කොළඹ වරාය නවීකරණයට ඩොලර් මිලියන 17ක ඇමෙරිකානු ආයෝජන
දකුණු ආසියාවේ කාර්යබහුලම සහ උපායමාර්ගික වශයෙන් වැදගත් සමුද්රීය වෙළඳ මධ්යස්ථාන අතරින් එකක් වන කොළඹ වරායේ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 17ක ආයෝජනයක් සිදු කරන බව එක්සත් ජනපදය අද නිවේදනය කර තිබේ.
ශ්රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ එක්ව, ඇමෙරිකානු තාක්ෂණය යොදා ගනිමින් වරාය මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ඩිජිටල් පද්ධති හඳුන්වා දීමට එක්සත් ජනපදය කටයුතු කරනු ඇත. මෙම ව්යාපෘතිය මඟින් ගෝලීය වෙළඳාම තුළ ශ්රී ලංකාවේ කාර්යභාරය ශක්තිමත් කරන අතරම, ඇමෙරිකානු ව්යාපාරවලට සහාය වීමටත්, එක්සත් ජනපදයේ සැපයුම් දාම සුරක්ෂිත කිරීමටත්, එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර වාණිජ අවස්ථා පුළුල් කිරීමටත් දායක වනු ඇත.
එක්සත් ජනපදයේ අරමුදල් මත ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය මගින්, ලේඛන කටයුතු අවම කිරීමට, සම්බන්ධීකරණය විධිමත් කිරීමට සහ කොළඹ වරාය හරහා භාණ්ඩ හැසිරවීමේ කටයුතු වේගවත් කිරීමට උපකාරී වන, සම්බන්ධිත ඩිජිටල් පද්ධති දෙකක් වන නාවික සේවා හා තොරතුරු හුවමාරු පද්ධතිය (Maritime Single Window) සහ වරාය ප්රජා පද්ධතිය (Port Community System) සංවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකා වරාය අධිකාරියට සහාය ලබා දෙනු ඇත. මෙම පද්ධති මඟින් නැව් සමාගම්, රේගු නිලධාරීන්, ආගමන බලධාරීන්, වරාය මෙහෙයුම්කරුවන් සහ ව්යාපාරික ආයතන අතර ඉලෙක්ට්රොනික ක්රමයට තොරතුරු හුවමාරු කර ගැනීමට හැකි වනු ඇත. එමඟින් වෙළඳ කටයුතු මන්දගාමී කරන ලේඛන කටයුතු සහ එකිනෙකට සම්බන්ධ නොවූ ක්රියාවලීන් වෙනුවට වඩාත් කාර්යක්ෂම ක්රමවේදයක් හඳුන්වා දෙනු ඇත.
කොළඹ වරාය වාර්ෂිකව එක්සත් ජනපදය හා සම්බන්ධ ඇමරිකානු ඩොලර් බිලියන 30ක් පමණ වටිනා භාණ්ඩ හසුරුවන අතර, එය දකුණු ආසියාව ගෝලීය වෙළඳපොළ සමඟ සම්බන්ධ කරන ප්රධාන ප්රතිනැව්ගත කිරීමේ මධ්යස්ථානයක් (transshipment hub) ලෙස ද ක්රියා කරයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා, “ඇමෙරිකානු වෙළෙඳාම රඳා පවතින්නේ කාර්යක්ෂම, විශ්වසනීය සහ නවීන වෙළඳාමේ අවශ්යතා සපුරාලීමට සූදානම් වරායන් මතයි. එක්සත් ජනපදය වෙත පැමිණෙන සහ එරටින් පිටත්ව යන භාණ්ඩ රැගත් කන්ටේනර් ලක්ෂ පහකට අධික සංඛ්යාවක් වාර්ෂිකව කොළඹ වරාය හරහා ප්රවාහනය කෙරෙන අතර, ඒවා ඩොලර් බිලියන ගණනක වෙළඳාමකට දායක වෙනවා. භාණ්ඩ ප්රවාහනය වේගවත් වී ප්රවාහන පිරිවැය අඩු වන විට, ඇමෙරිකානු සමාගම්වලට වෙළෙඳපොළ තුළ වඩාත් තරගකාරී වීමට හැකි වන අතර, ඇමෙරිකානු පාරිභෝගිකයින්ට ද මුදල් ඉතිරි කර ගැනීමට හැකි වෙනවා. ඩොලර් මිලියන 17ක මෙම ආයෝජනය මඟින් අපගේ ආර්ථිකයන් රඳා පවතින සැපයුම් දාම ශක්තිමත් කිරීමටත්, ඇමෙරිකානු තාක්ෂණික සමාගම් සඳහා වාණිජ අවස්ථා පුළුල් කිරීමටත් සහාය ලැබෙනු ඇති”යනුවෙනි.
