ලන්ඩන් නුවරදී වර්ෂ එක්දහස් නවසිය අනූ ගණන්වල උමතු ආදරයක පැටලී සිටි තමා, ඒ බව දන්වා මවට එවූ ලිපියට ඇය පෙරළා දැක්වූ අදහස ගැන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කතා කළේය.
ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් කොළඹදී පැවැති උත්සව සභාව අමතමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මීට අවුරුදු තිහකට පෙර මේ මාසයේ දිනෙක පළමු වරට මා පාර්ලිමේන්තුවට ඇතුලත් වූ විට මාගේ හිත හීන රැසක් පිරී තිබුණා. මාගේ ආදරණීය මාතෘ භූමිය ගැන, මාගේ ආදරණීය ජනතාව ගැන මෙන්ම මා ගැනත් මගේ සිත ඒ හීනවලින් පිරී තිබුණ.
උතුරේ වියරු යුද්ධයක් පැවැති අතර ඊට සමාන ඛේදජනක තරුණ කැරැල්ලකින් දකුණ ගිනිගෙන තිබුණ. මම වැඩිපුරම හීන මැව්වේ සියලු ශ්‍රී ලාංකිකයන්ට තම කුල පන්තිය වර්ගය හෝ ආගම කුමක් වුවත් සැමට එකමුතු වී අභිමානයෙන් යුතුව ජීවිත් විය හැකි සාමකාමී වාතාවරණයක් පිළිබඳවයි.
ජේ.ආර්. ජයවර්ධන යුගයේ මුල් කාලවලදී රට ලැබූ ඒ ඇදහිය නොහැකි ආර්ථික ප්රගමනය, උතුරේ පැවැති වෙනම රාජ්‍යක් සඳහා වූ අරගලය සහ දකුණේ මාක්ස්වාදී මනෝ රාජ්‍ය විසින් විනාශ කළා. දිනපතාම වගේ වටිනා ජීවිත සිය ගණන් විනාශයට පත් වුණා. බොහෝ තරුණ කොටස් හිතනපතන ආකාරයට මමත් සිතුවේ, යම් වෙනසක් කිරීමට මටත් හැකි බවයි.
මම හිතන්නේ මගේ මුල් ළමා කාලයේ සිටම මම සිහින දකින්න දක්ෂයෙකු බවයි. ඇත්තෙන්ම කියනවා නම්, මුල් කාලයේ මගේ සිහිනයක් වූයේ මෝටර් රථ ධාවකයකු වීමටයි. නමුත් මාගේ ජීවිත කාලය පුරාවට මම වාහනයක් පදවා නෑ.
පසුව මම මෝස්තර නිර්මාණ ශිල්පියකු වීමට සිහින මැවුවා. ඒ සමගම ශාන්ත මාටින්ස් මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයකු බවට පත්ව ලන්ඩන් සහ පැරිස් නගරවල ඒ පිළිබඳ අධ්‍යන කටයුතුවල නිමග්න වුණා. කෙසේ වුවත් 1980 දී ශ්‍රී ලංකාව තුළ ඇති වූ සැලකිය යුතු වෙනස්කම් දුටු මම මාගේ වෘත්තිය මේ රටේම කරගෙන යාමට තීරණය කළා.
ඒ කාලයේ පෝලිම් හා අගහිඟකම්වලින් පිරුණු කාලයක්. නව යුගයක ආරම්භය සනිටුහන් වී තිබුණු බැවින් ශ්‍රී ලංකාව එකල බලපොරොත්තු හා පොරොන්දුවලින් පිරී තිබුණා. 1981 දී මෙරටට පැමිණ සාර්ථක නිර්මාණකරුවකු ලෙස ඉදිරියට යාමට එවකට පැවැති වටපිටාව මා පොළඹවනු ලැබුවා. මෙහි පැමිණි පසු මෙරට මූර්තිමත් රෙදිපිළි කර්මාන්තවේදිනියක වූ චන්ද්‍රා තේනුවර මට මුණ ගැසුණා. එකල රෙදිපිළි කර්මාන්ත අමාත්‍ය අභාප්‍රාප්ත විජේපාල මෙන්ඩිස් මහතාගේ භාරකාරත්වය යටතේ පැවැතුණා. රෙදිපිළි නිර්මාණ උපදේශයකු ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තය නිර්මාණශීලි ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කිරීමටත් තේනුවර මැතිණිය මට ආරාධනා කළා.
