සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
මෙම වංචාවන් බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදුකෙරෙන බව කියයි. එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ පහත සඳහන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබාගැනීමට මහජනතාව පොළඹවන බව සඳහන් වේ.
1. හර/ණය කාඩ්පත්වල කාඩ්පත් අංකය, පුද්ගලික හැඳුනුම්පත් අංක (PIN), කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදාගන්නා CVV, CVC හෝ CVS යන්නෙන් හැඳින්වෙන ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක, කාඩ්පත් කල් ඉකුත් වන දිනය, ගනුදෙනු සහතික කිරීමේදී යොදා ගන්නා එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP).
2. අන්තර්ජාල බැංකුකරණයේදී යොදා ගැනෙන පරිශීලක නාමය, රහස් පදය, OTP.
3. ජංගම බැංකුකරණයේදී (ගෙවීම් යෙදුම්) යොදා ගන්නා පරිශීලක නාමය, රහස් පදය, OTP.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට පහත සඳහන් උපදෙස් පිළිපදින ලෙස දැනුම් දීමක් සිදුකර තිබේ.
1. මුදල් ණයට දීමේ ව්‍යාපාර පවත්වාගෙන යෑමේ මුවාවෙන් සිදු කෙරෙන වංචාවන්ට ගොදුරු නොවී සිටීමට නිසි උත්සාහයක් හා සැලකිල්ලක් දැක්වීම.
2. මූල්‍ය ගනුදෙනු සඳහා ගිවිසුමකට එළැඹීමට පෙර මහජනතාව ලෙස ඔබ, මූල්‍ය ගනුදෙනුව සහ ණය දෙන පාර්ශ්වයේ සම්පූර්ණ තොරතුරු ලබාගැනීම.
3. පහසු / ක්ෂණික ණය යෝජනා ක්‍රම සමග කටයුතු කිරීමේදී අතිශයින්ම සුපරික්ෂාකාරී වීම.
4. ගිවිසුම්වල නියමයන් සහ කොන්දේසිවල අන්තර්ගතයන් සම්පූර්ණයෙන් වටහා ගැනීම අපහසු නම්, එවැනි ගිවිසුම්වලට එළැඹීමෙන් වැළකීම.
5. පහත දැක්වෙන ලක්ෂණ සහිත පහසු / ක්ෂණික ණය යෝජනා ක්‍රම සඳහා අයදුම් කිරීමේදී පරිස්සම් වීම.
- පළමු වැනි ණය සඳහා ශුන්‍ය පොලිය වැනි ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරන ආකර්ශනීය පාඨ.
- ආරම්භක පොලී අනුපාත අඩු වුවද, පසුවට ඉතා ඉහළ පොලී අනුපාත අය කිරීම.
- අඩු ලියකියවිලි අවශ්‍ය යැයි කරන ප්‍රචාරයන්.
- මුදල් ණය දෙන්නන් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු සොයාගත නොහැකි වීම.
- ණය දීර්ඝ කිරීම් ඉල්ලා සිටිය හැකි අතර, තත්ත්වයන් නොතකා ඕනෑම අවස්ථාවක ලබාදීම.
- ඉක්මනින් අනුමැතිය ලබාදෙන බවට කරනු ලබන ප්‍රචාරයන්.
- දුරකථනයේ ඇති සම්බන්ධතා ලැයිස්තුව, ඡායාරූප, ලිපිගොනු සහ ලේඛණ වෙත ප්‍රවේශ වීමට අවසර ඉල්ලා සිටීම.
මෙවැනි මූල්‍ය වංචාවලින් සුපරික්ෂාකාරී වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, තමන්ගේ රහස්‍ය තොරතුරු, විශේෂයෙන්ම ගිණුම් පරිශීලක නාම, මුරපද, පුද්ගලික හඳුනුම් අංක (PINs), එක්වරක් පමණක් භාවිත වන මුරපද (OTP), හෝ ගිණුම්වලට පිවිසීමේදී ගිණුම් හිමියාගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා භාවිත කළ හැකි වෙනත් ඕනෑම රහස්‍ය තොරතුරක් අනෙකුත් පුද්ගලයන් සමග හුවමාරු කර නොගැනීමට පියවර ගත යුතු බවත්, දුරකථන භාවිත කරන්නන් විසින් ණය දෙන ආයතනවලට දුරකථනයේ ගබඩා කර ඇති තොරතුරු වෙත ප්‍රවේශ වීමට අවසර ලබා නොදෙන ලෙසත් මහ බැංකුව අවධාරණය කරයි.
තවද, තම බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් කෙටි පණිවුඩ වැනි එසැණින් ගනුදෙනු සම්බන්ධ තොරතුරු දැනුම්දීමේ සේවා සක්‍රීය කරගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙනු ලබන අතර, මෙම කෙටි පණිවුඩ සම්බන්ධතාව මගින් මහජනතාවගේ ගිණුම් භාවිත කරමින් සිදුවන ඕනෑම වංචනික ක්‍රියාවක් පිළිබඳව ක්ෂණිකව මහජනතාව දැනුවත් වනු ඇති බවද වැඩිදුරටත් දන්වා සිටියි.