු දෙනා භුක්ති විඳ ඇති නීතිවිරෝධී ලාභ සහ දීමනා නැවත අයකර ගැනීම සහ යම් ලාභාංශයක් හෝ දීමනාවක් ඔවුන් වෙනත් සම්පත් බවට පරිවර්තනය කොට ඇත්නම්, එම සම්පත්ද රජයට පවරාගෙන ඒවා විකුණා රටේ සහ රජයේ අලාභය පියවා ගැනීම.
3.) මුදලට හෝ වෙනත් වාසීන් තකා මෙම බැඳුම්කර වංචාව වසන් කිරීමට කටයුතු කළ සියලු දෙනා නම් කොට, එම වසන් කිරීමේ කාර්යයට කැපවූ සියලු දෙනාට විරුද්ධව නීතිමය කටයුතු කිරීම.
4.) බැඳුම්කර වංචාවේ දිගුකාලීන අවාසීන් හරහා රජයට, ආර්ථිකයට සහ ජනතාවට, තවමත් සිදුවෙමින් පවතින පාඩු සහ අලාභ නැවැත්වීමට සහ/හෝ අවම කිරීමට වහාම පියවර ගැනීම.
5.) වසර ගණනාවක් පුරා ඉතා කාර්යක්ෂම ලෙස සහ නිවැරදි ලෙස බැඳුම්කර නිකුත් කිරීමට මහ බැංකුව විසින් අනුගමනය කරන ලද තාක්ෂණික ක්‍රමවේදය, එම ක්‍රියාව පිළිබඳව කිසිදු දැනුමක් නොමැති අයගේ සෘජු අණ පරිදි එවකට මහ බැංකු අධිපති විසින් හදිසියේම වෙනස් කිරීම වැනි ප්‍රෝඩාකාරී දේශපාලනික බලපෑම් සහමුලින්ම නැවැත්වීමට රාජ්‍ය පාලන ක්‍රමවේද වෙනස් කොට ස්ථාපනය කිරීම.
6.) බැඳුම්කර වංචාවෙන් අයුතු ලෙස උපයා ගන්නා ලද දැවැන්ත නීතිවිරෝධී මුදල් තොගයෙන් කොටසක්, 2015 අගෝස්තු මස මහ මැතිවරණයේදී මෙම වංචාවේ මහ මොළකරුවන් හා වෙනත් දේශපාලඥයන් විසින් තමන්ගේ මැතිවරණ කටයුතුවලට යොදාගෙන ඇත්තේ දැයි සොයා බැලීම.
7.) වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, එවකට මහ බැංකු අධිපති සහ අනිකුත් ඉහළ පෙළෙහි රාජ්‍ය නිලධාරීන් ඇතුළු දේශපාලනික නායකයන් සහ නිලධාරීන් විසින් එල්ල කරනු ලැබූ දැඩි බලපෑම් සහ පීඩනවලට යටත් නොවී, බැඳුම්කර වංචාව නිර්භීතව අනාවරණය කිරීමටද, එහි පාඩු ගණනය කිරීමටද කටයුතු කළ නිලධාරීන්, වෘත්තිකයන්, මාධ්‍යවේදීන් සහ වෙනත් පුද්ගලයන් හඳුනාගෙන ඔවුනට නිසි සුභාශිංසනය සහ ගෞරවය දැක්වීම.
දැනටමත් මෙම බැඳුම්කර වංචාව පිළිබඳව තොරතුරු සහ විශ්ලේෂණ රැසක් පසුගිය වසර තුනහමාර තුළදී විවිධ ප්රයත්නයන් හරහා අණාවරණය වී තිබෙනවා. එම තොරතුරු සහ දත්තද ප්‍රයෝජනයට ගනිමින්, මෙහි දක්වා ඇති පුළුල් වැඩපිළිවෙළ සාර්ථකව දියත් කර ගැනීමට, නව රජයක් පත්වී මාස 12ක පමණ කාලයක් තුළදී ක්‍රියාකළ හැකියැයි අපේක්ෂා කළ හැකි බව මගේ අදහසයි."