අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්රී ලංකාව හා මාලදිවයින සඳහා නව අධ්යක්ෂවරයා ලෙස රීඩ් ජේ. අයිෂ්ලිමන් මහතා 2018 මාර්තු මස 05 වැනි දින සිට වැඩ භාරගෙන තිබේ.
රු.බිලියන 4.5කට වඩා වැඩි අරමුදල් සමග ශ්රී ලංකාව තුළ තරුණ පිරිස ඉලක්ක කරමින් රැකියා සඳහා පුහුණු කිරීම, සංහිඳියාව ආදී අලුත් වැඩසටහන් රැසක් ආරම්භ වන අවස්ථාවේදී නව අධ්යක්ෂවරයාගේ පැමිණීම සිදුවන බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
මේ නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජනපද තානාපති අතුල් කේෂාප් මහතා පවසා සිටියේ, "අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) සංවර්ධන වැඩසටහන් කළමනාකරණය අතින් ඔහුට ඇති පළපුරුද්ද තුළින් ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාවට සෙත සැලසෙනු ඇති. මූලික මානව හිමිකම් හා සැමට සමානත්වය ලබාදෙමින් කලාපීය ආරක්ෂාවට දායකත්වයක් සපයන සාමකාමී හා සමෘද්ධිමත් ප්රජාතන්ත්රවාදී රටක් බවට ශ්රී ලංකාව පත්කිරීමේ අරමුණ ඉටුකර ගැනීමට ඇමෙරිකානු බදු ගෙවන්නන් විසින් ලබාදෙන අරමුදල් නැණවත් ලෙස වියදම් කිරීම ඔහු සහතික කරනු ඇති බව මගේ විශ්වාසයයි" යනුවෙනි.
1956 සිට ශ්රී ලංකාවේ සංවර්ධන හා මානුෂීය වැඩසටහන් සඳහා එක්සත් ජනපද රජය ඇ.ඩො. බිලියන 2කට (දළ වශයෙන් රු.බිලියන 300කට) වැඩි ආධාර සපයා ඇති බවත්, ආර්ථික වර්ධනය, යහපාලන ප්රතිසංස්කරණ හා මානුෂීය අර්බුදවලින් ගොඩඒම වැනි කරුණු සම්බන්ධයෙන් මෙම ආධාර අර්ථාන්විත බලපෑමක් කර ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.
නව අධ්යක්ෂ ධුරයට පත් රීඩ් ජේ. අයිෂ්ලිමන් මහතා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) පරිපාලක මාර්ක් ග්රීන් මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.