මගේ පියා වූ මහානාම සමරවීර මහතා මා වගේම හීන දකින්නෙක්. ඔහුගේ උපන් නම දොම් මෝර්ටන් ය. අධ්‍යාපනය ලැබුවේ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන්. කෙසේ වුවත් ඔහු තරුණ නීතිඥයකු ලෙස සාර්ථක දේශපාලනඥයෙකු වීමේ අධිෂ්ඨානයෙන් තම මුල් නම මහානාම ලෙස වෙනස් කරනු ලැබුවා. ඒ කාලයේ ජීවත් වූ බොහෝ තරුණ කොටස් මෙන් මගේ පියාද තම තරුණ අවධියේ කොමියුනිස්ට්වාදියෙකු වුණා. තරුණ නීතිඥයකු ලෙස ඔහු පොලීසියේ කෘරත්වයට එරෙහි හා කුලය නිසා හිංසා පීඩාවට පත් වින්දිතයන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටි නීතිඥයකු ලෙස නමක් දිනාගත්තා. මගේ පියා 1952 දී පළමු වරට පාර්ලිමේන්තුවට පත්ව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක රජයේ නියෝජ්‍ය අධිකරණ ඇමැතිවරයා ලෙස පත් වුණා. 1956 දී ඔහු මරණ දඬුවම අහෝසි කරන ලෙස පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මගේ පියාගේ එම අවංක හා කෙළින් කතා කරන දේශපාලන උරුමය සමග ඔහුගේ කීර්තිය තමයි, ඔහුගේ අභාවයෙන් වසර 23 පසු පාර්ලිමේන්තුවට ඇතුළත් කිරීමට මා පොළඹවනු ලැබුවේ.
අනිත් අතින් මගේ මව වූ ඛේමා හීන දකින තැනැත්තියක් නොවෙයි. ඒ වනවිට ඇය ප්‍රායෝගික හා කරුණාවන්ත කාන්තාවක් වුණා. මාතර ජනතාව මගේ පියාට ගෞරව කරන්නේ යම් සේද ඔවුන් මගේ මවට ආදරේ කරන්නෙත් එලෙසමයි.
ශ්‍රී ලංකා දේශාලනයට ඇතුළත් වූ කාන්තාවන් අතර මගේ මව ප්රමුඛ තැනැත්තියක්. ඇය 1950 දී මාතර නගර සභාවට තේරීපත් වුණා. නමුත් ඇය ඇයගේ සම්පූර්ණ සේවා කාලය නිමා කළේ නෑ. ඇය වැඩිකල් නොගොස් තමාට ලැබුණු නව භූමිකාව දැඩි බාධාකාරී හා ගතානුගතිකත්වයන් යුක්ත බව තේරුම් ගත්තා. ඇය ජනතාවාදී පුද්ගලයෙක්. මගේ සමහර යහපත් ගුණාංග මගේ මවගෙන් මට උරුම වූ ඒවා ලෙස මම හිතන්න කැමැතියි. මගේ මව විවේචනාත්මක කාන්තාවක් නොවෙයි. මට මතකයි, එක්දාස් නවසිය ගණන්වල මම උමතු ආදරයක පැටලිලා සිටින බවට ලන්ඩන් සිට ඇයට ලියුමක් ලිව්වා. සතියකට පසු මට ඇගෙන් පිළිතුරක් ලැබුණා. "කවුරුන් හෝ කෙනෙකු ඔබව සතුටට පත් කරයි නම් එයින් මමද සතුටට පත වන" බව ඇය ප්‍රකාශකර තිබුණා,.
ඇය ජාතිවාදී පුද්ගලයකු නොවෙයි. මිශ්‍ර විවාහ බරපතල ලෙස සැලකූ එවන් යුගයක මගේ නැන්දා වූ මානෙල් දෙමළ නීතිඥයකු වූ කුමාර් ආනන්දන් සමග විවාහ වුණා. ඔහු වයස 18 දී පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා ගිනස් වාර්තාවක් තිබූ පුද්ගලයෙක්. නම යුවල මහත් හරසරින් යුතුව පිළිගත් පවුලේ පළමු සාමාජිකාව වූයේ මගේ මවයි.
