ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති වශයෙන් කටයුතු කරන ට්‍රීනා යුරන්ලි එස්කෙඩාල් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී හමුවී ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක් සිදුව තිබේ.
ශ්‍රී ලංකාව තුළ නෝර්වේජියානු ආයෝජන ඉහළ නැංවීම, කොවිඩ්-19 වසංගතය නිසා ඇතිවූ ආර්ථික අභියෝග මෙන්ම, ඉදිරි වර්ෂ කිහිපය තුල මෙරට ආර්ථිකය නැවත යථාතත්ත්වයට පත්කිරීම වැනි මාතෘකාවන් එහිදී සාකච්ඡාවට ඉලක්ක වී ඇත.
මෙහිදී ශ්‍රී ලංකාව විසින් සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙන එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් නෝර්වේජියානු තානාපතිනිය සිය සුබපැතුම් අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇති අතර, කොවිඩ්-19 වසංගතය පාලනය වීමත් සමග, විශේෂයෙන්ම මෙරටට විශාල විදේශ විනිමයක් රැගෙන එන සංචාරක ව්‍යාපාරය නැවතත් නැගී සිටිනු ඇති බවටද විශ්වාසය පළ කර තිබේ.
කොවිඩ්-19 ගෝලීය වසංගතය විසින් ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයන් වෙත ඇතිකර තිබෙන අහිතකර බලපෑම් නිසා එම රටවල් මුහුණ දෙමින් සිටින අභියෝග හා බොහෝ රටවල්වල ඇතිවූ රැකියා අහිමිවීම් හමුවේ එම රටවල් නැවත නැගී සිටින්නට දරන උත්සාහයන් පිළිබඳවද තානාපතිනිය මෙහිදී අදහස් පළ කර ඇති අතර, එකී අභියෝගයන් සාර්ථකව ජයගැනීම සඳහා නෝර්වේ රාජ්‍යය කටයුතු කළ ආකාරයද මුදල් අමාත්‍යවරයා වෙත පැහැදිලි තිබේ. එසේම ජනාධිපතිවරයාගේ දැක්ම අනුව, ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන පුනර්ජනනීය බලශක්ති ආයෝජන ඉහළ නැංවීම හා එම අරමුණ සාර්ථක කරගැනීමේ ක්‍රමවේද පිළිබඳවද මෙම සාකච්ඡාවේදී දෙපාර්ශයෙහිම අදහස් බෙදාගැනීමක් සිදුව ඇත.
නෝර්වේජියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී හිල්ඩා බර්ග්-හැන්සන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අතිරේක ලේකම් පී.එම්. අම්සා, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සම-ලේකම් ඇන්ටන් පෙරේරා සහ ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.