ශ්‍රී ලංකාවේ අනාගතය සම්පූර්ණයෙන්ම පාහේ අධ්‍යාපනය මත රඳා පවතින බවත්, එබැවින් 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්රකාශනයේදී සිය ධුර කාලයේ පළමු වැනි වසරේදීම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදුකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සැකැස්ම හා අන්තර්ගතය පිළිබඳ සැකෙවින් සමාලෝචනයක් කරමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොම්ෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළකර සිටියේ පසුගිය 4දා පැවති Decoding GR's Manifesto සාකච්ඡාවේදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ගොඩහේවා මහතා,
"අපි ප්‍රතිපත්ති ප්රකාශනයක් හදන කොට ඒකට යම්කිසි දර්ශනක්, අරමුණක් තිබිය යුතුයි. මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නෙ කියල අදහසක් තියෙන්න ඕනෙ. එහිදී, ජනපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, 'මට අවශ්‍යයි සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන්න' කියල කියනවා. ඇයි සෞභාග්‍යමත් දේශයක් අපට වැදගත් වෙන්නෙ? අපි දන්නව අපි හැම කෙනෙක්ම අලුත් අවුරුද්දට අනෙක් අයට සුබ පතන්නෙ, 'සතුට, සාමය, සෞභාග්‍යය' ප්‍රාර්ථනා කරලයි. ඒක තමයි, අපේ අවසාන අපේක්ෂාව, වැදගත්ම දේ. නමුත්, අපි හැමදාම මේ ප්‍රාර්ථනය කළත්, එය උදා නොවුණු එක තමයි, ප්රශ්නය.
ජනතාවට ලබාදෙන 'සෞභාග්‍යය' කුමක්ද?
එතකොට ගෝඨාභය මහත්මයා, 'අපි ජනතාවට සෞභාග්‍ය දෙන්න ඕනෙ' කියල කියනවා. එතනදි, මේ සෞභාග්‍යය යන්නෙන් අදහස් කළ දේ අර්ථ නිරූපණය කළ යුතුයි. ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්රකශනය සකස් කරද්දි, සෞභාග්‍ය ප්‍රධාන අංග තුනක් යටතේ අපි අර්ථ නිරූපණය කළා. පළමු වැනි දේ තමයි, අපේ රටේ සිටින සෑම පුරවැසියෙක්ම ඵලදායී පුරවැසියෙක් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ, ආධාරයක් ලැබෙන තුරු බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. දෙපයින් නැගී සිටින්න පුළුවන්, තමන්ගේ ආදායම තමන්ටම උපයා ගන්න පුළුවන්, තමන්ගෙ හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් වගේම, රටට, සමාජයට, පවුලට වැඩක් කරනව කියල සතුටු වෙන්න පුළුවන් පුරවැසියෙක් තමයි, ඵලදායී පුරවැසියෙක් කියල කියන්නෙ. ඊළඟට ගෝඨාභය මහත්මයා, %අපි සාර්ථකත්වය මනින්න ඕනෙ, ජනතාවගේ සතුටෙන්^ කියල කියනවා. මොන ආර්ථික දර්ශ්යකයටත් වඩා වැදගත් වෙන්නෙ මිනිස්සු සතුටින් ඉන්නවාද කියන එකයි. ඒ නිසා කුටුම්භය සතුටින් ඉන්නවද කියන දේ සෞභාග්‍ය ගැන කතාකරන විට වැදගත් සාධකයක් ලෙස සලකනවා. තුන්වැනි කරුණ තමයි, අවුරුදු 2,500ක් පුරා අපි කතා කරපු, දැන් නැතිවෙලා දිනෙන් දින පරිහාණියට යන අපේ ගුණධර්ම. ඒ වගේම, ඊට එකතු කරන විනය, නීතිය ආදී වූ දේ සංකලය වන සමාජයක්. ගුණගරුක, නීතිගරුක, විනයගරුක සමාජයක්. මෙන්න මේ කාරණා ටික කැටිකළ විට, එතන සෞභාග්‍යමත් දේශයක් තියෙනව කියල අපිට කියන්න පුළුවන්.
'ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්' කියන්නෙ මොකක්ද?