1988 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස මාතර පක්ෂ ක්‍රියාකාරීන් පළමු වරට හමුවූ විට බොහෝ අය අනෙකුත් පුද්ගලයන්ට මා හඳුන්වා දුන්නේ ‘ඛේමාගේ කොලුවා‘ කියලයි. එවිට ඔවුන් පැවැසුවේ තම සහයෝගය අවශ්‍ය නම් අම්මා සමග යළි පැමිණෙන ලෙසයි. ඔවුන් සමහරක් අදටත් මා හඳුන්වන්නේ ඛේමාගේ කොලුවා ලෙසයි. ඔවු එසේ අමතනු ලැබීම ගැන මම අතිශයින් ආඩම්බරයට පත් වෙනවා.
අවුරුදු 30කට පසු මම තවමත් හීන දකින්නකු ලෙස සිටිනවා. මගේ රට ගැන මා දුටු බොහෝ සිහින තවමත් සැබෑ වී නෑ. නමුත් යම් තරමකට හෝ වෙනසක් මේ රටට කිරීමට හැකි වූවා යැයි මට සිතෙන අතර ඊට උරදුන් විශේෂ පුද්ගලයන්ට මම ස්තුතිවන්ත වෙනවා.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හා අනුර බණ්ඩාරනායක මා තුළ සිටි දේශපාලනඥයා දකින්නට ඇතැයි සිතනවා. ඔවුන් දෙදෙනා තමයි මාගේ ආසනයේ සංවිධායක ධුරය භාරගන්නා ලෙස 1988 දී මට ආරාධනා කළේ.
මම පළමුවෙන්ම ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමට සහභාගී වූණා. පළමු වරට අනෙකුත් සංවිධායකවරුන්ට මා හඳුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි. පසුව අපි අම්මාවරුන්ගේ පෙරමුණ පිහිටුවා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර යාමට මට සිදු වූ කරුණ එකල මගේ පක්ෂයේ සිටි හොඳම මිත්‍රයෙකු බව මම දැනගත්තේ පසු කලෙකයි.
අද අපි විරුද්ධ දේශපාලන කඳවුරුවල සිටියත්, අදටත් මම මහින්ද රාජපක්ෂ මගේ මිතුරෙකු ලෙසයි සලකන්නේ. ඒ වගේම, ඔහු මේ අවස්ථාවට සහභාගී වී සිටීම මට මහත් සතුටක්.
මගේ දේශපාලන ක්‍රියාව වෙනස් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. ඇය තමයි, දියාරු වූ පක්ෂයට යළි බලාපොරොත්තු හා වෙනසක් රැගෙන ආවේ.
සමහරවිට ඇය තමයි, ෆෙඩරල් විසඳුමක් පිළිබඳව කථා කළ ප්‍රථම ශ්‍රී ලාංකේය දේශපාලනඥවරිය. එවකට පැවැති වර්ගවාදී යුද්ධයට එය විසඳුමක් ලෙස ඇය විශ්වාස කළා. ජනාධිපති කුමාරතුංග විවෘත ආර්ථික ක්‍රමයට මානුෂීය මුහුණුවරක්දී එය පිළිගනු ලැබුවා.
1977 දී ශ්‍රී ලංකා විදුලි සංදේශ සේවාව පෞද්ගලීකරණය කිරීම සංවර්ධනය වෙමින් පවත්නා රටක පෞද්ගලීකරණය පිළිබඳ පාඩම් පොත ලෙස තවමත් සලකනු ලබනවා. එමෙන්ම, කොළඹ නගරය සංවර්ධය කරා අලංකාර කිරීමට ඇය මට අවස්ථාවක් ලබා දුන්නා. ගාලු මුවදොර පිටිය යළි හරිතකරණය කිරීම, බේරේ වැව සංවර්ධනය කිරීම, සහස්පුර යටතේ මුඩුක්කු වෙනුවට නිවාස ලබාදීම ආදිය අවසානයේ අද දින කොළඹ නගරය ආසියාවේ ලස්සනම නගරයක් හා ජීවත්වීමට සුදුසුම නගරයක් බවට පත්වීම දක්වා ගමන්කර තිබෙනවා.
