ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන 'Meet the Minister' වැඩසටහනේ මීළඟ අවස්ථාව සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගි වන බව එම මණ්ඩලය පවසයි. ඒ අනුව, මාර්තු 30 වැනිදා එම මණ්ඩල ශ්‍රවණාගාරයේදී පස්වරු 3.00 සිට 4.30 දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී විශේෂයෙන්ම මෙම ක්ෂේත්රයට සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාව වෙත අමාත්‍යවරයා හමුවීමට අවස්ථාව උදාවීම කැපී පෙනෙන බවද එහි සංවිධායකයන් සඳහන් කරයි.
මූලිකවම වර්තමාන ව්‍යාපාරික පරිසරය, අමාත්‍යාංශවල වර්තමාන ක්‍රියාකාරීත්වය, අනාගත සැලසුම් සහ ගැටලු පිළිබඳව ජාතික වාණිජ මණ්ඩලයේ සාමාජිකයන්ට මෙන්ම අනෙකුත් ව්‍යාපාරිකයන් වෙත තොරතුරු සම්ප්‍රේෂණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ඒ අතරින් විදුලි සංදේශ තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ අංශයේ වර්තමාන සංවර්ධන ව්‍යාපෘතීන්, වෙළෙඳ පහසුකම්, තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ අංශය තුළ පවතින ව්‍යාපාරික ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
ඒ අනුව, ව්‍යාපාරික ප්‍රජාවට අමාත්‍යවරයා සමග සමීපව තොරතුරු හුවමාරු කිරීමටත්, තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටත් මෙය මහගු අවස්ථාවක් බව සංවිධායකයන් පවසයි. මෙහිදී අදාළ හමුව සඳහා ලියාපදිංචි වීමට 011-4741788 දුරකතන අංකය ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය.