2018 දෙසැම්බර් මස 03 වැනි දින ෆිච් ආයතනය (ෆිච් රේටින්ග්ස්) සහ 2018 දෙසැම්බර් මස 04 වැනි දින ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්) විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම 'B+' (ස්ථාවර) සිට 'B' (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙළීමට ගත් තීරණය රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම මගින් පිළිබිඹු සාධකවලට පටහැනිව සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙරට දේශපාලන ක්ෂේත්රයේ මෑතකාලීනව දක්නට ලැබෙන ප්රවණතා හමුවේ වුවද, විශේෂයෙන්ම, විදේශීය මූල්‍යන අවශ්‍යතා සහ ණය ආපසු ගෙවීමේ වගකීම් ඇතුළුව ආර්ථිකය මත ඇතිවිය හැකි ඕනෑම බලපෑමක් අවම කිරීම සඳහා මහ බැංකුව සහ රජය විසින් ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව පෙන්වා දෙයි. 2019 වසරේ ජනවාරි මාසයේදී ඇ.ඩො.බිලියන 1ක සහ 2019 අප්‍රේල් මාසයේදී එ.ජ.ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම් වෙනුවෙන් රජයට ඇති විදේශීය ණය වගකීම පියවීම සඳහා බලධාරීන් විසින් සක්‍රීය වගකීම් කළමනාකරණ ක්‍රියාමාර්ගය යටතේ රුපියල් බිලියන 310 නොඉක්මවූ සීමාවක අරමුදල් සම්පාදනයට ඉඩ ප්රස්ථා සලසා ගැනීමට අමතරව, දැනටමත් උපායමාර්ගික නොවන වත්කම් මගින් ලැබුණු ආයෝජන සහ මෑතකදී ඒකාබද්ධ ණය පහසුකමෙන් වූ ලැබීම් තුළින් ස්වාරක්ෂක අරමුදලක් ගොඩනංවාගෙන ඇති බවද මහ බැංකුව කියයි. මැදපෙරදිග සහ නැගෙනහිර ආසියාතික කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවලට ණය පහසුකම් ලබාගැනීමේ මාර්ග වැඩිදියුණු වීම මත මෙම වසරේ ඉදිරි කාලපරිච්ඡේදයේදී සහ 2019 වසරේ මුල් කාලපරිච්ඡේදයේදී දළ වශයෙන් ඇ.ඩො.මිලියන 750ත්, ඇ.ඩො.බිලියන 1ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ කටයුතු අවසන් ඉදියරෙහි පවතින බවද සඳහන් කරයි. තවද, ඒකාබද්ධ ණය වැඩසටහන යටතේ 2019 වසරේ පෙබරවාරි මාසය වනවිට තවත් එ.ජ.ඩොලර් මිලියන 500ක් රැස්කර ගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මීට අමතරව, ඊළඟ වසරේදී ද්වීපාර්ශ්වික හා බහුපාර්ශ්වික නියෝජිත ආයතන විසින් ප්රතිපාදනය කරනු ඇතැයි අපේක්ෂිත ඇ.ඩො.මිලියන 600ක් තුළින්ද මේ සඳහා තවදුරටත් සහාය ලැබෙනු ඇති බවත් පෙන්වා දෙයි. මෙම ලැබීම්, පවතින අරමුදල්ද සමග 2019 වසරේ කල්පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සියල්ලම පියවීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් බව සඳහන් කරයි.
