සමාජ බලපෑමක් සහිත, කැපී පෙනෙන ඩිජිටල් නවෝත්පාදන 51ක් සම්මානයට පාත්‍ර වෙමින්, ඊ - ස්වාභිමානී සම්මාන උළෙල 2018, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන ලදුව පසුගියදා, කොළඹ, ගෝල්ෆේස් හෝටලයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
මෙම විචිත්‍රවත් අවස්ථාවට සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා සහ රජයේ නිලධාරීන්, කර්මාන්ත අංශයේ ප්‍රමුඛයන්, ඩිජිටල් ව්‍යවසායකයන් සහ මාධ්‍ය ඇතුළු තවත් විශේෂ අමුත්තන් රැසක් සහභාගී වූහ.
රජය සහ පුරවැසි ප්රතිඥානයන්, සෞඛ්‍යය සහ යහපත, ඉගෙනීම සහ අධ්‍යාපනය, පරිසරය සහ හරිත ශක්තිය, සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාරය, සුහුරු ජනාවාස සහ නාගරීකරණය, ව්‍යාපාර සහ වාණිජ්‍යය, ඇතුළත්වීම සහ බලගැන්වීම සහ ඩිජිටල් විනෝදාස්වාදය යන කාණ්ඩ 9ක් යටතේ මේ සඳහා නාමයෝජනා භාරගන්නා ලදී.
මෙවර සම්මානයට පාත්‍ර වූ නිර්මාණ අතර සරල කෙටි පණිවිඩ පදනම් කරගත් විසඳුමක් හෝ මැනවින් සකස් කරන ලද VRtool මෙවලම් ආදී නිර්මාණ පැවතියත්, මෙම නිර්මාණ ඉදිරිපත් කර තිබුණේ දේශීය වටිනාකම්, අන්තර්ගතයේ ගුණාත්මකභාවය සහ සමාජය මත ඇතිවන බලපෑම මූලික කර ගනිමිනි.
දේශීය ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඩිජිටල් විසඳුම් භාවිත කරන මෙම නාමයෝජකයන් නවෝත්පාදනයෙහි කොතරම් දක්ෂද, මෙම ව්‍යාපෘතිවලින් සිදුකරන බලපෑම කොතරම්ද, ඒ තුළින් සමාජයේ වෙනසක් ඇති කරන්නේද, මේ සියලු විකල්ප පරිස්සමින් සලකා බලා කර්මාන්ත ක්ෂේත්රයේ, අධ්‍යයන ක්ෂේත්රයේ සහ රජයේ කීර්තිමත් විද්වතුන් 17දෙනෙකුගෙන් සමන්විත වන ජූරියක් මගින් ජයග්‍රාහකයන් තෝරාගෙන තිබුණි.
මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස අමතමින් ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා පවසා සිටියේ, අනාගතය යහපත් ලෙස ගොඩනැංවීමට නම් ඕනෑම රටකට සිය ඉතිහාසය පිළිබඳ දැනීම මෙන්ම විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ අවබෝධයත් අත්‍යවශ්‍ය කාරණයක් බවයි. අපේ පැරැන්නන් යමෙකුගේ දක්ෂතාව හඳුනාගත් විට එය වැඩිදියුණු කරමින් සමාජගත කිරීමට කටයුතු කළ බවද හෙතෙම පවසා සිටියේය.
තොරතුරු සමාජය පිළිබඳ එක්සත් ජාතීනගේ ලෝක සමුළුවේ (WSIS) රාමුව තුළ ක්‍රියාත්මක වන ගෝලීය ඇරඹුමක් වන ලෝක සම්මාන සමුළුවට (WSA) ඇතුළත් වීම සඳහා වන එලැඹුම් පියවරක් ලෙස ඊ-ස්වාභාමානී කටයුතු කරයි. එය සමාජයට බලපෑමක් සහිත දේශීය ඩිජිටල් අන්තර්ගතයන් හඳුනාගනිමින්, නව යෙදවුම්වල ඇති පොහොසත්බව සහ විවිධත්වය ප්‍රදර්ශනය කරමින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු න්‍යාය පත්‍රයට දායකත්වය සපයයි. ශ්‍රී ලංකාවේ සිටින ලෝක සම්මාන සමුළුවේ ප්‍රවීණයා ලෙස තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ගැනෙන නිසා ජූරිය විසින් ජයග්‍රාහකයන් අතරින් ලෝක සම්මාන සමුළුවට ඉදිරිපත් කිරීම සඳහා නාම යෝජනා අටක් තෝරාගන්නා ලදී. 2018 ලෝක සම්මාන සමුළුවේ අවසන් වටයට ඉදිරිපත් කළ නාමයෝජනා අටෙන් දෙදෙනෙක් අවසන් වටයට තේරුණු අතර ව්‍යාපාර සහ වාණිජ කාණ්ඩය තුළ 'Grasshoppers Technology Stack for e- Commerce Fulfillment' ජයග්‍රහණය කර තිබුණි.
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පිරිස පිළිගනිමින් සඳහන් කළේ, අපේ අනන්‍යතාව, වටිනාකම් රැකගන්නා අතරම, අලුත් තාක්ෂණයන්ටද අප විසින් දොරටුව විවෘත කළ යුතු බවයි. එසේම, අපි අපේ ජනතාවට සේවය කළ යුතු බවත්, ඒ සඳහා තාක්ෂණය උපරිමයෙන් යොදාගෙන හොඳ නිර්මාණ බිහිකළ යුතු බවත් හෙතෙම පැවසීය. මේ සියලු කාර්යයන් ඉටුකරන්නේ ඒ අරමුණු වෙනුවෙන් බවද සභාපතිවරයා අවධාරණය කළේය.
කුසලතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා අදහස් දක්වමින්, වර්තමාන ලෝකය වේගයෙන් වෙනස් වන, දැඩි ලෙස එකිනෙක හා බැඳුණු ඩිජිටල්කරණය වූ ස්ථානයක් බව සඳහන් කළේය. ධනාත්මක ලෙස සමාජ, ආර්ථික සහ පාරිසරික වෙනස්කම් ඇතිකිරීම සඳහා ඩිජිටල් නවෝත්පාදනයන් මනා ලෙස භාවිත කිරීම සහ අන්තර් ක්‍රියාකාරී දේශීය සන්දර්භයක් අවශ්‍ය බවද හෙතෙම පැවසීය. ඊ - ස්වාභිමානී මගින් ව්‍යවසායකයන් තුළ තමන්ට යම්කිසි බලපෑමක් කිරීමට පුළුවන් යන විශ්වාසය ගොඩනඟන බවද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට එක්වූ සන්නිවේදන, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය මහතා 2009 මෙම ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේ ආරම්භයෙන් පසුව අද වනවිට විවිධ අංශ රැසක් යටතේ ජයග්‍රාහකයන් රැසක් බිහිකිරීම අගය කළේය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන් ජාත්‍යන්තර වශයෙන් සම්මාන ලබමින්, රටට කීර්තියක් අත්කර දුන් නිර්මාණකරුවන් මෙලෙස ඇගයීම කාලීන කර්තව්‍යයක් බවයි.