පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වනවිට ළමයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් ළමයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, පිරිසක් දෙමවුපියන් නොමැතිව අනාථ වී සිටින බවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.
යුනිසෙෆ් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා ජීන් ගෝ සහ යුනිසෙෆ් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ටිම් සට්න් මෙම තොරතුරු අනාවරණය කරති.
පසුගිය පාස්කු ඉරිදා දිනයේදී ළමයින් ඇතුළු පවුල් ඉලක්ක කරමින් ශ්‍රී ලංකාව පුරා කිතුණු දේවස්ථාන සහ හෝටල් වෙත එල්ල කළ බෝම්බ ප්‍රහාර පිළිබඳව යුනිසෙෆ් සංවිධානය අතිශය කම්පාවට හා කනගාටුවට පත්ව ඇති බවත්, මෙම ම්ලේච්ඡ ප්‍රහාරවලට ගොදුරු වූවන්ට, පවුල්වලට හා ප්‍රජාවන්ට සිය බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවත් ඔවුන් කියයි.
මෙම ප්‍රහාරවලින් ළමයින්ට සිදුව ඇති බලපෑම තවමත් වාර්තා වෙමින් පවතින නමුදු, ශ්‍රී ලාංකේය සහ විදේශීය දරුවන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් ළමයින් විශාල පිරිසක් රටපුරා හදිසි සත්කාර ඒකකවල තම ජීවිත බේරාගැනීමට සටන් වදිමින් සිටින බව ඔවුන් පෙන්වා දෙයි. එමෙන්ම, ළමයින් බොහෝ දෙනෙකුට එක් දෙමවුපියෙකු හෝ දෙදෙනාම අහිමි වී සිටින අතර, තවත් ළමයින් විශාල පිරිසක් මේ බියකරු ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වී ඇති බවත් ඔවුන් කියයි.
මේ අතර, මෙම සිදුවීම මගින් ළමයින්ට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සමීපව කටයුතු කරන බව පෙන්වා දෙන යුනිසෙෆ් සංවිධානය, මේ මොහොතේ අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බවද පෙන්වා දෙයි.
ඒ අනුව, ළමයින් ප්‍රතිකාර ගන්නා රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය හිඟයක් ඇති බවත්, යුනිසෙෆ් සංවිධානය ඒවා ලබාදෙමින් පවතින බවත් ඔවුන් කියයි. එමෙන්ම, පවුල්වලින් මගහැරී ඇති ළමයින්ට ඔවුන්ගේ දෙමවුපියන් හෝ ඥාතීන් හඳුනාගැනීමට සහාය, දෙමුපියන් අහිමි වී ඇති ළමයින් සඳහා ස්ථිර භාරකාරීත්වය, ළමයින් ඔවුන්ගේ දෙමවුපියන් සමග සම්බන්ධ කිරීමට හෝ නැදෑයින් හෝ භාරකරුවන් සමග ස්ථාපිත කිරීමට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට යුනිසෙෆ් සංවිධානය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදෙමින් සිටින බවද පෙන්වා දෙයි. මේ අතර, උපදේශන සහාය ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති අතර, යුනිසෙෆ් සංවිධානය මෙම සතිය ඇතුළත 'මනෝ සමාජීය උපදේශන ප්‍රථමාධාර' සහාය සිද්ධීන්ට මුහුණදුන් ළමයින්ට හා ඔවුන්ගේ පවුල්වලට ලබාදෙනු ඇති බවද කියයි. එමෙන්ම, දත්ත එක්රැස් කිරීම සම්බන්ධීකරණය කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට දිගින් දිගටම යුනිසෙෆ් සංවිධානය සහයෝගය දක්වන අතර, එම දත්ත එක්රැස් කිරීමේදී ළමයින් පිළිබඳ දත්තවලට ප්‍රමුඛස්ථානය දීම අපේකෂා කරන බවද ඔවුන් පෙන්වා දෙයි.
යුනිසෙෆ් සංවිධානය මෙම ප්‍රචණ්ඩක්‍රියාව තරයේ හෙළා දකින අතර, කිසිදු ළමයෙකු හෝ දෙමවුපියෙකු හෝ මෙවැනි ප්‍රචණ්ඩත්වයකට හෝ ජීවිත හානියකට මුහුණදිය යුතු නොවන බවත්, සෑම දරුවෙකුටම ආරක්ෂාවට හා ආරක්ෂණයට අයිතිවාසිකම් ඇති බවත් අවධාරණය කරයි.