පුංචි හදවත් වෙනුවෙන් ගැහෙන අවංක වැඩිහිටි හදවත් ගණනාවක එකමුතුවෙන් මේ වනවිටත් ඇරඹී ඇති Little Hearts ව්‍යාපෘතිය පිළිබඳව ඔබ දැනුම්වත්ව ඇති බව අපි දනිමු.
හදවත් ආශ්රිත රෝග නිසා වසරකට අපට අහිමි වන 1,500කට අධික බිළිඳු හදවත් සුවපත් කරනු වස්, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ මූලිකත්වයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුබද්ධිතව ඉදිකිරීමට නියමිත මහල් 10කින් යුතු ළමා හෘද රෝග ඒකකය සහිත අංගසම්පූර්ණ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම් සඳහා අරමුදල් රැස්කිරීම මෙම ව්‍යාපෘතියේ ඒකායන අරමුණ වී ඇත.
ඒ අනුව, මේ පිළිබඳව දැනුම්වත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවක් පසුගියදා මෙම ව්‍යාපෘතියේ පාර්ශ්වකරුවන් සහ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය, පරිත්‍යාග, කෙටි කාලීන සහ දිගු කාලීන අරමුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, ඉතාම සුවිශේෂී කරුණ ලෙස I have a beautiful heart යන සංකල්පය ඇසුරින් නිර්මාණය කරනලද Little Hearts කෙටි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සිදුවිය.
එහිදී, Little Hearts ව්‍යාපෘතිය පිළිබඳව සිය අදහස් දක්වමින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා පවසා සිටියේ, "මා ධාවන පථයේ තරග වදිනවිට මගේ හදවත වේගයෙන් ගැහනෙවා. කොයි මොහොතක එක වංගුවකදී සිදුවිය හැකි පුංචි දෝෂයකින් මගේ තරගයේ ජය පරාජය තීරණය වෙනවා. ඒත් මං මේ පුංචි හදවත් ගැන දැනගත් අවස්ථාවේ පටන් මගේ හදවත ඊටත් වඩා වැඩියෙන් ගැහෙනවා. මොකද, කොයි මොහොතක හෝ මේ පුංචි හදවත් ජීවිතය නැමති තරගයෙන් පරාජයට පත්වෙයිද කියන දේ හදවත පතුළටම දැනෙන නිසයි.
සතුටට කාරණය තමයි, මේ පුංචි හදවත් බේරාගන්නට Little Hearts ව්‍යාපෘතිය ආරම්භ කිරීම. එමගින් ඉදිවන ළමා රෝග සහ දැඩි සත්කාර ඒකකය මේ දරුවන් ඉක්මණින්ම සුවපත් කරාවි. මෙය ජාතික වගකීමක් ලෙස මා දකිනවා. ඒ නිසාමයි, මමත් මේ වෙනුවෙන් පරිත්යාගකරුවන්ගේ පෝළිමට එක් වුණේ. හැකි පමණින් මම මේ වෙනුවෙන් මගේ සියලුම දේ කැප කරනවා. ඒ වගේම, දැන් ඔබේ වාරය ඇවිත්. මේ පණිවුඩය හැකිතරම් දෙනෙකු අතරට ගෙනිහින් මේ පරිත්යාගකරුවන්ගේ පෝළිම දිගු කරන්නට ඔබට පුළුවන්." යැයි පවසා සිටියේය.
මෙම ජාතික කර්තව්‍යයේ නියමුවා ලෙස කටයුතු කරන ළමා රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, "මෙතෙක් අපි ඉතාම සාර්ථකව මේ ව්‍යාපෘතිය මෙහෙය වූවා. විවිධ පිරිස් අප සමග අත්වැල් බැඳගත්තා. මේ හැමදෙනාම එකතු වී රැස්කළ පරිත්‍යාගවලින් අපි මේ වනවිට රු.මිලියන 100 කඩඉම පසුකරමින් සිටිනවා. දැන් අපේ අරමුණ හැකි ඉක්මනින් ඉදිකිරීම් ආරම්භ කිරීමටයි. ඒ සමගම ඉතිරි මුදලත් ලැබුණු පසුව අපගේ ප්‍රතිකාර ඒකකයේ වැඩ අවසන් කර අපේ මේ පුංචි හදවත් බේරාගන්නට අපි කටයුතු කරනවා" යැයි පවසා සිටියේය.