සෞභාග්‍යමත් දේශයක් කරා යනවිට අපිට කරන්නට බොහෝ දේවල් තියෙනවා. දස වැදෑරුම් ප්‍රතිපත්තිය හරහා අපි කතා කරන්නෙ අපි කරන්නට යන දේවල්. මෙතැන වැදගත්ම දෙයක් තමයි, ආර්ථිකය. මොකද මේ හැමදෙයක්ම ආර්ථිකය මත තමයි, ගොඩනැගෙන්නෙ. එතකොට ආර්ථිකය ගැන ගෝඨාභය මහත්මයා වචනයක් පාවිච්චි කරනවා. ඔහු කියනවා, 'ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්' කියලා. දැන් මේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් කියන්න මොකක්ද? ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම අංග, කුලුණු 4ක් මත ගොඩනැගිල තියෙන්නෙ. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් තුළ පළමු වැනි දේ තමයි, මේ රටේ ජීවත් වන සෑම කෙනෙකුටම ආර්ථික ස්ථාවරත්වයක් (Stability) තියෙන්න ඕනෙ කියන කාරණය. ඒ කියන්නෙ, කොමියුනිස්ට් සංකල්පයක් වගේ ධනය සමානව බෙදීයාමක් නොවෙයි. හැබැයි දුගීබාවය තුරන් වෙන්න ඕනෙ. මොකද, අපේ රටේ දශලක්ෂයක් ජනතාව දරිද්‍රතා මට්ටමෙන් පහළ ඉන්නෙ. ඔවුන්ට ආර්ථික ස්ථාවරත්වයක් නෑ. එය නැතිවිය යුතුයි. දුප්පත්කමට සමෘද්ධි හෝ ජනසවිය නොවෙයි, විසඳුම. දුප්පත්කම නැති කිරීමයි, විසඳුම. ඒ ආර්ථික ස්ථාවරත්වය තමයි, පළමු වැනි කාරණය. දෙවැන්න බැලුවොත්, අපි හැමෝටම දියුණු වෙන්න ආසාව තියෙනවා. හැබැයි, මේක හැමෝටම එකවගේ නෙමෙයි. එකිනෙකාට වෙනස්. ඔවුනොවුන් දක්වන උත්සාහය වෙනස්. මේ හැම කෙනෙක්ම එක විදියට දියුණු වෙයි කියල, බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි දියුණු වෙන්න යම්කිසි කෙනෙකුගේ අවශ්‍යතාවක් තියෙනවා නම්, ඒ අයට අපි සම අවස්ථා ලබාදෙන්න ඕනෙ. නෑදෑකම්, හිතවත්කම්, දේශපාලන සබඳතා අනුව පුද්ගලයන් බෙදා වෙන්නොකර, දියුණු වීමට කැමති සෑම දෙනෙකුටම සමාන අවස්ථා ලබාදීම (Prograss) ජනතා කේන්ද්‍රීය ආර්ථිකයේ දෙවැනි ගුණාංගයයි. තුන්වැනි කාරණය වන්නේ, අපි හැම දෙනෙකුගේම ගෞරවය (Dignity) ආරක්ෂා කරන්න ඕනේ. මොකද, හැමෝටම අවසානයේ වැදගත්ම දේ තමයි, ගෞරවය. 'Each person wants to living dignity in this society.' ඒ නිසා අපි මේ කරන හැම කාරණයකදීම, ජාති, ආගම්, කුල, සමාජ භේදයකින් තොරව, මිනිසාගේ ගෞරවය ආරක්ෂා කිරීම තමයි, තුන්වැනි අංගය. මෙහි සිව්වැනි කාරණය වන්නේ, දේශීයත්වය. දැන් පහුගිය කාලයේ විවෘත ආර්ථිකය ගැන කතා කරනකොට, වත්මන් අගමැතිවරයාගේ ආර්ථික ක්‍රමවේදය තුළ 'අපි ලෝකයත් සමග තරග කරන්න ඕනේ. සටන් කරන්න ඕනේ'. 'අපේ දේශීය, විදේශීය කියල වෙනසක් තියෙන්න බෑ.' කියල කිව්වා. නමුත්, අද මුළු ලෝකයේම පිළිගැනීම, දේශීය ව්‍යාපාරිකයා රැකගැනීමයි. ට්‍රම්ප් කතා කරන්නෙත් ඒ ගැන. රුසියාවෙ පූටින් කතා කරන්නෙත් ඒ ගැන. චීනයේ ෂී ජින්පිං කතා කරන්නෙත් ඒ ගැන. මැලේසියාවේ මහතීර් මොහොමඩ් කතා කරන්නෙත් ඒ ගැන. ඉන්දියාවේ මෝදි කතා කරන්නෙත් ඒ ගැන. එහෙම නම් අපි ඒක කතා කිරීමේ වරද කුමක්ද? අපිත් ඒක කතා කරන්න ඕනෙ. අපේ දේශීය ව්‍යාපාරිකයා, දේශීයත්වය රැකගන්න ඕනෙ. එහෙම නම්, අපි සකස් කරන ආර්ථික ක්‍රමවේදය තුළ දේශීයත්වය රැකගැනීම, දේශීයත්වයට මුල්තැනදීම තමයි, හතරවැනි අංගය. මෙන්න මේ කුලුණු හතර මත තමයි, ජනතා කේන්ද්‍රීය ආර්ථිකය කියන දේ ගොඩනැගෙන්නෙ.
