දේශපාලනඥයන්ට කොන්ද නවාගෙන පෙරළී වඳින සංස්කෘතිය නවත්වා, කොන්ද කෙළින් තබාගෙන සිටිය හැකි දරුවන්, වැඩිහිටියන් සිටින රටක් නිර්මාණය කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දේශපාලනඥයන්ට අතට අතදීමක්, ආයුබෝවන් කීමක් හෝ කොන්ද අංශක 45කින් නැමීමක් නොකර, ආචාර විධියක් ලෙස අංශක කිහිපයකින් ඔළුව නැමීම පමණක් ප්‍රමාණවත් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
2018 තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව පසුගිය 28දා පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,
,2015 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සැප්තැම්බර් මාස 28 වැනිදා ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය හැටියට නම් කිරීමෙන් පසුව පැවැත්වෙන තුන්වැනි සමුළුව වෙනුවෙන් අද මේ ස්ථානයේ මෙවැනි වැඩමුළුවක් එහෙමත් නැතිනම් සම්මන්ත්‍රණයක්, රැස්වීමක් සංවිධානය කිරීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. විශේෂයෙන්ම අපේ රජයේ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ප්‍රධාන නිලධාරීන් වගේම, අපේ අනාගත නායකත්වය භාරගැනීමට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් මේ තුළින් දැනුවත් කිරීම ඉතාමත් කාලෝචිතයි කියා මා සිතනවා. කෙනෙකුට තොරතුරු ලබාගැනීමේ හා දැනගැනීමට ඇති අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් හැටියට 1948 Universal Declaration of Human Rights, එහෙමත් නැත්නම් ඒ විශ්ව සම්මුතිය හරහා මුළු ලෝකයම වගේ පිළිගෙන තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම පසුගිය දශකයක් වැනි කාලයක් තුළදී තමයි, ලෝකයේ බොහෝ රටවල් මේ සම්මුතිය තම තමන්ගේ රටවල්වල සම්මත කරගන්නේ.
පසුගිය අවුරුදු 8 තුළදී සම්මත වූ රටවල් ගණන සත්ගුණයකින් විතර වැඩිවුණා. ඒ විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ අපිත් මේ පනත ගේන්නට විශාල සටනක්, අරගලයක් කළා. මම හිතන්නේ අද අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා එහෙමත් නැතිනම් විශේෂ අමුත්තා හැටියට පැමිණ සිටින අපේ වර්තමාන කථානායකතුමා, කරු ජයසුරිය මහතා තමයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට පසුගිය පාර්ලිමේන්තුවේ මේ පනත මේ රට තුළ සම්මත කරගැනීමේදී කරපු අරගලයට නායකත්වය දුන්නේ. ඇත්ත වශයෙන්ම මට මතකයි එතුමා පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් හැටියට කෙටුම්පත් කරලා, තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට භාරදුන්නා.
නමුත් එවකට හිටපු පාලකයන් එතුමාටත් හූ කියලා, එතුමාටත් කෑ ගහලා එම යෝජනාව අඩුමගානෙ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නටවත් ඉඩක් ලබා දුන්නෙ නැහැ. නමුත් 2015 දී නව රජය පත්වීමත් සමග තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම අප රජයේ ප්රමුඛ බලාපොරොත්තුවක් වුණා. ඒ අනුව, 2016 දී මේ පනත සම්මත කරගෙන මේ වනවිට තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තුළ ඇති දැනුම ක්‍රමක්‍රමයෙන් වැඩිවී තිබෙනවා. එයින් ලබාගත යුතු වාසි ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම, මේ තොරතුරු දැනගැනීමේ පනත කොයිතරම් සාර්ථක වුණාදැයි කියතොත් අද බොහෝ වේලාවට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු, එදා කරූ ජයසූරිය මන්ත්‍රීතුමා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේනකොට එතුමාට කෑගහපු මන්තී‍්‍රවරු, ඇමතිවරුම අද තොරතුරු දැනගැනීමේ පනත අනුව අපේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ගැන දැනගෙන ඒ තොරතුරු පදනම් කරගෙන දැන් අපෙන්ම ප්‍රශ්න අහනවා. ඒක හොඳියි. මේක එපා කියපු අය අද මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.