ඇමෙරිකානු වෙළෙඳසැල් වෙත නැව්ගත කෙරෙන ශ්රී ලාංකේය ඇඟලුම්වල සිට ගෝලීය සැපයුම් දාම හරහා ප්රවාහනය කෙරෙන ඇමරිකානු යන්ත්රෝපකරණ, ආහාර සහ එදිනෙදා භාවිතයට අවශ්ය භාණ්ඩ දක්වා, වරායන්හි සිදුවන ප්රමාදයන් හේතුවෙන් ව්යාපාරිකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද වැඩි පිරිවැයක් දැරීමට සිදු වේ. ශ්රී ලංකාව සිය වරාය ධාරිතාව පුළුල් කරන විට, ඉහළ යන භාණ්ඩ ප්රමාණය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමටත්, නැව් වරායේ ගත කරන කාලය අඩු කිරීමටත්, කලාපීය සමුද්රීය මධ්යස්ථානයක් ලෙස කොළඹ වරායේ තරගකාරීත්වය පවත්වා ගැනීමටත් නවීන ඩිජිටල් යටිතල පහසුකම් අත්යවශ්ය වනු ඇත.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා අදහස් දක්වමින්, “කලාපීය සමුද්රීය මධ්යස්ථානයක් ලෙස කොළඹ වරායේ අනාගතය රඳා පවතින්නේ භෞතික යටිතල පහසුකම් පුළුල් කිරීම මත පමණක් නොව, අපගේ වරාය මෙහෙයුම් ද නවීකරණය කිරීම මතයි. මෙම ව්යාපෘතිය මඟින් වෙළඳ කටයුතු පහසු කිරීමටත්, ව්යාපාරික අවස්ථා ආකර්ෂණය කර ගැනීමටත්, ජාත්යන්තර වෙළෙඳපොළ සමඟ ශ්රී ලංකාවට ඇති සබඳතා ශක්තිමත් කිරීමටත් සහාය ලැබෙනු ඇති. ශ්රී ලංකාවේ දිගුකාලීන ආර්ථික තරගකාරීත්වය ඉහළ නැංවීමට දායක වන මෙම ව්යාපෘතිය සඳහා එක්සත් ජනපදය ලබා දෙන සහාය අපි අගය කරනවා” යැයි පවසා සිටියේය.
මෙහිදී, ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක මහතා අදහස් දක්වමින්, “කලාපයේ ප්රමුඛ සමුද්රීය හා ප්රවාහන-සැපයුම් මධ්යස්ථානයක් ලෙස ශ්රී ලංකාවට තවදුරටත් සිය ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කොළඹ වරාය නවීකරණය කිරීම අත්යවශ්ය වෙනවා. මෙම නව ඩිජිටල් පද්ධති මඟින් වරාය මෙහෙයුම්වලට සම්බන්ධ විවිධ ආයතන සහ ව්යාපාර එකිනෙක සම්බන්ධ කිරීමටත්, අනවශ්ය ප්රමාදයන් අවම කිරීමටත්, නැව් සමාගම් සහ පාරිභෝගිකයින්ට වඩාත් විශ්වාසදායක හා කාර්යක්ෂම සේවාවන් සැපයීමටත් අපට හැකි වනු ඇති. අනාගත වර්ධනයට සරිලන පරිදි අපගේ වරායන් සූදානම් කරන මෙම අවස්ථාවේදී, එක්සත් ජනපදය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය අපි සාදරයෙන් පිළි ගන්නවා” යැයි සඳහන් කළේය.
නව පද්ධති සංවර්ධනය සඳහා අවශ්ය දෘඩාංග, මෘදුකාංග සහ තාක්ෂණික විශේෂඥ දැනුම සැපයීමේදී තරග කිරීමට ඇමරිකානු තාක්ෂණික සමාගම්වලට අවස්ථා සැලසීමට ද මෙම ව්යාපෘතිය දායක වනු ඇත. ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේ හවුල්කරු තෝරා ගැනීම සඳහා විවෘත හා තරගකාරී ක්රියාවලියක් අනුගමනය කරනු ඇත. තීරණාත්මක වෙළඳ මාර්ග ශක්තිමත් කිරීම, ඇමරිකානු තාක්ෂණික සමාගම් සඳහා අවස්ථා උදා කිරීම සහ ඉන්දියානු සාගර කලාපයේ ප්රධාන සමුද්රීය වෙළඳ හවුල්කරුවෙකු ලෙස ශ්රී ලංකාවේ කාර්යභාරය තවදුරටත් තහවුරු කිරීම මඟින් මෙම ආයෝජනය එක්සත් ජනපදයේ ආර්ථික හා ජාතික ආරක්ෂක අභිලාෂයන් ඉදිරියට ගෙන යයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

