දිනෙන් දින උග්‍ර තත්ත්වයට පත් වන කොවිඩ්-19 වසංගතයෙන් ජනතාවගේ ජීවිත හා ආර්ථික තත්ත්වය සුරක්ෂිත කර ගැනීමට වඩාත් ඵලදායී හා විශ්වාසනීය ක්‍රියාමාර්ග අවශ්‍ය බවත්, ලීසිං හා ණය වාරික ගෙවීමේදී ජනතාව දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වසංගතය පැතිරීම හේතුවෙන් බොහෝ පිරිසකට තම ජීවනෝපාය කර ගැනීමට නොහැකි වී ඇති බවත්, බොහෝ දෙනාගේ ආදායම් මාර්ගද අවහිර වී ඇති නිසා ලබාගත් ණය පහසුකම් (ලීසිං), කල්බදු සහ මූල්‍ය පහසුකම් යළි ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විශාල පිරිසක් අර්බුදයකට මුහුණ පා අසරණ වී ඇති ඔවුන් පවසයි.
එසේම සංචාරක ක්ෂේත්රය, අධ්‍යාපන ක්ෂේත්රය, ආනයන සහ අපනයන, ස්වයං රැකියාකරුවන්, උපකාරක ගුරුවරුන්, හෝටල් සහ ආපනශාලා හිමිකරුවන්, පාසල් බස් රථ සහ වෑන් රථ හිමිකරුවන්, සුළු ව්‍යාපරිකයන්, කුලී වාහන රථ හිමියන්, පුද්ගලික බස් රථ හිමියන් ආදී ක්ෂේත්‍ර ගණනාවක විශාල පිරිසක් මේ වනවිට බරපතළ ගැටලුවකට මුහුණ පා ඇති බවත්, ලීසිං ආයතන විසින් අයථා ලෙස දඩ පොලියක් අයකිරීම සහ එම රථ වාහන නැවත අත්පත් කර ගැනීම ඊට හේතුව බවත් ඔවුන් පවසයි.
එසේම මහ බැංකුව විසින් ලබාදෙන චක්‍රලේඛ ලීසිං ආයතන විසින් සත පහකට මායිම් නොකර ආයතනයේ අභිමතය පරිදි කටයුතු කරන බවද පෙන්වා දෙන ඔවුන්, 'මොරටොරියම්' යැයි පැවසෙන සහනයක් මහ බැංකුව විසින් පාරිභෝගිකයාට දුන්නද, එයින්ද පාරිභෝගිකයා තවත් මහ පාරට ඇද දැමීමක් සිදුව ඇති බව කියයි. මේ අපහසු සහ ජනතාව අසරණභාවයට පත්ව ඇති කාලය හමුවේ 5%ක අමතර පොලියක් ලබාගෙන ලීසිං වාරිකය වසරක්වත් පසුපසට දැමීමක් සිදුකරන්නේ නම් යම් සාධාරණයක් ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.