දේශපාලනඥයන්ට විතරක් නෙවෙයි, මෙහි වාසිය මේ රටේ සෑම පුරවැසියෙකුටම ලබාගන්න පුළුවන්. මොකද තොරතුරු දැනගැනීමේ පනතත් සමග අද දේශපාලනඥයන්ට විතරක් නෙවෙයි, රජයේ නිලධාරීන්ට, වෙනත් නිලධාරීන්ට සියලු දෙනාම ගන්න සෑම තීන්දුවකම විනිවිදභාවයක් තියෙන්නට ඕනෑය කියන දේ හැම වෙලාවෙම හිතේ තියෙනවා. තමන් ගන්න තීන්දුව ගැන ප්‍රශ්න කරන්න පුළුවන් කියන බව හොඳින් දන්නවා. ගමේ පාරක් හදන්න ටෙන්ඩර් එකක් දෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගමේ ඉන්න මනුස්සයෙක් තොරතුරු දැනගැනීමේ අයිතිය අනුව ඉල්ලීමක් කළොත් එහි සියලුම විස්තර ඔහුට ලබාදෙන්න අවශ්‍ය බව ඔවුන් දන්නවා. ඒ තුළින් ඒ ටෙන්ඩරය ලැබිය යුත්තාට දුන්නාද, එහෙමත් නැත්නම් අවශ්‍ය මිලටත් වඩා වැඩි ප්‍රමාණයකින් තමන්ගේ හිත මිතුරෙකුට දුන්නද කියලා දැනගන්න පුළුවන් අයිතිය තියෙන බවත් දන්නා නිසා ඇත්ත වශයෙන්ම මේ රට තුළ පිරිසිදු විනිවිද පාලනයක් සඳහා අපි පාර කපලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ජෝසෆ් ස්ටිග්ලිට්ස් කියන නොබෙල් ත්‍යාග ලැබූ විශේෂඥයාත් මේ ගැන කියන කොට කිව්වේ, තොරතුරු දැනගැනීමේ නිදහස තියෙන රටක පුරවැසියාගේ වර්ධනය වෙනුවෙන් ගන්නා තීන්දු වඩාත් ශක්තිමත් වෙනවා කියලයි. විශේෂයෙන්ම විවිධ නිලධාරීන්, දේශපාලනඥයන්ට තම තමන්ට ඕනේ විදියට ජනතාවට හංඟලා වෙනස් කරන්න බැරි බවත් එතුමා පෙන්වා දුන්නා.
ඒ විතරක් නෙවෙයි, ඇත්ත වශයෙන්ම ජනමාධ්‍යවේදීන්ට මේ තුළින් ඕනෑම තොරතුරක් ගන්න පුළුවන්. නමුත් මම කණගාටු වෙනවා, මේ තොරතුරු දැනගැනීමේ පනත තිබියදීත් අද බොහෝ ජනමාධ්‍යවේදීන් තවමත් අර ඕපාදූප ලියලා තමන්ට අහන්නට ලැබෙන දේ ඇත්තද නැද්ද කියලා තොරතුරු දැනගැනීමේ පනතෙන් හෝ දැනගන්නෙ නැතුව ලේසියට ඇහෙන දේ අර %ෆේක් නිවුස්^ එකක් විදියට ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන්ම මේ පනතත් එක්ක කාටවත් බොරු ලියන්න ඕනෙ නැහැ. තමන් ලියන දේ සනාථ කරන්න පුළුවන් කරුණු එක්කම ලියන්න පුළුවන් වාතාවරණයක් අපි ඇති කරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි, අපි මේ තොරතුරු දැනගැනීමේ පනත ගැන මීටත් වඩා ජනතාව දැනුවත් කළ යුත්තේ. සෑම කෙනෙකුටම තමන්ගේ ගමේ, තමන්ගේ රටේ, තමන්ට සම්බන්ධ යම් දෙයක් සිදුවෙනවා නම්, ඒ දේ ගැන දැනගැනීමට අවශ්‍ය තොරතුරු දින 14ක් ඇතුළත ලබාදෙන්නට මේ පනත යටතේ අපි බැඳී සිටිනවා. අන්න ඒ නිසා තමයි, මං ඉතාමත්ම සන්තෝෂ වෙන්නෙ, පනත ගැන දැනුවත් කරන්නට අපේ මාධ්‍ය අමාත්‍යාංශය හරහා දැන් විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. වැඩමුළු තියනවා ගමින් ගමට කොට්ඨාශයෙන් කොට්ඨාශයට යනවා. ඒ වගේම, දැන්වීම් ආදියෙනුත් ක්‍රියාත්මක කරලා සියලුම ජනතාව සහභාගී වන තරු හතේ ක්‍රියාකාරී ප්රජාතන්ත්රවාදයක්, ප්රජාතන්ත්රවාදී රටක් හැටියට අපි ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යායුතුයි කියා මම යෝජනා කරනවා.