මේ ගමන යන්න අපට තියෙන 'හැකියාවන්' මොනවාද?
මේ සම්බන්ධයෙන් තව බොහෝ කරුණු පැවසීමට හැකි වුණත්, මා මෙය සැකෙවින් තමයි, විස්තර කරන්නෙ. මෙතැනදි අපි ඉස්සරහට යනකොට, මේ ආර්ථිකය ගොඩනගන විට, බුද්ධිමත් ඔබ දන්නවා, ඕනෑම ගමනක් අපි යනවා නම්, යන්නෙ කොහොමද කියල අපි දැනගෙන ඉන්න ඕනෙ. පටන් ගන්න තැන ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ. තියෙන අවස්ථා සහ හැකියාවන් අතර පාලමක් ගොඩනැගුවොත් තමයි, අපිට ගමනක් යන්න පුළුවන්. එහෙම නම්, අපි ඉස්සෙල්ලාම බැලුවොත් මොකක්ද අපි ඉන්න තැන. මොනවද අපිට තියෙන හැකියාවන්.
අපේ හැකියාවන් අපිට කොටස් තුනකට බෙදා වෙන්කරන්න පුළුවන්. පළමු වැනි කාරණය, අපේ පිහිටීම. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම. ඉන්දියන් සාගරයේ ඉතාම සුවිශේෂී තැනක තියෙන, ඉතිහාසය පුරාම, වෙළෙඳ රාජ්‍යයක් වශයෙන් දියුණු වෙච්ච අපිට, අපේ අනාගතය සැලසුම් කිරීමේදී ශ්‍රී ලංකාවේ පිහිටීම අපට ඉතාම වැදගත් වෙනවා. දෙවැනි කාරණය අපේ තියෙන භෞතික සම්පත්. අපේ රටේ කාලගුණය, දේශගුණය, සරුසාර පස, ඛනිජ සම්පත්, ජලය ආදී මේ හැම දෙයක්ම අපේ භෞතික සම්පත්. අපිට ස්වභාවිකව ලැබුණු දේවල් පමණක් නොවෙයි, අපි හදපු දේවල් හැටියට වරායවල්, ගුවන් තොටුපොළවල්, අධිවේගී මාර්ග ආදී මේ සියලුම භෞතික සම්පත් තමයි, දෙවැනි කාරණය. තුන්වැන්න අපේ මානව සම්පත. මේ මානව සම්පත අතින් අපි ඉතාම වාසනාවන්තයි. ශ්‍රී ලංකාවේ මිනිස්සු ලෝකයේ කොහේ ගියත්, හොඳට වැඩ කරන්න පුළුවන්, බුද්ධිමත් ජනතාවක්. නමුත්, අපේ අධ්‍යාපන ක්රමයේ යම් යම් අඩුපාඩු නිසා අපිට ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න බැරිවෙලා තියෙනවා. නමුත්, අපේ අනාගතය ගැන කතාකිරීමේදී මේකත් අපට ඉතාමත්ම වැදගත්. පිහිටීම, භෞතික සම්පත් හා මානව සම්පත් කියන පදනම මත තමයි, අපි අනාගතය ගොඩනැගීමට අවශ්‍ය වන්නේ.
මොනවාද අපට තියෙන 'අවස්ථාවන්', අනාගතය ගොඩනැගීමට?