මේ අතර, සංචිතවල ප්රමාණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව විදේශ විනිමය හුවමාරු ගිවිසුම් වෙත යොමුවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාර්ක් විනිමය හුවමාරු රාමුව වැනි කලාපීය අරමුදල් සමග මෙන්ම, මහ බැංකු සමගද සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම ක්‍රියාමාර්ගය තුළින් රටේ විදේශීය සංචිතවල ප්රමාණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කිරීමට පමණක් නොව, එමගින් විදේශීය ණය සේවාකරණ වගකීම් නිසි කලට සිදුකිරීමට සහ විනිමය අනුපාතිකයේ අක්‍රමවත් විචලනයන් වැළැක්වීම සඳහා විදේශ විනිමය වෙළෙඳ පොළ වෙත විචක්ෂණශීලීව මැදිහත්වීමට අවශ්‍ය අවකාශය සපයනු ඇති බවද සඳහන් කරයි. මෑත දිනවල, විදේශ විනිමය ලැබීම් ඉහළ යාම තුළින් විනිමය අනුපාතිකයන්හි සැලකිය යුතු ලෙස සතුටුදායක ගැළපුම් සිදුවූ අතර, මෙම තත්ත්වය ඉදිරි නිවාඩු සහ නව අවුරුදු සමයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවද පෙන්වා දෙයි. මීට අමතරව, මේ වනවිටත් සිදුකර ඇති රාජ්‍ය මූල්‍ය සහ සාර්ව විචක්ෂණශීලී ක්‍රියාමාර්ග වෙළෙඳ ගිණුමේ ශේෂය වැඩිදියුණු වීම සඳහා හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එමගින් විදේශීය සංචිත සහ විනිමය අනුපාතිකය මත ඇති පීඩනය අඩු කෙරෙනු ඇතැයිද සඳහන් කරයි.
මේ අතර, මෑතකදී හඳුන්වා දුන් ණය කළමනාකරණය උපායමාර්ග සහ දේශීය ණය වෙළෙඳ පොළට ප්රවේශවීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නිර්මාණය වීම ඔස්සේ දේශීය මූල්‍ය තත්ත්වයන්ගේ සැලකිය යුතු වැඩිදියුණු වීමක් පෙන්නුම් කර ඇත. මෙමගින් 2019, 2020 වර්ෂ තුළ සහ මැදි කාලීනව භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නැවත නිකුත් කිරීමේ අවශ්‍යතාව අඩු කර ඇති බවත්, බැංකු අංශය විසින් රජයේ සුරැකුම්පත් අලුතින් ලබාගැනීම මෑත වාර්ෂවලදී පිළිබිඹු කළ සියයට 5ක පමණ ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළද, 2018 වර්ෂයේදී එම ඉහළ යාම සියයට 1.5ක් පමණක් වූ බවත් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය අංශය දේශීය හා විදේශීය අවදානම්වලට සාර්ථකව මුහුණදීමට හැකි මට්ටමේ පවතින බව තවදුරටත් අවධාරණය කළ යුතු බව පවසන මහ බැංකුව, මෙහෙයුම් වාතාවරණය අභයෝගාත්මක වුවද, බැංකු අංශය දැඩි අධීක්ෂණය හා නියාමන රාමුවක් යටතේ පවතින බවද කියයි. ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා අවශ්‍යතා ඉහළ මට්ටමක පවත්වාගෙන යෑමට බැංකු අංශයේ ඇති කැපවීම තුළින් මෙම අභියෝගවලට මුහුණදීමට ඇති හැකියාව පෙන්නුම් කෙරෙන අතර, එමගින් බැංකු අංශය සම්බන්ධයෙන් ස්ථාවර ඉදිරි දැක්මක් නිර්මාණය කෙරෙන බවද සඳහන් කරයි.
ඉහත දැක්වූ කරුණු අනුව, ෆිච් ආයතනය සහ එස් ඇන්ඩ් පී ග්ලෝබල් ආයතනය විසින් මෑතකදී කරන ලද ශ්‍රේණිගත කිරීම් සාධාරණ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අදහස් වී තිබේ. එවැනි ශ්‍රේණිගත කිරීමේ පහළ දැමීමක් සාර්ව ආර්ථික ප්රතිපත්තිවල හෝ මූලධර්මවල දුර්වල වීමක් පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැතිව දේශපාලන අස්ථාවරභාවය ඉහළ යාම යන කරුණු මත පමණක් පදනම්ව සිදුකිරීම සාධාරණීකරණය කළ නොහැකි බවද මහ බැංකුව කියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුක්ම වැඩසටහනෙහි පස්වැනි සමාලෝචනය අවසානයේ ඇතිකර ගත් නිලධාරී මට්ටමේ එකඟතාව (2018 ඔක්තෝබර් 26 වැනි දින) මගින් පවත්නා සාර්ව ආර්ථික තත්ත්වයන් තවදුරටත් ශක්තිමත් කෙරුණු බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.