1995 දී ඊළාම් යුද්ධය ඇරඹුණු පසු කුමාරතුංග ජනාධිපතිනියගේ ඉල්ලීම පරිදි සුදු නෙළුම් ව්‍යාපාරය ආරම්භ කර යුද්ධයට ස්ථිර විසඳුම සෙවීම හා තිරසාර සාමය සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බව සිංහල ගම් වැසියන්ට ඒත්තු ගැන්වීමට කටයුතු කළා. මෙහි ප්‍රධාන අංගයක් වූයේ "පොතක් හා ගඩොලක්" ව්‍යාපෘතිය යටතේ යාපනය පුස්තකාලය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීමයි. අභාවප්‍රාප්ත ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් හරහා එම කටයුත්ත සම්පූර්ණ කරගැනීමට ලැබීම මා පෞද්ගලිකව ආඩම්බර වන තවත් කරුණක්.
හීන නොදකිමින් සිටි වකවානුවකට පසු, 2010 වසරේදී මම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණා. අපි අතර පැවැති යම් යම් දේශපාලනික අමනාපකම් අමතක කර එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා මා, මහත් හරසරින් පක්ෂයට පිළිගනු ලැබුවා. මෙය මට දැනුනේ මම යළි ගෙදර පැමිණි බවක් ලෙසයි.
එහිදී මට මගේ දේශපාලන විශ්වාස හා හරයන් බෙදාගත හැකි ප්රබෝධාත්මක නායකයෙකු සහ කණ්ඩායමක් හමුවුණා. එමෙන්ම එ.ජා.පය තුළ බියෙන් සැකෙන් තොරව මට යළි සිහින දකින්නට හැකි වාතාවරණයක් හිමිවුණා.
2015 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පැමිණීමත් සමග අපි මැවූ සිහින බොහෝමයක් සැබෑ කරගැනීමට නොසිතූ ආකාරයකින් අවස්ථාවක් උදාවුණා. ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කෙරුණා. නීතියේ ආධිපත්‍ය තහවුරු වුණා. එමෙන්ම, සංහිඳියාවේ ආගමනයක් සිදුවීම සඳහා මූලිකත්වයක් දෙනු ලැබුවා.
පසුගිය දින 51 ක ව්‍යවස්ථා අර්බුදවලින්ද කියාපෑවේ අප රටේ පාර්ලිමේන්තුවේ හා අධිකරණයේ පවත්නා ස්වාධීන බවයි. අපි දැන් පරිණත ප්රජාතන්ත්රවාදී රටක්. මේ නව ආණ්ඩු කාලය තුළ බලාපොරොත්තු කඩවීම්, කණගාටුදායක සිදුවීම් සිදු නොවුණා යැයි කියන්නට මට නොහැකියි. නමුත් අප බලාපොරොත්තු අත් නොහැරිය යුතුයි. වඩා හොඳ අනාගතයක් වෙනුවෙන් යළිත් සිහින මැවීම කළ යුතුයි. දේශපාලනය කරන නොකරන අපි සියලු දෙනාටම විශාල වගකීම් තිබෙනවා. එනම්, මේ රට සමෘද්ධිමත් කිරීම සඳහා යහපත් සිහින හෙළිකර ගැනීමට අවධානය ගැනීමයි. එබඳු ශ්‍රී ලංකාවක් තුළ සියලු ආගම්, ජාති, කුලවල ජනතාවට සතුටින් සමාදානයෙන් හා අභිමානයෙන් සිටීමට වාතාවරණයක් ඇති කිරීමයි.
එමෙන්ම, මේ දිගු 30 වසර තුළ මේ සියලු දේ කිරීමට මා පාර්ලිමේන්තුවට පත්කර යැවූ මාතර ජනතාවටද මේ අවස්ථාවේ මාගේ ප්‍රණාමය පුදකරනවා." යැයි පවසා සිටියේය.