ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව පවත්වනු ලබන 'කොටස් වෙළෙඳ පොළ නගරයෙන් නගරයට' ආයෝජක සම්මන්ත්රණ මාලාවේ 12 වැනි සම්මන්ත්‍රණය 2018 ජූලි මස 25 වැනි දින අනුරාධපුරය, ගෝල්ඩන් මැන්ගෝ රිසෝට් හෝටලයේදී පවත්වා තිබේ.
කොටස් වෙළෙඳ පොළ ඇතුළු සුරැකුම්පත් වෙළෙඳ පොළ තුළ ඇති ආයෝජන අවස්ථා සහ එමගින් සැපයෙන සේවා පිළිබඳව පැමිණි සිටි ආයෝජකයන් දැනුවත් කරමින් ප.ව. 5.00 සිට ප.ව. 7.00 දක්වා පැවති මෙම වැඩසටහනට 300කට අධික ආයෝජක පිරිසක් පැමිණ සිටි බව ඔවුහු පවසති.
මීට පෙර පවත්වන ලද මීගමුව, කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය, පානදුර, මඩකලපුව, බණ්ඩාරවෙල, කුරුණෑගල සහ ඇඹිලිපිටිය සම්මන්ත්රණ සඳහා මෙන්ම, අනුරාධපුරය පැවති සම්මන්ත්‍රණය සඳහාද විශාල ආයෝජක උනන්දුවක් පැවතීම විශේෂත්වයක් බව ඔවුහු සඳහන් කරති.
කොටස් වෙළෙඳ පොළ හඳුන්වාදීම සම්බන්ධයෙන් පවත්වනු ලැබූ දේශනයත් සමග සම්මන්ත්‍රණය ඇරඹුණු අතර එස්.එම්.බී සෙකියුරිටීස් (පෞද්.) සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක - ව්‍යාපාර සංවර්ධන ප්‍රභාෂ් වනිගතුංග මහතා විසින් එය පවත්වා තිබේ. ඉන් අනතුරුව ඩේවිඩ් පීරිස් සමාගම් සමූහයේ පර්යේෂණ ප්‍රධානී සිදත් කල්‍යාණරත්න මහතා විසින් කොළඹ කොටස් හුවමාරුවේ ක්ෂේත්‍ර කාර්ය සාධනය සහ ආයෝජන අවස්ථා පිළිබඳ දේශනය පවත්වා තිබේ.
ප්‍රධාන දේශනවලින් අනතුරුව පැවති විද්වත් මණ්ඩල සාකච්ඡාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ බාහිර සම්බන්ධතා සහ අවේක්ෂණ අංශයේ අධ්යක්ෂ තුෂාර ජයරත්න, කොළඹ කොටස් හුවමාරුවේ වෙළෙඳ පොළ සංවර්ධන අංශයේ ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර යන මහත්වරුන් සහ ප්‍රධාන දේශකයන් දෙපළ ඇතුළත්ව ඇති අතර, කොළඹ කොටස් හුවමාරුවේ අනුරාධපුර ශාඛාවේ කළමනාකරු තාරක අමරසේන මහතා විසින් සාකච්ඡාව මෙහෙයවා තිබේ.
ඊට අමතරව, කොටස් තැරැව්කාර ආයතන සහ ඒකක භාර කළමනාකාර සමාගම්වල නියෝජිතයන් පැමිණ සිටි අයෝජකයන් සඳහා අවශ්‍ය උපදෙස්, නව ගිණුම් විවෘත කිරීම ඇතුළු පහසුකම් සපයා තිබේ. වැඩමුළුව තුළින් ලබාදුන් විවිධ පහසුකම් ලබාගැනීමට සහභාගී වූ පිරිස විශාල උනන්දුවක් දැක්වීම කැපී පෙනුණු ලක්ෂණයක් බවත්, මෙම සම්මන්ත්රණ මාලාව අඛණ්ඩව තවදුරටත් පවත්වාගෙන යාමට කටයුතු සැලසුම් කර ඇති බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.