ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්වීපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එලැඹ තිබේ. දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්වීපාර්ශ්වික වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිත කිරීමටත් හැකි වන පරිදි මෙම ගිවිසුමට එලැඹුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් ඇ.ඩො.බිලියන 1.5ක) මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබා ඇති අතර, මෙම ගිවිසුම වසර 3ක කාල සීමාවක් සඳහා වලංගු වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත්, මහ බැංකු දෙකෙහි අධිපතිවරුන් වන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ චීන මහජන බැංකු අධිපති ආචාර්ය යී යැන්ග් යන මහත්වරුන් මෙම ගිවිසුමේ අත්සන් දායකයන් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්රභවය වන අතර, 2020 දී චිනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇ.ඩො.බිලියන 3.6ක් වූ අතර, එය ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%කි.