රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් 700කට අධික පිරිසකගේ උපදේශනයෙන් සැලසුම් කළ ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම (NES) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යොමු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කරයි.
මෙම NES සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 70ක් එහි ක්‍රියාකාරී සැලසුම් සහ ක්‍රියාකාරකම් සමාලෝචනය කර ඇති බවද ඔවුහු පවසති. එම මැදිහත් වීම් තුළින් අදාළ පාර්ශවීය ආයතනවලට අදාළ කටයුතු මෙම සැලැස්ම තුළ ඒකාබද්ධ කිරීමට කැපවී ඇති බවත්, ඒවා ස්වකීය ආයතනවල ක්‍රියාකාරී සැලසුම්වලට අන්තර්ග්‍රහණය කර ක්‍රියාත්මක කිරීමට කැපවී ඇති බවත් එම මණ්ඩලය පවසයි.
ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්මේ ප්‍රමුඛතා අංශ සඳහා වූ සැලසුම්, ක්‍රියාත්මක කිරීමේ ආයතනයන්හි අනුමැතියෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන සමස්ත සැලැස්ම ඇතුලත් කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම NES සැලැස්ම මගින් ශ්‍රී ලංකාව පුරා විවිධ ආයතන අතර ක්‍රියාකාරිත්වය සම්බන්ධීකරණය සිදුකරන බවද සඳහන් වෙයි. මෙම සැලැස්මේ උපදේශන ක්‍රියාවලිය එය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා පුළුල් ජාතික සම්මුතියක් ගොඩනඟන බවත්, රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර කාර්යක්ෂම සම්බන්ධීකරණය NES සැලසුමේ ප්‍රගතිය සඳහා ශක්තිමත් අඩිතාලමක් සපයනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. කැබිනට් අනුමැතියෙන් පසු මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සහයෝගීතාව උපරිම මට්ටමින් අපේක්ෂා කෙරෙන බවද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ජාතික අපනයන උපායමාර්ගික සැලැස්මේ ප්‍රමුඛතා කඩිනම්ව ක්‍රියාත්මක කිරීමට බොහෝ ජාතික ආයතන දැනටමත් සැලසුම් කර ඇති බවද සඳහන් වෙයි. එබැවින්, ජාතික මට්ටමේ ප්‍රමුඛතා සඳහා බොහෝ මූල්‍ය ප්‍රතිපාදන 2018 අයවැයට ඇතුලත් කර ඇති බවත්, ඒ අනුව, අපනයන පරිපාලන ක්‍රියාවලීන්හි ප්‍රධාන ප්‍රතිසංස්කරණ, වෙළෙඳ කටයුතු ලිහිල් කිරීම සඳහා නව මෙවලම් හා පද්ධති සකස් කිරීම මෙන්ම අපනයන නවෝත්පාදන සහ ප්‍රවර්ධනය දිරිමත් කිරීම යනාදීන් ආරම්භ කිරීමට නියමිත බවත් ඔවුහු පවසති.
මෙම NES සැලැස්ම අපනයන ක්ෂේත්රය නගා සිටුවීම සඳහා කාලෝචිත අභිප්‍රේරණයක් බවද සඳහන් වෙයි. අපනයන ආදායම ඉහළ නැංවීම සහ දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීම යනාදී ජාතික ආර්ථික කවුන්සිලයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී මෙම සැලසුම අත්වැලක් සපයනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
ආර්ථික ප්‍රතිසංස්කරණවල වත්මන් ප්රවණතා සමග ඉහළ යන කලාපීය වෙළෙඳ අවස්ථා, ශ්‍රී ලංකාව නව අපනයන යුගයක් කරා ගෙනයාම හා අපනයන වර්ධනයක් අත්කර ගැනීම සඳහා ඉවහල් වන බවද සඳහන් වෙයි.
මෙම අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන සැබෑ විභවයන් කරා ළඟාවිය හැකි ප්‍රතිසංස්කරණ සඳහා පැහැදිලි දර්ශනයක් මෙම සැලසුම මගින් යෝජනා කර ඇති බව කියැවෙයි. %ශ්‍රී ලංකාව - නවෝත්පාදනය සහ ආයෝජන මගින් මෙහෙයවන අපනයන කේන්ද්‍රස්ථානයක්^ යන නව දැක්මක් යටතේ මෙම NES සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් නැගී එන අංශ ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පහසුකරලීම සපයන අතර, එමගින් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ක්ෂේත්රයම ප්රතිලාභ ලබනු ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
NES සැලැස්ම තුළ ජාතික තත්ත්ව යටිතල පහසුකම්, නවෝත්පාදන හා ව්‍යසායකත්වය, වෙළෙඳ තොරතුරු සහ ප්‍රවර්ධනය වැනි ප්‍රධාන වෙළෙඳ සහයෝගී කාර්යයන් ශක්තිමත් කිරීම තුළින් සියලුම ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන් සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කරනු ඇති බවද ඔවුහු පවසති.
සාම්ප්‍රදායික අපනයන ක්ෂේත්රයේ වර්ධනයට තවදුරටත් සහයෝගය ලබාදෙමින් නව අපනයන බිහිකිරීම සඳහා NES සැලැස්ම ප්‍රතිඵල දායකත්වයක් සපයන බවද කියැවෙයි. මෙමගින් අවධානය යොමු කරන ක්ෂේත්‍ර වන්නේ තොරතුරු තාක්ෂණ - ව්‍යාපර ක්‍රියාවලි කළමනාකරණ (IT-BPM), සුව සේවා සංචරණ, කුළු බඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන, බෝට්ටු කර්මාන්තය, සැකසූ ආහාර සහ පාන වර්ග සහ ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් උපාංග යනාදියයි.
ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ කාලපරිච්ඡේදය වසර 2018 සිට 2022 දක්වා වන බවත්, 2022 වනවිට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇ.ඩො.බිලියන 28 දක්වා වැඩි කිරීම මෙහි අරමුණ බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.