උතුරේ ජනතා සුබසාධනය සහ එම පළාතේ දියුණුව එකවර ළඟාකර ගන්නා ආකාරය පැහැදිලි කරන උතුරු පළාත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ දියත් කිරීමට රජය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මෙම වාර්තාව, උතුරු පළාත නියෝජනය කරන විද්වතුන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් විසින් එය රචනා කර ඇති අතර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මූලිකත්වයෙන් පසුගිය 22දා මුදල් අමාත්‍යාංශයේදී එය එළිදැක්විණි.
දශකයක පමණ කාලයක් පුරා සිදුකළ පශ්චාත් යුද සමයේ සංවර්ධන කටයුතු සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩපිළිවෙළ දියත් කර ඇති අතර, ඒ මගින් ඉදිරි දශකයක පමණ කාලය තුළ උතුරු පළාතේ ආර්ථික සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීම සහ ප්‍රතිපත්ති නිර්මාණය සඳහා ප්‍රමුඛතා හඳුනාගැනීමට කටයුතු කර ඇත.
එමෙන්ම, සමාජ සංවර්ධනය, කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශවල නිෂ්පාදනය ඉහළ නැංවීම, ඒ සඳහා සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳවද මෙම වාර්තාවෙන් කරුණු එළිදක්වා ඇති අතර, ඒ තුළින් රටේ ආර්ථිකය වෙත උතුරු පළාතෙන් ශක්තිමත් දායකත්වයක් ලබාගැනීමට රජය අපේක්ෂා කර තිබේ.
උතුරු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත, ආධාර ලබාදුන් ආයතනවල සාමාජිකයන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.