අවසාන වශයෙන් තව එක කාරණාවක් කියන්න පුළුවන්. ඒකට කෙළින්ම සම්බන්ධ නොවුණත් මං හිතුවා මේක හොඳ අවස්ථාවක් කියලා. මේ දෙය මීට පෙරත් මම කියලා තියෙනවා. විශේෂයෙන්ම මගේ දිස්ත්‍රික්කයේ, මාතරදී. දැන් අපි මෙතන තෑගි දෙනකොට, ඒ සහතික දෙනකොට මේ ආපු ඒ පාසල් දරුවන් බොහෝ දෙනා ආපු ගමන්ම පෙරළිලා, දණගහලා අපිට වැන්ඳා. ඇත්ත වශයෙන්ම ඒකට මම ඒ දරුවන්ට දොස් කියන්නෙ නැහැ. එහෙම තමයි, දරුවන්ට උගන්නලා තියෙන්නෙ. නමුත් මම විශේෂයෙන්ම මේ දරුවන්ගෙන් ඉල්ලන්නෙ කරුණාකරලා දෙන හැම සහතිකේටම කොන්ද නවාගෙන, පෙරළිලා වඳින සංස්කෘතිය අපි නවත්වන්න ඕනෙ. අපි කොන්ද කෙළින් තියාගෙන ඉන්න පුළුවන් දරුවන්, වැඩිහිටියන් ඉන්න රටක් නිර්මාණය කරන්න ඕනෙ. වඳින එක හොඳයි. නමුත් වඳින්න ඕනෙ කාටද කියලා අපි දැනගන්න ඕනෙ. තමන්ගෙ දෙමවුපියන්ට වඳින්නම ඕනෙ. මොකද අපේ ජීවිතවල අපි දකින ජීවමාන දෙවිවරු දෙන්නා තමයි, තාත්තයි අම්මයි. තාත්තටයි අම්මටයි තමන්ගේ සහෝදරයන්ටයි වඳින එක හොඳයි. ඒ වගේම, ආගමික නායකයන්ට, තමන්ගේ ආගම අනුව බෞද්ධ දර්ශනය අනුව බුදුරජාණන් වහන්සේට, ක්‍රිස්තියානි දර්ශනය අනුව ජේසුස් වහන්සේට, මුස්ලිම් දර්ශනය අනුව අල්ලා දෙවියන්ට, හින්දු දර්ශනය අනුව විෂ්ණු දෙවියන්ට සහ අනෙකුත් දෙවිවරුන්ට වැන්ඳට කමක් නෑ. නමුත් දේශපාලනඥයන්ට වඳින්න ඕනෙ නෑ. මං කියන්නෙ නෑ, දේශපාලනඥයන්ට ඔරවන්න, ගහලා එලවන්න කියලා. අපිට අතට අත දෙන්න, ආයුබෝවන් කියන්න, කොන්ද අංශක 45කින් නවන්න ඕනෙ නෑ. අංශක කිහිපයකින් ඔළුව නැවුවත් ඇති. ඒ තමයි, 'එතික්ස්' නැත්නම් 'මැනර්ස්' කියන්නෙ. එච්චරයි.
නමුත් ඇත්ත වශයෙන්ම කුඩා කාලයේ කුඩා දරුවන්ගේ ඉඳලා අපි පුරුදු කරන්නේ එන හැම දේශපාලනඥයන්ටම විශේෂයෙන්ම පෙරළිලා වඳින්න. අපි වඳින්න තරම් දෙයක් කරලා තියෙනවද, නැද්ද කියලා තමුන්නාන්සේලා දන්නෙ නැහැ. අපි මෙතන ඉවරවෙලා ගෙදර ගිහිල්ලා කුඩු බිස්නස් කරනවද කියලා තමුන්නාන්සේලා දන්නෙ නැහැ. අපි මෙතන ඉඳල ගිහිල්ලා හොර අරක්කු පටවනවද කියල දන්නෙ නැහැ. මොකද එහෙම අය ඉන්නවා. ඉතින් මිත්‍රවරුනි, මම මේ ඉල්ලීම මෙතනදී කළේ, මම මේක කවදාවත් ජාතික වශයෙන් කළේ නැහැ. මම හැමදාම මාතර ළමයින්ට නම් මට වඳින්න දෙන්නෙත් නැහැ, මම කාටවත් වඳින්නෙත් නැහැ.මොකද අපි දකින්න කැමති ඇත්ත වශයෙන්ම හොඳ පෞරුෂත්වයක් තියෙන, කොන්ද කෙළින් තියාගෙන මේ රට, ලෝකයත් එක්ක ඉදිරියට ගෙනයන්න පුළුවන් තරුණ පරපුරක් තමයි, අපි හදන්න ඕනෙ. අන්න එහෙම නම් තමුන්නාන්සේලාත් මේ කටයුත්ත මතක තියාගෙන, වැඳලා පුදලා නෙමෙයි, ඇත්ත වශයෙන්ම තමුන්නාන්සේලාට රටට උපහාර දක්වන්න පුළුවන්. ඒ රටේ සංවර්ධනයට, ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ දියුණුම රටක් බවට පත් කරගන්නට තමුන්නාන්සේලාගේ දායකත්වයත් ලබාදීමෙනුයි. ඒ බව සිහිපත් කරමින් යළිත් වතාවත් මේ උත්සවය සංවිධානය කළ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්තුමිය ඇතුළු සියලු දෙනාට මගේ ස්තූතිය පිරිනමනවා." යැයි පවසා සිටියේය.