එහෙම නම්, අනාගතය ගැන බැලුවොත්, අපිට තියෙන අවස්ථාවල් මොනවාද? අපිට තියෙන අවස්ථා දෙස බැලුවාම, අපිට ප්‍රධාන වශයෙන්ම කරුණු දෙකක් තියෙනවා. පළමු වැනි කරුණ තමයි, ලෝකයේ ආර්ථිකය දැන් ආසියාව දෙසට කේන්ද්‍රගත වෙමින් තිබෙනවා. ඇමෙරිකාවේ, යුරෝපයේ තිබුණු ආර්ථික බලය ආසියාව දෙසට එමින් තිබෙනවා. මේ කේන්ද්රගතවීමත් සමග ආසියාව තුළ විශාල වෙළෙඳ පොළක් ගොඩනැගෙනවා. තුර්කියේ සිට චීනය දක්වා බිලියන 5ක් ජනතාව ජීවත් වෙනවා. එතකොට අපි මේ දේ තේරුම් ගන්න ඕනෙ. ආර්ථික කේන්ද්‍රස්ථානය ආසියාව නම්, අපේ දියුණුවට ආසියාවෙන් මොනවද අපිට ගන්න පුළුවන් අවස්ථා කියල බැලිය යුතුයි. අපි හරි තැන හඳුනාගත්තොත් තමයි, අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපි තාමත්, යුරෝපය පස්සෙ, ඇමෙරිකාව පස්සෙ ගියත්, අපි තේරුම් ගන්න ඕනෙ අපේ අනාගතය තියෙන්නෙ එතන නෙමෙයි කියලා. අපේ අනාගතය තියෙන්නෙ ආසියාවෙ. දෙවැනි කාරණය තමයි, මේ ලෝකයේ තාක්ෂණය ඉතාම වේගයෙන් වෙනස් වෙමින් තියෙනවා. අපි ලෝකයේ කාර්මික විප්ලව 4ක් ගැන කතා කරනවා. 15 - 17 වැනි සියවස්වල වාශ්ප බලය ඇවිත් යාන්ත්‍රීකරණය ආපු මුල්ම කාර්මික විප්ලවය. ඊළඟට 18 - 19 වැනි සියවස්වල ආපු දෙවැනි කාර්මික විප්ලවය විදියට, බලශක්තිය. ඊළඟට 20 වැනි ශතවර්ෂයේ ඉලෙක්ට්‍රොනික් ආශ්‍රිතව තුන්වැනි කාර්මික විප්ලවය. මේ කාර්මික විප්ලව තුනෙන්ම අලුත් රටවල් බලසම්පන්න වුණා. මුලින්ම කාර්මික විප්ලවයත් එක්ක යුරෝපය, ඊළඟට ඇමෙරිකාව, පසුව දැන් ආසියාව නැගී සිටින්න පටන් ගත්තා. දැන් ඇවිත් තියෙනවා සිව්වැනි කාර්මික විප්ලවය, ලෙස ස්මාට් (සුහුරු) විප්ලවයක්. ඒ කියන්නෙ, Smart Technologies (සුහුරු තාක්ෂණයන්) විදියට, Internet of Things, Artificial Intelligence, Robotics, Mobile Applications ආදී ලෙස අලුත්ම ලෝකයක් ගොඩනැගෙමින් තිබෙනවා.
හතර වැනි ආර්ථික විප්ලවයට ගොඩවීමට මේ අවස්ථාවයි
එතකොට කලින් තිබුණු අවස්ථා තුනම අපේ රටට විවිධ හේතු නිසා මගහැරුණා. අපිට ඒවට ගොඩවෙන්න බැරිවුණා. ඒ රැල්ල අපිට මඟහැරුණා. හැබැයි අපි විශ්වාස කරනවා, මේ හතරවැනි රැල්ල අපිට අල්ලා ගන්න පුළුවන්. අපිට වෙලාව තියෙනවා. අපේ තරුණ පරපුරට ඉක්මනට, හරි දැනුම, හරි පුහුණුව ලබාදුන්නොත්, හරි යටිතල පහසුකම් ලබාදුන්නොත් මේ හතරවැනි රැල්ලට අපිට ගොඩවෙන්න පුළුවන්. ඒ නිසා තමයි, ගෝඨාභය මහත්මයා, 'අපි මේ 21 වැනි සියවසේ තාක්ෂණයෙන් තමයි, අපේ රටේ සංවර්ධනය කරන්න ඕනෙ' කියල කියන්නෙ. එතකොට ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අපේ අනාගත පරපුරට ඒ අවශ්‍ය කරන දැනුම ලබාදිය යුතුයි. ඒ සඳහා ඔවුන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න ඕනෙ. ඉංග්‍රීසි දැනුම ලබාදෙන්න ඕනෙ. තොරතුරු තාක්ෂණය උගන්වන්න ඕනෙ. ඔවුන්ගේ ගණිත දැනුම වැඩිකරන්න ඕනෙ කොටින්ම කියනවා නම්, අපේ රටේ සම්පූර්ණ අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සිදුවෙන්න ඕනෙ. මොකද, අනාගතය අධ්‍යාපනය මතයි, සම්පූර්ණයෙන්ම පාහේ රඳා පවතින්නෙ. ඒ නිසා තමයි, ගෝඨාභය මහත්මයා කියන්නෙ, 'මම අධ්‍යාපනය වෙනුවෙන් පළමු වැනි වසරේදීම විශාල ආයෝජනයක් කරන්න ලැහැස්තියි' කියලා. මොකද ඒ ආයෝජනය තමයි, අපේ අනාගතය.
අවසන් වශයෙන් මම මේ බොහොම සැකෙවින් කියන්න උත්සාහ කළේ 'ගොඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්රකශනය, මෙන්න මේ වගේ ඉතාමත්ම හොඳින් කල්පනා කරපු, සැලැස්මක් හා පදනමක් මත සකස් කෙරුණු බවයි." යනුවෙන් පවසා සිටියේය.